Skip to content

පටුනට යන්න

විශ්වාස කළ හැකි පොතක්—6වන කොටස

රෝමය ගැන බයිබල් වාර්තාව

විශ්වාස කළ හැකි පොතක්—6වන කොටස

බයිබල් ඉතිහාසයේ තිබූ විවිධ ලෝක අධිරාජ්‍යයන් හතෙන්, මෙහි කතා කරන්නේ හයවෙනි අධිරාජ්‍යය ගැනයි. මෙම එක් එක් අධිරාජ්‍යය ගැන සාකච්ඡා කරන ලිපි මාලාවේ අරමුණ වන්නේ, බයිබලය දෙවිගෙන් ලැබුණු විශ්වසනීය පොතක් බව පෙන්වීම හා මිනිසුන්ගේ අනිසි පාලනය නිසා ඇති වී තිබෙන දුක් වේදනා අවසන් වන බවට බලාපොරොත්තුවක් අප තුළ ඇති කිරීමයි.

අතීතයේදී රෝමය ඉතාමත් බලවත් අධිරාජ්‍යයක්. රෝමවරුන් ඉදි කළ මහා මාර්ග, වාරිමාර්ග හා විවිධ ස්මාරක බ්‍රිතාන්‍ය, ඊජිප්තුව හා තුර්කිය වැනි රටවල අදටත් දකින්න ලැබෙනවා. යේසුස් මෙලොව උපත ලැබුවේද රෝමය අධිරාජ්‍යයක්ව පැවති කාලයේදීයි. එදා තිබුණ මහා මාර්ගයක් වූ ඇපියන් මාර්ගය ගැන බයිබලයේද සඳහන් වෙනවා. එම මාර්ගය අදටත් දැකගත හැකියි.—ක්‍රියා 28:15, 16.

විශ්වාස කළ හැකි තොරතුරු

යේසුස් සහ ඔහුගේ නියෝජිතයන් ගැන බයිබලයේ කතා කරන විට ඊට අදාළ පුද්ගලයන් හා දිනයන් ගැනත් සඳහන් වෙනවා. උදාහරණයකට යොහන් බව්තීස්ත ගැනත් යේසුස්ගේ බව්තීස්මය ගැනත් බයිබල් ලේඛකයෙකු වූ ලූක් පවසන දේ බලන්න. එම සිදුවීම් සිදු වුණ අවුරුද්ද වන්නේ “ටයිබීරියස් සීසර්ගේ පාලන සමයෙහි පහළොස්වෙනි අවුරුද්දයි. [එනම් ක්‍රි.ව. 29] ඒ වන විට යුදයෙහි ආණ්ඩුකාරයා වූයේ පොන්තියුස් පිලාත්ය. ගලීලයේ දේශාධිපති ලෙස කටයුතු කළේ හෙරොද්ය.” (ලූක් 3:1-3, 21) ඒ කාලයේ සිටි තවත් වැදගත් අය හතරදෙනෙක් ගැනත් ලූක් සඳහන් කරනවා. ඒ හෙරොද්ගේ සහෝදරයා වූ ෆිලිප්, ලිසානියස්, කායෆස් සහ අන්නස් යන අයයි. මේ පුද්ගලයන් හත්දෙනාම සැබෑ අය බවට ඉතිහාසඥයන්ද සාක්ෂි සපයනවා. දැන් අපි ලූක් සඳහන් කළ ටයිබීරියස්, පිලාත් සහ හෙරොද් ගැන සලකා බලමු.

ටයිබීරියස් සීසර් ගැන බොහෝ තොරතුරු ඉතිහාසයෙන් සොයාගත හැකියි. ඒ වගේම ඔහුගේ රූපද නිර්මාණය කර තිබෙනවා. රෝම සෙනෙට් සභාව විසින් ක්‍රිස්තු වර්ෂ 14 සැප්තැම්බර් 15වෙනිදා ඔහුව අධිරාජ්‍යයා ලෙස පත් කළා. ඒ වන විට යේසුස්ට වයස අවුරුදු 15ක් පමණ වෙන්න ඇති.

පොන්තියුස් පිලාත් ගැන රෝම ඉතිහාසඥයෙකු වූ ටැසිටස් සඳහන් කරනවා. ඒ වන විට බයිබලය ලියා අවසන් කර වැඩි කල් ගත වී තිබුණේ නැහැ. ටැසිටස් පවසන්නේ මෙසේයි. “ටයිබීරියස් සීසර්ගේ පාලන සමයේදී ක්‍රිස්තුස් නමැති තැනැත්තාට දැඩි දඬුවම් දීමට පොන්තියුස් පිලාත් අණ කළා.”

හෙරොද් අන්තිපස් විසින් ගලීල මුහුද අසල ටයිබීරියස් නමැති නගරය ඉදි කළා. ඔහුට එහි නිල නිවාසයක්ද තිබුණා. ඔහු, යේසුස්ගේ ඥාතියෙක් වූ යොහන් බව්තීස්තගේ හිස ගසා දමන්න ඇත්තේ එහිදී විය හැකියි.

රෝම අධිරාජ්‍යය පැවති කාලයේදී සිදු වූ වැදගත් සිදු වීම් කිහිපයක් බයිබලයෙත් සඳහන් වෙනවා. උදාහරණයකට යේසුස් ඉපදුණ කාලය ගැන එහි සඳහන් වන්නේ මෙසේයි. “ඒ කාලයේදී තම අධිරාජ්‍යය යටතේ සිටි සියලුදෙනාම ලියාපදිංචි විය යුතු බව ඔගස්ටස් සීසර් වෙතින් නියෝගයක් නිකුත් විය. (සිරියාවේ ආණ්ඩුකාර කිරිනියස් යටතේ සිදු කළ මුල්ම ලියාපදිංචි කිරීම සිදු වූයේ ඒ කාලයේදීය.) ලියාපදිංචි වීම සඳහා සියලුදෙනාටම තමන් උපන් ගමට යෑමට සිදු විය.”—ලූක් 2:1-3.

පුද්ගලයන් ලියාපදිංචි කිරීම සඳහා රෝමානු නිලධාරියෙක් විසින් නිකුත් කරන ලද ආඥාවක් බ්‍රිතාන්‍යයේ පුස්තකාලයක දැකගන්න තිබෙනවා. එහි සඳහන් වෙන්නේ මෙසේයි. “සියලුම නිවෙස්වල සිටින අයව ලියාපදිංචි කිරීමේ කාලය එලඹී ඇත. තම තමන්ගේ ප්‍රදේශවලින් පිට වී සිටින සියලුදෙනාටම නැවතත් තම තමන්ගේ ගම්බිම් කරා පැමිණෙන ලෙස නියෝග කරනවා.” ඊට අමතරව ඉතිහාසඥ ටැසිටස් හා ජොසීෆස්ද, සිරියාවේ ආණ්ඩුකාර කිරිනියස් ගැන සඳහන් කරනවා.

බයිබලයේ මෙවැනි දෙයක්ද වාර්තා කරනවා. ‘ක්ලොදියස්ගේ [එනම් රෝම අධිරාජ්‍යයාගේ] කාලයේදී මහත් සාගතයක් ඇති විය.’ (ක්‍රියා 11:28) ඉතිහාසඥ ජොසීෆස් ඒ ගැන වාර්තා කරන්නේ මෙයයි. “ඒ කාලයේදී දරුණු සාගතයක් වී ඉන් බොහෝදෙනෙක් මිය ගියා.”

ඒ කාලයේදී සිදු වූ තවත් දෙයක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ‘ක්ලෝදියස් අධිරාජ්‍යයා සියලු යුදෙව්වරුන්ට රෝමයෙන් පිට වීමට අණ කළා.’ (ක්‍රියා 18:2) මෙම සිදුවීම සත්‍යය බව තහවුරු කරමින් ක්‍රි.ව. 121දී රෝම ඉතිහාසඥයෙක් වන සිව්ටෝනියස් මෙවැනි දෙයක් වාර්තා කර තිබුණා. “යුදෙව්වන්ව රෝමවරුන් සැලකුවේ කරදරයක් හැටියටයි.” ඒ නිසා ක්ලෝදියස් “රෝමයේ සිටි සියලුම යුදෙව්වන්ව පන්නා දැමුවා.”

ඉහත සඳහන් කළ සිදුවීමෙන් පසු හෙරොද් අග්‍රිපා රජට සිදු වූ දේ ගැන බයිබලයේ මෙසේ විස්තර කරනවා. ඔහු “රාජකීය වස්ත්‍රවලින් සැරසී විනිශ්චයාසනයෙහි අසුන්ගෙන රැස්ව සිටි පිරිසට ප්‍රසිද්ධියේ ඇමතුවේය. එවිට රැස්ව සිටි අය, ‘මෙය නම් මිනිසෙකුගේ කටහඬක් වෙන්න බැහැ. මෙය දෙවි කෙනෙකුගේ කටහඬක් විය යුතුයි’ කියා පැවසූහ.” (ක්‍රියා 12:21-23) ඉන්පසුව ‘ඔහුගේ සිරුර පුරාම පණුවන් ගසා ඔහු මිය ගිය’ බවත් බයිබලයේ සඳහන් වෙනවා. එම සිදුවීම සත්‍යයක් බව ජොසීෆස්ගේ මෙම වාර්තාවෙන්ද ඔප්පු වෙනවා. ඔහු සඳහන් කරන්නේ “අග්‍රිපා රජ රැස්ව සිටි පිරිස ඇමතීම සඳහා පැමිණියේ රීදීවලින් නිමවූ අනර්ග වස්ත්‍රයක් පැලඳගෙන” බවයි. ඉන්පසුව ‘එකපාරටම ඔහුට දරුණු ලෙස උදරාබාධයක් ඇති වී දවස් පහකට පසුව ඔහු මිය ගිය’ බව ඔහු පැවසුවා.

විශ්වාස කළ හැකි අනාවැකි

රෝමය ගැන බයිබලයේ ලියා තිබූ අනාවැකි රැසක් ඉටු වුණා. උදාහරණයකට රෝමවරුන් යෙරුසලම විනාශ කරන ආකාරය ගැන යේසුස් පවසා තිබුණේ මෙසේයි. ‘ඔබේ සතුරන් ඇවිත් ඔබව වට කරයි. උල් කළ කණුවලින් ඔවුන් ඔබ වටා විශාල වැටක් සාදා සෑම පැත්තෙන්ම ඔබට ප්‍රහාර එල්ල කරයි. එහි සෑම ගලක්ම බිමට හෙළනු ලබනවා. ඒ සියල්ල ඔබට සිදු වන්නේ ඔබව සෝදිසියට ලක් කළ කාලයේදී ඔබ මුරණ්ඩු ලෙස ක්‍රියා කළ නිසයි.’—ලූක් 19:41-44.

එම අනාවැකිය සමඟම යේසුස් තම ගෝලයන්ට මෙසේද පැවසුවා. ‘සේනාවන් ඇවිත් යෙරුසලම වටා කඳවුරු බැඳගෙන සිටින ආකාරය ඔබ දකින විට යෙරුසලමේ විනාශය ළඟා වී ඇති බව ඔබ දැනගත යුතුයි. යුදයේ සිටින අය කඳුවලට පලා යා යුතුයි. යෙරුසලම තුළ සිටින අය නුවරින් ඉවත් විය යුතුයි.’ (ලූක් 21:20, 21) නමුත් රෝම හමුදාව යෙරුසලම වට කළොත් නගරයෙන් පලා යන්නේ කෙසේද කියා යේසුස්ගේ අනුගාමිකයන් කල්පනා කරන්න ඇති.

යේසුස් පැවසූ අනාවැකියේ ඉටු වීම ගැන ඉතිහාසඥ ජොසීෆස් වාර්තා කරන්නේ මෙසේයි. යුදෙව්වන් බදු නොගෙවූ නිසා ක්‍රිස්තු වර්ෂ 66දී එක් රෝම ආණ්ඩුකාරවරයෙක් යෙරුසලමේ දේවමාලිගාවේ භාණ්ඩාගාරයේ තිබූ වටිනා දේවල් බලහත්කාරයෙන් ගෙන ගියා. මේ ගැන කෝපයෙන් සිටි සමහර යුදෙව්වන් රෝම සොල්දාදුවන්ව මරා දමා තමන් රෝම පාලනයෙන් නිදහස් වූ බව ප්‍රකාශ කළා. නමුත් එම වසරේදීම සිරියාවේ සිටි රෝම ආණ්ඩුකාරයා වූ සෙස්ටියස් ගැලස්, සොල්දාදුවන් 30,000ක් සමඟ යෙරුසලම වැටලුවා. ඔවුන් යෙරුසලමේ දේවමාලිගාවේ පවුරු යටින් උමඟක් හාරන්න පටන්ගත් අතර හදිසියේම ගැලස් මෙම මෙහෙයුම නවතා දමා ඔහුගේ පිරිවර සමඟ ආපසු යෑමට සූදානම් වුණා. මෙය දුටු යුදෙව්වන්, ආපසු හැරී යන රෝම හමුදාවට පහර දුන්නා.

මෙම සිදුවීම් යේසුස් පැවසූ අනාවැකියේ ඉටු වීම් බව ඔහුගේ අනුගාමිකයන් තේරුම්ගත්තා. ඒ නිසා ඔවුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන වහාම යෙරුසලමෙන් පිට වී යොර්දාන් ගඟෙන් එගොඩ තිබූ පෙල්ලා නගරයට ගියා.

ඉන්පසුව යෙරුසලමට සිදු වුණේ කුමක්ද? ක්‍රිස්තු වර්ෂ 70දී රෝම සොල්දාදුවන් 60,000ක් සමඟ ජෙනරාල් වෙස්පේසියන් සහ ඔහුගේ පුත් ටයිටස් නැවත යෙරුසලම වැටලුවා. මෙය සිදු වුණේ පාස්කුවට ආසන්නයේදී නිසා ඒ වන විට බොහෝදෙනෙක් පාස්කුව සැමරීමට යෙරුසලමට පැමිණ සිටියා. රෝම හමුදාව අවට තිබූ ගස් කපා උල් කණු සාදා නුවර වටේටම දිග වැටක් ඉදි කළා. මාස පහක් වැනි කාලයක් ඇතුළතදී යෙරුසලම සම්පූර්ණයෙන්ම ඔවුන් විනාශ කළා.

දේවමාලිගාව විනාශ නොකරන්න ටයිටස් තීරණය කළා. නමුත් එක් සොල්දාදුවෙක් එයට ගිනි තැබූ නිසා දේවමාලිගාවද බිමට සමතලා වුණා. යෙරුසලමේ විනාශය ගැන යේසුස් පැවසූ අනාවැකිය ඒ ආකාරයෙන්ම ඉටු වුණා. ඉතිහාසඥ ජොසීෆස් වාර්තා කරන ආකාරයට එම විනාශයෙන් ජීවිත 11,00,000ක් පමණ විනාශ වී තිබෙන අතර ඉන් වැඩිහරියක්ම මිය ගොස් තිබෙන්නේ සාගතය හා වසංගත නිසයි. තවත් යුදෙව්වන් 97,000ක් පමණ වහලුන් ලෙස රෝමයට රැගෙන ගිය බවත් ඔහු පවසනවා. යම් දවසක ඔබට රෝමයේ සංචාරය කරන්න ලැබුණා නම් ටයිටස් විසින් නිම කළ ප්‍රසිද්ධ කොලෝසියම, යෙරුසලමේ වැටලීම ගැන සඳහන් වන ටයිටස්ගේ ආරුක්කුව වැනි දේවල් දැකගත හැකි වෙයි. ඒවායින් ඔප්පු වන්නේ බයිබලයේ ඇති අනාවැකි නිවැරදි බවයි. දැන් අපි අනාගතය ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද කියා බලමු.

විශ්වාස කළ හැකි බලාපොරොත්තුවක්

වරක් යේසුස් රෝම ආණ්ඩුකාරයා වූ පොන්තියුස් පිලාත්ට මෙසේ පැවසුවා. දෙවිගේ රාජ්‍යය “මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ.” (යොහන් 18:36) අනික් අතට ඔහු තම ගෝලයන්ට පැවසුවේ දෙවිට මෙසේ යාච්ඤා කරන්න කියායි. එනම් “ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියායි. (මතෙව් 6:9, 10) දෙවිගේ කැමැත්ත මේ පොළොව මත ඉටු වන්නේ දෙවිගේ රාජ්‍යය මගින් මිස වෙන කිසි මිනිස් පාලනයකින් නොවෙයි.

දෙවිගේ රාජ්‍යයේ රජ වන්නේ යේසුස් ක්‍රිස්තුස්. ඔහු මේ මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කරනවා. දෙවිගේ මුල් අරමුණ වුණේද මේ පොළොව පාරාදීසයක් බවට පත් කිරීමයි.—ලූක් 23:43.

මේ සියල්ල ඉටු වන්නේ කවදාද කියා දැන් අපි බලමු. ටයිටස්ගේ සහෝදරයා වූ ඩොමිෂියන්, අධිරාජ්‍යයාව සිටි කාලයේදී යේසුස්ගේ නියෝජිතයෙකු වූ යොහන්ව පැට්මොස් දූපතේ සිර කළා. ඒ අවස්ථාවේදී යේසුස් ඔහුට පැවසුවේ රජවරුන් හත්දෙනෙකු සිටින බවයි. ඉන්පසුව ඔහු මෙසේද පැවසුවා. “පස්දෙනෙක් වැටී ගොස් ඇත. එක් කෙනෙක් දැන් සිටියි. අනික් තැනැත්තා තවමත් පැමිණ නැත. ඔහු පැමිණි විට ඔහු පවතින්නේ කෙටි කලකට පමණි.”—එළිදරව් 17:10.

යොහන් බයිබලයේ එළිදරව් පොත ලියන විට රජවරුන් හෙවත් අධිරාජ්‍යයන් පහක් බිඳ වැටී තිබුණා. ඒවා නම් ඊජිප්තුව, ඇසිරියාව, බැබිලෝනිය, මේද පර්සියාව සහ ග්‍රීසියයි. යොහන් මෙම අනාවැකිය සඳහන් කරන විට බලයේ සිටියේ හයවන රජ හෙවත් රෝමයයි. ඉන්පසුව තව එකක් පැමිණීමට නියමිතව තිබුණා. බයිබලයේ සඳහන් ඉතිහාසයට අනුව එය අවසාන අධිරාජ්‍යයයි. එය කුමන අධිරාජ්‍යයද? එමෙන්ම එය කොපමණ කාලයක් පවතිනවාද? මේ ප්‍රශ්නවලට පිළිතුරු අපි ඊළඟ පිබිදෙව්! කලාපයෙන් කියවා බලමු.