Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | දෙමව්පියන්ට

නව යොවුන් දරුවත් එක්ක අදහස් හුවමාරු කරන්නේ කොහොමද?

නව යොවුන් දරුවත් එක්ක අදහස් හුවමාරු කරන්නේ කොහොමද?

ප්‍රශ්නය

“පුංචි කාලේ මේ කොල්ලා හුරතල් වෙවී මට නොකිව්ව දෙයක් නෑ. ඒකට දැං! මොකක් හරි ඇහුවත් වචනයක් දෙකක් කියලා මාරු වෙනවා. කිසි දෙයක් කතා කරන්න බෑ ඇඟට කඩා පනිනවා. මේ ළමයට මොනා වෙලාද මන්දා.”

අම්මේ තාත්තේ, මේකද ඔයාලගෙ ගෙදරත් වෙන්නේ. කලබල වෙන්න එපා! එහෙම වෙන්න හේතු දෙකක් අපි තේරුම්ගන්න බලමු. *

ඇයි එහෙම වෙන්නේ?

වැඩි නිදහසක් ඕනෙ වෙලා. දරුවෙක් වගකීමෙන් වැඩ කරන වැඩිහිටියෙක් වෙනවා දකින්න කොයි අම්මා තාත්තද අකමැති? ඒත් එහෙම වෙන්න නම් තනියම තීරණ ගන්න එයා ඉගෙනගන්න ඕනේ. ඒකට යම් නිදහසක් අවශ්‍යයි. ඒත් සමහර නව යොවුන් දරුවන් ඕනාවට වඩා නිදහස බලාපොරොත්තු වෙනවා. අනිත් අතට සමහර දෙමව්පියෝ දරුවන්ව ඕනාවට වඩා හිර කරං ඉන්නවා. තරුණ ළමයි ප්‍රශ්න ඇති කරගන්නේ අන්න ඒ වගේ වෙලාවට. “අම්මලා හැම දේටම ඇඟිලි ගහනවා. අවුරුදු 18 වෙද්දි මට නිදහස දුන්නැත්තං මං මෙහෙං යනවා යනවමයි” කියලා 16 හැවිරිදි බ්‍රැඩ් කියනවා. *

හිතන විදිහ වෙනස් වෙලා. පොඩි ළමයි හැම වෙලාවෙම හිතන්නේ එක පැත්තකින් විතරයි. ‘මේක හරි නම් අරක වැරදියි’ එච්චරයි. උදාහරණෙකට ‘අම්මා අයියට ලොකු කේක් කෑල්ලක් දීලා මට පොඩි කෑල්ලක් දුන්නොත් ඒක වැරදියි.’ ඒත් යෞවන දරුවෙක් හිතන්නේ වෙනස් විදිහට. එයා මනසින් තර්ක කරලා කිරලා මැනලා විවිධ පැතිවලින් හිතන්න පටන් ගන්නවා. ඒක නව යොවුන් දරුවෙකුගේ වර්ධනයේ එක පැත්තක්. තනිවම තීරණ ගන්න එයාට ඒක උදව්වක්. හැබැයි සමහර අවස්ථාවලදී එයාගෙ අදහස් ඔබේ අදහස්වලට ගැළපෙන්නෙ නැතිකොට ගැටුම් ඇති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.

මොනවද කරන්න පුළුවන්?

යාළුවෙක් වගේ කතා කරන්න. වත්තේ පිටියේ වැඩක් කරද්දී ගමනක් බිමනක් යද්දී හිතේ තියෙන ඕන දෙයක් ගැන කතා කරන්න තරුණ ළමයි හුඟක්වෙලාවට උනන්දුවක් දක්වනවා. ඒ නිසා ප්‍රශ්නයක් වෙනකම්ම ඉන්නැතුව වැදගත් කාරණා ගැන කතා කරන්න ඒ වගේ අවස්ථා හොයාගන්න.—ද්විතීය කතාව 6:6, 7 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

කතාව දුරදිග ගෙනියන්න එපා. කිසිම සාකච්ඡාවක් වාදයක් කරගන්නැතුව අවශ්‍ය කාරණාව විතරක් කියන්න. කියද්දි ‘ඇහෙන්නෑ වගේ හිටියට’ තනියම ඉද්දි එයා ඒ ගැන කල්පනා කරයි. ඒ නිසා ඉවසීමෙන් කාලය දෙන්න.—හිතෝපදේශ 1:1-4 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

ඇහුම්කන් දෙන්න. නම්‍යශීලී වෙන්න. බාධා නොකර දරුවට ඇහුම්කන් දෙන්න. කාරණාව හරියටම තේරුම්ගන්න ඒක ඔබට උදව් වෙයි. උත්තරයක් දෙද්දී දරුවාගේ අවශ්‍යතාවට අනුව සකස් වෙන්න. දැඩි නීති දාන්න ගියොත් ඒ නීතිවලින් රිංගලා යන්න දරුවා පෙලඹෙන්න පුළුවන්. “ඒ වගේ අවස්ථාවලදී දරුවන් දෙබිඩි ජීවිතයක් ගත කරන්න පෙලඹෙනවා. ඒ කියන්නේ දෙමව්පියන් කැමති දේ කරන බව කියලා ඔවුන් නැති වෙලාවට තමන් කැමති දේ කරනවා.” එහෙම කියන්නෙ නව යොවුන් දරුවන් ගැන කතා කරන සඟරාවක්.—ෆිලිප්පි 4:5 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

කලබල වෙන්න එපා. “අම්මයි මායි මොනාහරි දේකට එකඟ නැති වෙලාවකදී එතනින් එහාට මං කියන කිසිම දෙයක් එයාට අල්ලන්නෑ. එතකොට මටත් කේන්ති යනවා. අන්තිමෙට පොඩි දේත් ලොකු වාදෙකට පෙරළෙනවා” කියලා 17 හැවිරිදි කරී කියනවා. ඒ නිසා දරුවා ඔබට මොනව හරි කියද්දී කලබල වෙන්න එපා. ඒ වෙනුවට එයාව තේරුම්ගත්ත බව දැනෙන්න සලස්වන්න. උදාහරණෙකට “ඕකත් ප්‍රශ්නයක්ද” කියලා කියනවා වෙනුවට “පුතාට ඒ ප්‍රශ්නෙ ලොකු වදයක් කියලා මට තේරෙනවා” වගේ දෙයක් කියන්න.—හිතෝපදේශ 10:19 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

අණ කරනවා වෙනුවට මඟ පෙන්වන්න. නව යොවුන් දරුවෙක් වෙනස් විදිහට, විවිධ පැතිවලින් හිතන එක හොඳයි. ඒ හැකියාව දියුණු කරගන්න ඕනෙ. මාංශ පේශියක වර්ධනයට ව්‍යායාම් ඕනෙ වගේ ඒ හැකියාව වර්ධනය කරගන්නත් ව්‍යායාම් ඕනෙ. ඒ නිසා දරුවට ප්‍රශ්නයක් එනකොට එයා වෙනුවෙන් ව්‍යායාම් කරන්න එපා. ප්‍රශ්නෙ ගැන කතා කළාට පස්සෙ ඒක විසඳගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන එයාගෙන්ම අහන්න. එයා ඒවා කිව්වම “ඒ යෝජනා හොඳයි. ඒ ගැන දවසක් දෙකක් පුතා කල්පනා කරන්නකො. එතකොට හොඳම විසඳුමයි ඒකට හේතුවයි අපි කතා කරමු” කියලා කියන්න ඔබට පුළුවන්.—හෙබ්‍රෙව් 5:14 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

^ 5 ඡේ. මෙහි ඇති ප්‍රතිපත්ති යෞවනියන්ටත් අදාළයි.

^ 7 ඡේ. නම් වෙනස් කර ඇත.