Skip to content

පටුනට යන්න

කඩදාසියෙන් නිමැවූ නගරය!

කඩදාසියෙන් නිමැවූ නගරය!

කඩදාසියෙන් නිමැවූ නගරය!

කඩදාසියෙන් නිමැවූ නගරයක් ගැන ඔබ අසා තිබුණාද? එය ඇත්තටම නගරයක් නොව නගරයක ආකෘතියක්. එනම් චෙච් සමූහාණ්ඩුවේ පිහිටි ප්‍රාග් අගනුවරේ ආකෘතියයි. එය තිබෙන්නේ ප්‍රාග් නගරයේ කෞතුකාගාරයේයි. එහි නිර්මාතෘ වන ඇන්ටෝනින් ලැන්ග්වෙයිල්ට එම ආකෘතිය තැනීමට වසර 11ක් ගත වූ අතර ඔහු එය 1837දී තනා නිම කළා. අපි දැන් ලැන්ග්වෙයිල් පිළිබඳවත් එවැනි දුෂ්කර කාර්යයක් කිරීමට ඔහු පෙලඹුණු හේතුවත් සොයා බලමු.

ඔහු මෙලොව එළිය දුටුවේ 1791දී චෙච් සමූහාණ්ඩුවේ කුඩා නගරයකයි. ඔහු ඔස්ට්‍රියාවේ වියානා නගරයේ කලා ආයතනයෙන් ගල්පුවරු මත කැටයම් කිරීමේ කලාව හැදෑරුවා. පසුව එම දැනුම උපයෝගී කරගෙන ව්‍යාපාරයක් ආරම්භ කළා. එවැනි ව්‍යාපාරයක් ප්‍රාග් නගරයේ ආරම්භ කළ පළමු තැනැත්තා ඔහුයි. නමුත් ඔහුගේ ව්‍යාපාරය සාර්ථක වුණේ නැහැ. වර්ෂ 1826දී ඔහු ප්‍රාග්හි පැවති ප්‍රදර්ශනයක් නරඹමින් සිටින විට එහි ප්‍රදර්ශනය කර තිබූ ප්‍රංශයේ පැරිස් නුවරේ ආකෘතිය ඔහුගේ සිත්ගත්තා. ප්‍රාග් නගරයේ ආකෘතියක් තැනීමට ඔහු තුළ පෙලඹීමක් ඇති කළේ එම ආකෘතියයි. ලැන්ග්වෙයිල් ඒ සඳහා භාවිත කළේ කාඩ්බෝඩ් සහ ලී පතුරුයි.

මුලින්ම ඔහු ප්‍රාග් නගරයේ අස්සක් මුල්ලක් නෑර වසර ගණනාවක් ඇවිද එහි සියලු තොරතුරු චිත්‍රයට නැඟුවා. ගොඩනැඟිලි පිහිටි ස්ථාන, උද්‍යානවල තිබෙන බංකු, ප්‍රතිමා, ගස් වැනි සෑම තොරතුරක්ම ඊට ඇතුළත් කළා. මඟ දෙපස වැටී තිබෙන බැරල්, ගෙවල්වල කෑඩි ඇති ජනෙල් දොරවල්, බිත්තිවලට හේත්තු කර තිබෙන ඉණිමං සහ ලී ගොඩවල්ද ඇඳීමට ඔහු අමතක කළේ නැහැ. ඉන්පසු ඔහු 1:480ක අනුපාතයකින් ආකෘතිය තැනීමට පටන්ගත්තා. ඔහු අගහිඟකම්වලින් පෙළුණු නිසා එම නගරයේ සිටි ප්‍රභූවරුන්ගේ නිවෙස්වල ආකෘතිද තනා ඒවා අළෙවි කළා.

ක්ෂය රෝගය වැලඳී ඔහු 1837දී මිය ගියා. ඒ වන විට ඔහු දූවරු පස්දෙනෙකුගේ පියෙක්. වසර තුනකට පසු ඔහු නිමැවූ ආකෘතිය ජාතික කෞතුකාගාරයේ දකින්න තිබුණා. එය කෞතුකාගාරයට ලැබුණේ කොහොමද? වර්ෂ 1840දී ලැන්ග්වෙයිල්ගේ බිරිඳ පළමුවෙනි ෆර්ඩිනන්ඩ් අධිරාජ්‍යයාට එම ආකෘතිය විකුණූ අතර ඔහු එය කෞතුකාගාරයට පරිත්‍යාග කර තිබුණා. එය රැගෙන ආවේ විශාල පෙට්ටි නවයක අසුරායි. කෞතුකාගාරයේ අධිකාරීන් මෙවැනි දෙයක් වාර්තා කරනවා. “ලැන්ග්වෙයිල්ගේ ආකෘතිය මුල් කාලයේදී ප්‍රදර්ශනවලට ඉදිරිපත් කළේ කලාතුරකින්. වර්ෂ 1891දී විශේෂ ප්‍රදර්ශනයක තැබීම සඳහා විශාල වියදමක් දරා එය අලුත්වැඩියා කළා. වර්ෂ 1905 සිට එම ආකෘතිය ජාතික කෞතුකාගාරයේ දිගටම ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා.”

ඉතිහාසඥයන්ගේ සිත්ගනියි

ලැන්ග්වෙයිල්ගේ ආකෘතිය ඉතා ජනප්‍රියයි. එය දිගින් මීටර් 5.76ක් සහ පළලින් මීටර් 3.24ක් වෙනවා. එය විශාල වීදුරු පෙට්ටියක් තුළ තබා තිබෙන අතර එහි ඇතුළත ආලෝකවත් කර තිබෙනවා. එම ආකෘතිය දෙස බලන කෙනෙකුගේ සිතේ මැවෙන්නේ සැබෑ නගරයයි. එම නගරයේ ඇති ගොඩනැඟිලි 2,000කට වඩා වැඩි ප්‍රමාණයක් විශාල වෙහෙසක් දරා ඔහු නිර්මාණය කර තිබෙන ආකාරය අතිවිශිෂ්ටයි.

උදාහරණයකට ලැන්ග්වෙයිල් එහි ඇති සෑම ගොඩනැඟිල්ලකම ලියාපදිංචි අංක සඳහන් කර තිබෙනවා. ඊට අමතරව වීදි පහන්, වාරි මාර්ග පද්ධති සහ මාර්ග ඒ අයුරින්ම නිර්මාණය කර තිබෙනවා. පල්ලිවල ඇති වර්ණවත් ජනේල සහ කැඩී බිඳී ඇති ස්ථානද එහි පෙන්වා තිබෙනවා. නිවෙස්වල බදාම කැඩී ගඩොල් දිස් වන ආකාරයත් එම ආකෘතියේ සටහන් වෙනවා. ප්‍රාග් නගරය හරහා ගලා බසින සුන්දර නදිය ඇතුළත් කිරීමටද ඔහු අමතක කර නැහැ.

ලැන්ග්වෙයිල් නිමැවූ ආකෘතිය කෞතුකාගාරයට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. කලාවට ආදරය කරන අය සහ ඉතිහාසඥයන් එය දකින්නේ ප්‍රාග් නගරයේ පසුගිය කාලය තුළ සිදූ වී ඇති වෙනස පෙන්වන කදිම නිර්මාණයක් ලෙසයි. ප්‍රාග් නගරයේ සිදු කර තිබෙන ප්‍රතිසංස්කරණ නිසා එහි බොහෝ වෙනස්කම් සිදු වී තිබෙනවා. විශේෂයෙන්ම පුරාණ නගරය ලෙස හඳුන්වන යුදෙව්වන් සිටි ප්‍රදේශය බොහෝ වෙනස්කම්වලට ලක් වී තිබෙනවා. වර්ෂ 1837දී ප්‍රාග් නගරය දිස් වූ ආකාරය පෙන්වන ලැන්ග්වෙයිල්ගේ ආකෘතිය පරිගණකය හරහා අද බොහෝදෙනෙකුට දැකගැනීමට හැකියි.

වර්ෂ 1837දී රෝගාතුරව සිටි ලැන්ග්වෙයිල් ඔහුගේ ආකෘතිය කෞතුකාගාරයේ තැබීමට අවසර ඉල්ලුවත් ඔහුට ඒ සඳහා අවසර ලැබුණේ නැහැ. එය ඔහුට මොන තරම් වේදනාවක් ගෙන දෙන්න ඇද්ද! නමුත් අද එය කෞතුකාගාරයේ තිබෙන ආකාරය හෝ පරිගණක තිරයේ දිස් වන ආකාරය දකින්න ඔහු සිටියා නම් ඔහුට මොන තරම් සතුටක් දැනෙයිද!

[10වන පිටුවේ පින්තූරය]

ඇන්ටෝනින් ලැන්ග්වෙයිල්

[10වන පිටුවේ පින්තූරය]

ලැන්ග්වෙයිල් නිමැවූ ප්‍රාග් නගරයේ ආකෘතිය

[10, 11 යන පිටුවල පින්තූරය]

ලැන්ග්වෙයිල්ගේ ආකෘතිය ළඟට දිස් වන අයුරු

[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Page 10, Langweil: S laskavým svolením Národního muzea v Praze; pages 10 and 11, model photos: S laskavým svolením Muzea hlavního mesta Prahy