Skip to content

පටුනට යන්න

අරාබි බස උගතුන්ගේ බස වූයේ කෙසේද?

අරාබි බස උගතුන්ගේ බස වූයේ කෙසේද?

අරාබි බස උගතුන්ගේ බස වූයේ කෙසේද?

ශතවර්ෂ ගණනාවක්ම උගතුන්ගේ බස ලෙස නම් දැරුවේ අරාබි බසයි. ක්‍රිස්තු වර්ෂ 700 ගණන්වල ආරම්භයේදී මැද පෙරදිග විසූ විද්වතුන් විද්‍යාව හා දර්ශනවාදී අදහස් පිළිබඳ ලියැවී තිබූ පොත් පත් අරාබි බසට පරිවර්තනය කළ අතර ඒවායේ සමහර නිවැරදි කිරීම්ද කළා. ටොලමි සහ ඇරිස්ටෝටල් වැනි ඈත අතීතයේ සිටි ප්‍රවීණයන්ගේ පොත් පත් පවා ඔවුන් පරිවර්තනය කළා. පුරාණයේ විසූ උගතුන්ගේ දැනුම් සම්භාරය අරාබි විද්වතුන් ආරක්ෂා කළේ එලෙසයි.

දැනුම් සම්භාරයක්

ක්‍රිස්තු වර්ෂ 600 සහ 700 ගණන්වලදී මැදපෙරදිග පාලනය කළේ උමයාද් සහ අබ්බාසිඩ් යන රාජකීය පවුල් දෙකයි. ඔවුන්ගේ පාලනය අරාබිය, සුළු ආසියාව, ඊජිප්තුව, පලස්තීනය, පර්සියාව සහ ඉරාකය වැනි රටවලට ව්‍යාප්ත වීම නිසා ග්‍රීසියේ හා ඉන්දියාවේ තිබූ දැනුම ඔවුන්ගේ රටට ගලා ආවා. අබ්බාසිඩ්ගේ පාලන කාලයේදී අරාබියේ අගනුවර වුණේ බැග්ඩෑඩ් නුවරයි. එහිදී ආර්මේනියානුවන්, ඉන්දියානුවන්, ඉරානයේ විසූ ආදිවාසීන්, ඊජිප්තුවේ ක්‍රිස්තියානීන්, උතුරු අප්‍රිකාවේ ගෝත්‍රිකයන්, ග්‍රීක ජාතිකයන්, චීන ජාතිකයන්, තුර්කිය ජාතිකයන්, පර්සියානුවන්, යුදෙව්වන් මෙන්ම අමුඩෙරියා ගඟෙන් (ඔක්සස් ගඟ) එහා පිහිටි මධ්‍යම ආසියාවේ වෙසෙන ජනයා සමඟ පවා සම්බන්ධකම් පැවැත්වීමට අරාබි ජාතිකයන්ට හැකි වුණා. ඒ නිසා බැග්ඩෑඩ් නගරය උගතුන්ගේ දැනුම එක් රැස් වූ නගරයක් බවට පත් වුණා. ඔවුන් අධ්‍යයන කටයුතුවල නිරත වෙමින් එකිනෙකාගේ දැනුම බෙදාගත්තා.

කුමන රටෙන් පැමිණියත් අබ්බාසිඩ් පාලකයන් උගතුන්ට මුල් තැන දුන්නා. ඒ, තම රටට ඔවුන්ගෙන් සිදු වන මෙහෙය තේරුම්ගත් නිසයි. ගණිත ශාස්ත්‍රය, ජ්‍යාමිතිය, වෛද්‍ය විද්‍යාව, සංගීතය, දර්ශනවාදය, භෞතික විද්‍යාව සහ රස විද්‍යාව වැනි විෂයන් පිළිබඳව ලියැවුණු පොත් පත් දහස් ගණනක් අරාබි භාෂාවට පරිවර්තනය කිරීමට පාලකයන් විධිමත් වැඩපිළිවෙළක් දියත් කළා.

ක්‍රිස්තු වර්ෂ 754-775 දක්වා කාලය තුළ පාලනය කළ කලිෆ් අල්-මන්සූර් ග්‍රීසියේ ගණිත ශාස්ත්‍රය පිළිබඳ දැනුම ලබාගැනීමට තම රටේ නියෝජිතයන්ව බයිසැන්තියාවට යැව්වා. ඉන්පසු ක්‍රි.ව. 813-833 දක්වා පාලනය කළ කලිෆ් අල්-මාමුන්ද ඔහුව අනුකරණය කරමින් ග්‍රීක පොත් පත් අරාබි භාෂාවට පරිවර්තනය කිරීමට පුළුල් වැඩපිළිවෙළක් දියත් කළා. එය ශතවර්ෂ දෙකක පමණ කාලයක් පුරා දිව ගියා. ඒ නිසා විද්‍යාව හා දර්ශනවාදය පිළිබඳ ග්‍රීසියේ ලියැවී තිබූ සියලුම පොත් පත් පාහේ අරාබි භාෂාවට පරිවර්තනය කිරීමට හැකි වුණා. නමුත් අරාබි පරිවර්තකයන් පරිවර්තන කාර්යයට වඩා වැඩි දෙයක් කළා.

අරාබි ජාතිකයන් කළ මෙහෙය

බොහෝ අරාබි පරිවර්තකයන් තම කාර්යය නිවැරදිව සහ වේගවත්ව ඉටු කළා. ඔවුන් කොතරම් විශිෂ්ට ආකාරයකින් එය කළාද කියනවා නම් සමහර ඉතිහාසඥයන් පවසන්නේ ඔවුන්ට ඒ විෂයන් පිළිබඳව හසළ දැනුමක් තිබෙන්න ඇති කියායි. සමහර අරාබි ජාතිකයන්ට තමන් පරිවර්තනය කළ පොත් පත්වලින් ලබාගත් දැනුම් සම්භාරය නව පර්යේෂණ කටයුතුවල නියැලීමට අඩිතාලමක් වුණා.

උදාහරණයකට ක්‍රි.ව. 808-873 දක්වා කාලයේ විසූ සිරියානු ජාතික ක්‍රිස්තියානියෙක් වූ හුන්යාන් ඉබන් ඉෂාක් වෛද්‍යවරයෙක් හා පරිවර්තකයෙක් ලෙස සේවය කළා. ඔහු මිනිස් ඇසේ පෙනීම සම්බන්ධයෙන් විශාල මෙහෙයක් කළ කෙනෙක්. ඔහු ඒ සම්බන්ධයෙන් ලියූ පොතේ ඇසේ ව්‍යුහයේ පැහැදිලි රූපසටහනක් ඇතුළත් කළා. ඇසේ ක්‍රියාකාරිත්වය හා අක්ෂි රෝග සම්බන්ධ අධ්‍යයන කටයුතු සඳහා එම පොත අරාබියේ මෙන්ම යුරෝපයේද පිළිගත් වෛද්‍ය අත්පොතක් බවට පත් වුණා. ක්‍රිස්තු වර්ෂ 980-1037 දක්වා කාලයේ විසූ ඉබන් සීනා දර්ශනවාදියෙක් හා වෛද්‍යවරයෙක්. ඔහු සාරධර්ම, තර්ක ශාස්ත්‍රය, වෛද්‍ය විද්‍යාව සහ මනස පිළිබඳව පොත් පත් රාශියක් ලියූ කෙනෙක්. ඔහු වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ලියූ පොතක් (Canon of Medicine) ඉතා ප්‍රසිද්ධියට පත් වුණා. එහි සුප්‍රසිද්ධ ග්‍රීක විද්වතුන් දෙදෙනෙක් වන ගේලන් සහ ඇරිස්ටෝටල්ගේ අදහස්ද ඇතුළත් වුණා. එය අවුරුදු 400ක් පුරා පිළිගත් අත්පොතක් ලෙස සැලකුවා.

අරාබි ජාතිකයන් පර්යේෂණ කටයුතුවල යෙදීමට මහත් ආශාවක් දැක්වුවා. ඒ නිසා පෘථිවියේ පරිදිය පිළිබඳව ටොලමි දී තිබූ ගණනය කිරීමේ නිරවද්‍යතාව ගැන ඔවුන් සොයා බැලුවා. ඔවුන් “ඇරිස්ටෝටල් සොයාගත් දේවල් ගැන පවා ප්‍රශ්න කිරීමට එඩිතර වුණා” කියා පෝල් ලුන්ඩෙ නමැති ඉතිහාසඥයා පැවසුවා.

අරාබි ජාතිකයන් වෙනත් ක්ෂේත්‍ර පිළිබඳ දැනුමෙන්ද ඉදිරියට ගොස් සිටි බව තනා ඇති ජලාශ හා වාර්මාර්ග පද්ධති වැනි දේවලින් පැහැදිලියි. ඒවායින් සමහරක් අදටත් දැකගත හැකියි. ඒ වගේම කෘෂිකර්මාන්තය හා ශාක පිළිබඳව ඔවුන් ලබාගත් දැනුම සරුසාර අස්වැන්නක් ලබාගැනීමටද මහඟු උපකාරයක් වුණා.

ක්‍රිස්තු වර්ෂ 805දී කැලිප් හරූන් ආර්-රෂීඩ් පළමුවෙනි රෝහල ඉදි කළා. වැඩි කල් නොගොස් ඔහුගේ පාලනය යටතේ තිබූ සෑම ප්‍රධාන නගරයකම රෝහල් ඉදි කළා.

දැනුම ලබාගැනීමේ මධ්‍යස්ථාන

අරාබියේ බොහෝ නගරවල පුස්තකාල හා දැනුම ලබාගත හැකි මධ්‍යස්ථාන ඉදි කෙරුණා. කැලිප් අල්-මාමුන් ‘ප්‍රඥාවේ නිවහන’ යන නමින් පරිවර්තන හා පර්යේෂණ ආයතනයක් බැග්ඩෑඩ් නුවරෙහි පිහිටෙවූ අතර එහි සේවය කළ විද්වතුන්ට වැටුපක්ද ගෙව්වා. කයිරෝ නුවරේ පිහිටි විශාල පුස්තකාලයේ පොත් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් තිබූ බවද වාර්තා වෙනවා. උමයාද් පාලනය කළ කාලයේ ස්පාඤ්ඤයේ අගනුවර වන කෝඩෝබාහි පුස්තකාල 70ක් තිබූ අතර ඉන් මුළු අරාබි දේශයේම සිටි විද්වතුන් හා ශිෂ්‍යයන් මහත් ප්‍රයෝජන ලැබුවා. එම නගරය වසර 200කට වඩා වැඩි කාලයක් විද්වතුන්ගේ තෝතැන්නක් වුණා.

ග්‍රීක ගණිත ශාස්ත්‍රයට ඉන්දියාවේ ගණිතඥයන්ගේ දැනුම එකතු වුණා. බින්දුවේ අගය එය තියෙන ස්ථානය අනුව වෙනස් වන ක්‍රමයක් ඔවුන් හඳුන්වා දුන්නා. උදාහරණයකට එකට බින්දුවක් එකතු කිරීමෙන් අගය දහයක්ද බින්දු දෙකක් එකතු කිරීමන් 100ක්ද ආදී වශයෙන් අගය ඉහළ යෑමයි. “එම ක්‍රමය ගණනය කිරීම සඳහා පහසු වූ අතර ඒ නිසා වීජගණිතය නමැති ගණිත ක්‍රමයද ඇති වූ බව” ලුන්ඩෙ පැවසුවා. අරාබි විද්වතුන් ජ්‍යාමිතිය, ත්‍රිකෝණමිතිය සහ නාවික ගමන් සඳහා උපකාරවත් වන ගණිත මිනුම් ක්‍රමද වැඩි දියුණු කිරීමට යුහුසුලුව කටයුතු කළා.

අරාබි ජාතිකයන් විද්‍යාව හා ගණිතය පිළිබඳව තම නිම් වළලු පුළුල් කරගන්නා කාලයේදී ලෝකයේ අනිකුත් රටවල් ඥානාලෝකය ලබාගැනීමට එතරම් වෙහෙසක් දැරුවේ නැහැ. නමුත් යුරෝපයේ මධ්‍යකාලීන යුගයේදී පුරාණයේ විසූ විද්වතුන්ගේ දැනුම සුරැකීමට විශේෂයෙන්ම පූජකාරාමවල සිටි අය මහත් වෑයමක් දැරුවත් ඔවුන්ගේ උත්සාහය එතරම් සාර්ථක වුණේ නැහැ. කෙසේවෙතත් ක්‍රි.ව. 900 ගණන්වල අරාබි ජාතිකයන් පරිවර්තනය කළ පොත් පත් ටිකෙන් ටික බටහිර රටවලට ව්‍යාප්ත වුණා. කාලයත් සමඟම විද්‍යාව පිළිබඳව යුරෝපියන්ගේ දැනුමෙහි නව පිබිදීමක් ඇති වුණා.

විද්‍යාව හා අනිකුත් විෂයන් පිළිබඳව අද මිනිසා ලබා ඇති දැනුම් සම්භාරයට එක් ජාතියකට හෝ මිනිසුන් කණ්ඩායමකට අයිතිවාසිකම් කිව නොහැකියි. යම් රටක් දැනුමෙන් පොහොසත් වී සිටිනවා නම් ඒ, වෙනත් ජාතීන් විසින් සිදු කළ පර්යේෂණ, නව සොයාගැනීම් හා නිවැරදි කිරීම්වලට ස්තුතිවන්ත වෙන්නයි.

[26වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

▪උමයාද් පාලනය කළ කොටස

□අබ්බාසිඩ් පාලනය කළ කොටස

ස්පාඤ්ඤය

කෝඩෝබා

බයිසැන්තියම

රෝමය

කොන්ස්ටැන්ටිනෝපලය

අමුඩෙරියා ගඟ (ඔක්සස් ගඟ)

පර්සියාව

බැග්ඩෑඩ්

යෙරුසලම

කයිරෝ

අරාබිය

[27වන පිටුවේ පින්තූරය]

හුන්යාන් ඉබන් ඉෂාක් අඳින ලද ඇසේ ව්‍යුහය

[27වන පිටුවේ පින්තූරය]

“Canon of Medicine” නම් පොතේ පිටුවක්

[28වන පිටුවේ පින්තූරය]

බස්රාහි පුස්තකාලයක අරාබි විද්වතුන් (1237දී)

[හිමිකම් විස්තර]

© Scala/​White Images/​Art Resource, NY

[27වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Eye diagram: © SSPL/​Science Museum/​Art Resource, NY; Canon of Medicine: © The Art Gallery Collection/​Alamy