Skip to content

පටුනට යන්න

බුලත් කෑමේ වරදක් නැද්ද?

බුලත් කෑමේ වරදක් නැද්ද?

බුලත් කෑමේ වරදක් නැද්ද?

දකුණු ආසියාවේ වෙසෙන ජනයාගේ මුහුණේ සිනහව නුහුරු නුපුරුදු දෙයක් නොවෙයි. නමුත් සමහරුන් සිනාසෙන විට ඔවුන්ගේ දත් කලු පාටටත් කට තද රතු පාටටත් දිස් වෙනවා. ඒ, ඔවුන් බුලත් කන නිසයි.

නැඟෙනහිර අප්‍රිකාවේ සිට පකිස්තානය, ඉන්දියාව සහ පැපුවා නිව් ගිනියාවේ සිට මයික්‍රෝනීසියාව දක්වා වෙසෙන්නන්ගෙන් බහුතරයක් එනම්, ලෝක ජනගහනයෙන් සියයට දහයක් පමණ බුලත් කෑමට පුරුදු වී සිටිනවා. පාරවල් අයිනේ පොඩි කඩවල්වල, සති පොළවල්වල බුලත්විට විකුණන ආකාරය දකින්න ලැබෙනවා.

වසරක් ඇතුළත ලොව පුරා පුවක් වෙළඳාමෙන් ඩොලර් බිලියන ගණනක ආදායමක් ලබනවා. මෙතරම් පිරිසක් බුලත් කෑමට ප්‍රිය කරන්නේ ඇයි? ඉන් ඔවුන්ගේ සෞඛ්‍යයට මොන වගේ හානියක් සිදු වෙයිද? එවැනි පුරුදු ගැන බයිබලයේ පවසා තිබෙන්නේ කුමක්ද? ඉන් මිදෙන්නේ කොහොමද?

විටට නැතුවම බැරි පුවක්

සාමාන්‍යයෙන් බුලත්විටට පුවක් සහ හුණු ඇතුළත් වෙනවා. තවත් සමහරුන් බුලත්විටේ රසය වැඩි කරගැනීමට කරදමුංගු, වසාවාසී වැනි දෑ එකතු කරනවා. බුලත්විට දුම්කොළ සමඟ කන අයද සිටිනවා. පුවක්වල ඇල්කලොයිඩ නම් රසායනික ද්‍රව්‍යයක් අඩංගු වන අතර එය උත්තේජනය වන්නේ බුලත්විටට එකතු කරන හුණුවලිනුයි.

බුලත් කන විට නිතර නිතර කටට කෙළ උනන්නෙත් ඒවා රතු පාට වන්නෙත් නිතරම කෙළ ගසන්න සිදු වන්නෙත් ඊට එකතු කරන දේවල් නිසයි.

පුවක් ගෙඩියෙන් වන හානිය

බුලත්විට පිළිබඳව එක් වාර්තාවක (Oral Health) සඳහන් වුණේ මෙයයි. “බුලත්විට කෑමට පටන්ගත්තේ අද ඊයේ නොවෙයි. ආගමික වතාවත්වලදීත් සතුටු සාමිච්චියේදීත් සංස්කෘතියට අදාළ යම් කටයුතුවලදීත් බුලත්විට ප්‍රධාන තැනක් ගන්නවා. බුලත් කෑමෙන් හානියක් සිදු නොවන බවත් ඒ වෙනුවට ප්‍රාණවත් බවක් ලැබෙන බවත් සමහරුන් සිතනවා. නමුත් සාක්ෂිවලින් පෙනී යන්නේ ඉන් හානියක් සිදු වන බවයි.”

මත්ද්‍රව්‍ය මර්දන අධිකාරීන් පවසන්නේ පුවක් ගෙඩියේ ඇති ඇල්කලොයිඩ නම් රසායනික ද්‍රව්‍ය නිසා කෙනෙකු ඊට ඇබ්බැහි විය හැකි බවයි. සමහර රටවල දිනකට පුවක් ගෙඩි 50ක් පමණ භාවිත කරන අය සිටිනවා. පුවක් කන අයගේ දත් වැඩි කල් නොගොස් දුර්වර්ණ වන අතර විදුරුමසේ රෝගද ඇති විය හැකියි. පුරුද්දක් ලෙස පුවක් කන අයගේ මුඛයේ ශ්ලේෂ්මල පටලය හැකිළී එය දුඹුරු පැහැයට හුරු රතු පැහැයක් ගන්නවා. එමෙන්ම සුව නොවන ලප කැළැල් වැනි දේද මුඛයේ ඇති විය හැකියි. මෙය පූර්ව පිළිකා තත්වයක් ලෙස (oral submucous fibrosis) හඳුන්වනවා.

පුවක් කෑම නිසා මුඛයේ පිළිකා (oral squamous cell carcinoma) මෙන්ම ස්වාසනාලයේ පිළිකා ඇති වීමටද ඉඩකඩ තිබෙනවා. ආසියාතික රටවල ජීවත් වන වැඩිදෙනෙකුට මුඛ පිළිකා සෑදෙන්නේ ඒ නිසයි. තායිවානයේ මුඛ පිළිකා රෝගීන්ගෙන් සියයට 85කටම එය වැලඳීමට ප්‍රධාන හේතුව පුවක් කෑමයි. “තායිවානයේ මුඛ පිළිකා රෝගීන්ගේ ගණන පසුගිය වසර 40 ඇතුළත හතර ගුණයකින් පමණ වැඩි වී තිබෙන” බව එක් ප්‍රවෘත්ති පත්‍රයක වාර්තා වෙනවා.—The China Post.

පැපුවා නිව් ගිනියාවේ තිබෙන්නෙත් එවැනිම තත්වයක්. එහි ප්‍රවෘත්ති පත්‍රයක මෙසේ වාර්තා වෙනවා. “එක් සෞඛ්‍ය සංගමයක වාර්තාවට අනුව පැපුවා නිව් ගිනියාවේ පුවක් කෑම නිසා වසරකට 2,000ක් පමණ මිය යන අතර බොහෝ සෞඛ්‍ය ගැටලුවලටද එය මඟ පාදා තිබෙනවා.” (Papua New Guinea Post-Courier) වෛද්‍යවරයෙක් පවසන්නේ පුරුද්දක් හැටියට “පුවක් කෑමෙන් දුම්පානය කිරීමෙන් ඇති වන බලපෑම හා සමාන බලපෑමක් ඇති විය හැකියි.” හෘද රෝග පවා ඇති විය හැකියි.

බයිබලයේ සඳහන් උපදෙස

බයිබලය වෛද්‍ය අත්පොතක් නොවෙයි. එහි බුලත් කෑම ගැන සඳහන් වන්නේද නැහැ. නමුත් එහි ඇති ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් නිරෝගී ජීවිතයක් ගත කළ හැකියි. පහත සඳහන් බයිබලයේ ඇති පද ගැනත් එහි සඳහන් ප්‍රශ්න ගැනත් සිතා බලන්න කියා ඔබව උනන්දු කරන්න කැමතියි.

‘ප්‍රේමණීය සහෝදරයෙනි, අපගේ මනස සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු. දේවගරුබිය දක්වමින් අපගේ ශුද්ධකම දිනෙන් දින පූර්ණ මට්ටමකට ගෙනෙමු.’ (2 කොරින්ති 7:1) “ඔබේ ශරීර ජීවමාන, ශුද්ධ මෙන්ම දෙවිට පිළිගත හැකි පූජාවක් ලෙස ඔප්පු කරන්න.” (රෝම 12:1) කෙනෙක් බුලත් කෑමෙන් තම ශරීරය අපවිත්‍ර කරගන්නවා නම් ඔහු දෙවි ඉදිරියේ පවිත්‍ර හා ශුද්ධ කෙනෙක් කියා පැවසිය හැකිද?

‘අපේ ජීවිතයත් පැවැත්මත් රඳා පවතින්නේ දෙවි මතයි.’ (ක්‍රියා 17:28) “සෑම යහපත් දීමනාවක්ම හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම පැමිණෙන්නේ ස්වර්ගයෙහි සිටින දෙවිගෙන්ය.” (යාකොබ් 1:17) ජීවිතය දෙවිගෙන් ලැබුණු තෑග්ගක්. යම් පුද්ගලයෙක් සෞඛ්‍යයට හානි වන පුරුදුවල නියැලෙනවා නම් ඔහු දෙවිගෙන් ලද අනගි තෑග්ගට ගරු කරනවා කියා පැවසිය හැකිද?

“ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ.” (මතෙව් 6:24) “ඕනෑම දෙයක් කිරීමට මට අවසර තිබුණත් ඒ දේවලට මාව පාලනය කිරීමට මම ඉඩ දෙන්නේ නැත.” (1 කොරින්ති 6:12) දෙවි සතුටු වන ආකාරයෙන් ජීවත් වීමට කැමති පුද්ගලයෙක් අපවිත්‍ර පුරුදුවලට වහල් වෙයිද?

“ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න.” (මාක් 12:31) “ප්‍රේමය පෙන්වන කෙනෙක් තම අසල්වැසියාට විරුද්ධව කිසි නපුරු දෙයක් කරන්නේ නැත.” (රෝම 13:10) අපි අසල්වැසියන්ට ප්‍රේම කරනවා නම් ප්‍රසිද්ධ ස්ථානවල, මඟ දෙපස බුලත් කෙළ ගසමින් අපවිත්‍ර කරයිද?

“කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි” යන කාරණයත් අමතක කරන්න එපා. (ගලාති 6:7, 8) අප නරක පුරුදුවලට ඇබ්බැහි වුණොත් අපට අත්විඳීමට සිදු වන්නේ නරක ප්‍රතිඵලයි. නමුත් හොඳ පුරුදු අනුව එනම්, දෙවි පවසා තිබෙන ආකාරයට අප ජීවත් වෙනවා නම් යහපත් ප්‍රතිඵල නෙළාගැනීමට පමණක් නොව හැමදාටම සතුටින් ජීවිතය ගත කරන්නත් අපට හැකි වෙයි. ඔබ පුරුද්දක් ලෙස බුලත්විට කන කෙනෙක් වුණත් දෙවි සතුටු වන ආකාරයෙන් ජීවිතය ගත කිරීමට ඔබ කැමති නම් එම පුරුද්දෙන් මිදෙන්නේ කොහොමද? ඒ සඳහා පහත සඳහන් පියවර තුන ඔබට අත්හදා බැලිය හැකියි.

පුරුද්දෙන් මිදීමට නම්

1. ස්ථිර අධිෂ්ඨානයක් ගන්න. මෙම නරක පුරුද්දෙන් මිදීමට නම් එය ඔබේ සෞඛ්‍යයට අහිතකරයි කියා තේරුම්ගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඊට හේතුව බොහෝ අය බුලත්විට කෑම, දුම්බීම හෝ මත්ද්‍රව්‍ය භාවිත කිරීම තම සෞඛ්‍යයට හා ජීවිතයට හානිකර බව දැන සිටියත් ඒවායේ නියැලෙනවා. ඒ නිසා එය නැවැත්වීමට ස්ථිර අධිෂ්ඨානයක් ඔබ ගත යුතුයි. ඔබේ අධිෂ්ඨානය ශක්තිමත් කරගැනීමට ඔබේ නිර්මාතෘ ගැනත් ඔහු ඔබට දක්වන ඉමහත් ප්‍රේමය ගැනත් බයිබලයෙන් ඉගෙනගැනීමට පියවර නොගන්නේ ඇයි? “දෙවිගේ වදන් ජීවමානය, බලවත්ය” කියා බයිබලයේ සඳහන් වෙනවා.—හෙබ්‍රෙව් 4:12.

2. දෙවිගෙන් උපකාර පතන්න. “නොකඩවා ඉල්ලන්න. එවිට ඔබටත් ලැබෙයි. නොකඩවා සොයන්න. එවිට ඔබටත් අවශ්‍ය දේ සම්බ වෙයි. නොකඩවා දොරට තට්ටු කරන්න. එවිට ඔබටත් එය විවෘත කරනු ලැබෙයි. මන්ද ඉල්ලමින් සිටින සියල්ලන්ට ලැබෙයි. සොයමින් සිටින සියල්ලන්ට සම්බ වෙයි. දොරට තට්ටු කරමින් සිටින සියල්ලන්ට විවෘත කරනු ලැබෙයි” කියා යේසුස් පැවසුවා. (ලූක් 11:9, 10) ඔබ මෙම පුරුද්දෙන් මිදීමට අවංකවම යාච්ඤාවෙන් දෙවිගේ උපකාර පතන විට ඔහු ඔබව නොසලකා හරින්නේ නැහැ. මන්ද “දෙවි ප්‍රේමය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 යොහන් 4:8) දෙවිගේ සේවකයෙක් වූ පාවුල් දෙවිගේ ප්‍රේමය අද්දැක්කා. ඔහු පැවසුවේ මෙසේයි. “මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.”—ෆිලිප්පි 4:13.

3. අන් අයගේ සහයෝගය ලබාගන්න. ඔබව යහ මඟට හෝ වැරදි මඟට යොමු කිරීමට ඔබ ආශ්‍රය කරන අයට හැකියි. බයිබලයේ මෙවැනි උපදෙසක් සඳහන් වෙනවා. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.” (හිතෝපදේශ 13:20) ඒ නිසා ඔබ ආශ්‍රය කරන අය ගැන සැලකිලිමත් වන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර කලින් එවැනි නරක පුරුදුවල නියැලුණු නමුත් දැන් ඒ පුරුදුවලින් මිදුණු අය සිටිනවා. ඔවුන් බයිබලය අධ්‍යයනය කිරීමෙන් හා අනිකුත් සාක්ෂිකරුවන්ව ආශ්‍රය කිරීමෙන් එම නරක පුරුද්ද අත්හැරීමට ඔවුන්ට උපකාර ලැබී තිබෙනවා.

[24, 25යන පිටුවල කොටුව/පින්තූරය]

පුරුද්ද අත්හැරිය අය

බුලත් කෑමේ පුරුද්දෙන් මිදුණේ කොහොමද කියා පිබිදෙව්! සඟරාව පස්දෙනෙකුගෙන් අදහස් විමසුවා. පහත සඳහන් වන්නේ ඔවුන් පැවසූ දෙයයි.

ඔබ බුලත් කන්න පුරුදු වුණේ කොහොමද?

පෝලින්: මුලින්ම මට පුවක් කන්න පුරුදු කළේ මගේ දෙමාපියන්. පුවක් කන එක පැපුවා නිව් ගිනියාවේ මම ඉන්න දූපතේ සාමාන්‍ය සිරිතක්.

බෙටී: මගේ තාත්තා මට මුලින්ම පුවක් කන්න දෙද්දී මට අවුරුදු දෙකයි. ඉස්කෝලේ යන කාලේ මම කොච්චර පුවක් අරගෙන ගියාද කිව්වොත් මම හරියට ඇවිදින පුවක් ගහක් වගේයි. මම ඒකට කොච්චර ඇබ්බැහි වෙලා හිටියාද කියනවා නම් මම දවස පටන්ගත්තේ පුවක් ගෙඩියක් කාලයි.

වෙන් ජුං: මම පුවක් කන්න පටන්ගත්තේ අවුරුදු 16දියි. සාමාන්‍යයෙන් ඒවා ඕනෙ කෙනෙක් කනවා. සමාජයේ පිළිගැනීමක් ලබාගන්න මාත් ඒවා කෑවා.

ජයිල් ලියාන්: මම රැකියාවක් හැටියට බුලත්විට විකුණුවා. මම හදන බුලත්විට හොඳ තත්වයක තියෙනවද කියලා බලන්න මම ඒක කාලා බලනවා. පස්සේ බුලත්විට කන්න පුරුදු වුණා.

මේ පුරුද්ද ඔබේ සෞඛ්‍යයට බලපෑවේ කොහොමද?

ජයිල් ලියාන්: මගේ කට, දත්, තොල් රතුම රතු පාටයි. ඒ කාලේ ගත්ත මගේ පින්තූරයක් බලන්න මටම ලැජ්ජයි. ඒ කාලේ කටේ ආපු තුවාල නිසා මම තාමත් දුක් විඳිනවා.

පෝලින්: මට කටේ තුවාල ආවා. පාචනයත් හැදුණා. මට කැරකිල්ලත් තිබුණා.

බෙටී: මම ඒ දවස්වල හරිම කෙට්ටුයි (බර කිලෝග්‍රෑම් 35යි). මගේ උසට හරියන බරක් මට තිබුණේ නැහැ. මගේ දත්වල තදට කහට බැඳිලා තිබුණු නිසා මම දත් පිරිසිදු කළේ ගොරෝසු බුරුසුවකිනුයි.

සෑම්: මට පාචනයයි විදුරුමස් රෝගයි තිබුණා. මට ඉතුරු වෙලා තියෙන්නේ එක දතයි. දත් තිබුණු කාලේ ගොරෝසු බුරුසුවකින් මැද්දත් වැඩක් වුණේ නැහැ.

ඒ පුරුද්ද අත්හැරියේ ඇයි?

පෝලින්: ‘අපේ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වෙන්න’ කියලා බයිබලයේ දෙවි කියලා තියෙන දේ මම ඉගෙනගත්තා. (2 කොරින්ති 7:1) දෙවිව සතුටු කරන්න මම අධිෂ්ඨානයක් ගත්තා.

සෑම්: මගේ මේ පුරුද්ද අත්හරින්න යෙහෝවා දෙවිට යාච්ඤා කරලා දෙවිගේ බලය ඉල්ලුවා. දෙවි මට උපකාර කළා. මම බුලත්විට කන එක නවත්වලා අවුරුදු 30ක් විතර වෙනවා.

ජයිල් ලියාන්: “පව්කාරයෙනි, ඔබේ දෑත් පිරිසිදු කරගන්න” කියලා බයිබලයේ තියෙනවා මම දැක්කා. (යාකොබ් 4:8) ඒක මගේ හිතට තදින්ම කාවැදුණා. බුලත්විටෙන් සිදු වන හානිය දැනගත්තට පස්සේ ඒවා විකුණන එකත් කන එකත් හරිද කියලා මම කල්පනා කළා. මම ඒ වෙලාවෙම තීරණය කළා ඒ හැමදේම නවත්වලා දෙවිව සතුටු කරන්න.

ඔබ ලබා තිබෙන ප්‍රයෝජන මොනවාද?

වෙන් ජුං: යාළුවෝ බුලත් කන නිසයි මමත් කෑවේ. නමුත් දැන් මගේ හොඳම මිත්‍රයා යෙහෝවා දෙවියි. මම ආශ්‍රය කරන්නෙත් දෙවිට නමස්කාර කරන අය නිසා ලොකු සතුටක් ලබනවා.

සෑම්: දැන් මට දෙවි එක්ක හොඳ බැඳීමක් තියෙනවා. ඒ වගේම නිරෝගී ජීවිතයකුත් ගත කරනවා. මම දැන් අනවශ්‍ය දේවලට මුදල් වැය කරන්නේ නැති නිසා පවුලේ වගකීම් ඉටු කරන්න මට පුළුවන් වෙලා තියෙනවා.

පෝලින්: දැන් මම ගත කරන්නේ පිරිසිදු ජීවිතයක්. ලොකු නිදහසකුත් දැනෙනවා. දැන් මගේ දත් ශක්තිමත්, ඒ වගේම සුදුයි. ගේ ඇතුලේ පුවක් ලෙලි නැති නිසාත් වත්තේ හැමතැනම කෙළ ගහන්නේ නැති නිසාත් මගේ ගේයි වත්තයි දෙකම පිරිසිදුයි.

බෙටී: දැන් මගේ හිතට ලොකු සැනසීමක් දැනෙනවා. මට දැන් ලෙඩත් අඩුයි. මම දැන් ගුරුවරයෙක් හැටියටත් පූර්ණකාලීන සේවකයෙක් හැටියටත් සතුටින් සේවය කරනවා.

[පින්තූර]

බෙටී

පෝලින්

වෙන් ජුං

ජයිල් ලියාන්

සෑම්

[23වන පිටුවේ රූප සටහන/පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

පුරුද්දක් ලෙස බුලත්විට කන අයට දරුණු සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට සිදු විය හැකියි

දුර්වර්ණ වූ දත් සහ ආසාදිත විදුරුමස

පූර්ව පිළිකා තත්වයක්

මුඛ පිළිකාවක්

[22වන පිටුවේ පින්තූරය]

බුලත් කොළයකින් ඔතා තිබෙන පුවක් ගෙඩියක්