Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

පනින මකුළුවාගේ බොඳ වූ පෙනීම

පනින මකුළුවාගේ බොඳ වූ පෙනීම

පනින මකුළුවාට පනින්න ඕන දුර ප්‍රමාණය හරියටම මැන ගන්න උදව් වෙන විශේෂ හැකියාවක් උගේ ඇස්වලට තියෙනවා. ඒ විශේෂ හැකියාව මොකක්ද?

මේ ගැන සිතන්න: යම් තැනකට හෝ ගොදුරකට පනින්න ඕන දුර මැන ගන්න ඌට උදව් වෙන්නේ ඉදිරියෙන් තියෙන ලොකු ඇස් දෙක. (ඌට ඇස් අටක් තියෙනවා) මේ ඇස්වල ඇති දෘෂ්ටි විතානවලට ස්තර හතර බැගින් තියෙනවා. ඒ ස්තරවලට ආලෝකය වැටෙන්නේ වෙනස් විදිහට. ඇතුළතින්ම පිහිටි ස්තර දෙකට වස්තුවක ප්‍රතිබිම්බය වැටෙන්නේ කොළ පාට ආලෝකය මගින්. නමුත් එයින් එක ස්තරයකට කොළ පාට ප්‍රතිබිම්බය පැහැදිලිව වැටෙද්දී අනෙක් ස්තරයට කොළ පාට ප්‍රතිබිම්බය වැටෙන්නේ බොඳ වෙලයි. බොඳ වූ ප්‍රතිබිම්බයේ බොඳ වූ තරම, පැහැදිලි ප්‍රතිබිම්බය සමඟ සසඳන ඌ හරියටම පනින්න ඕන දුර එමගින් ගණනය කරගන්නවා.

පර්යේෂකයන් උත්සාහ කරන්නේ මේ මකුළුවා සතු හැකියාව යොදාගෙන ත්‍රිමාන රූප ගත හැකි කැමරා සහ තමන් ඉදිරියේ ඇති වස්තුවට තිබෙන දුර මැනිය හැකි රොබෝ යන්ත්‍ර නිපදවීමටයි. “ගෙමැස්සෙක්ගේ මොළයට වඩා කුඩා මොළයක් ඇති සෙන්ටිමීටර භාගයක්වත් නැති මේ සතුන්ට මෙතරම් සංකීර්ණ පෙනීමේ හැකියාවක් තිබීම ඇත්තෙන්ම විස්මයක්” කියා වෙබ් අඩවියක සඳහන් වුණා.—ScienceNOW.

ඔබේ නිගමනය කුමක්ද? පනින මකුළුවාට බොඳ වූ පෙනීම ලැබුණේ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද?