Skip to content

යොවුන් සිතේ ගැටලු

වැඩ කල් දාන පුරුද්ද අත්හරින්නේ කොහොමද?

වැඩ කල් දාන පුරුද්ද අත්හරින්නේ කොහොමද?

ඉස්කෝලෙන් දෙන පැවරුම්, ගෙදර දොරේ වැඩ ඔයාට කවදාවත් වෙලාවට ඉවර කරගන්න බැරිද? එහෙම වෙන්නේ කරන්න තියෙන වැඩ කල් දාන නිසාද? සමහරවිට කරන්න තියෙන වැඩ ඔයා කල් දාන්නේ මේ හේතු නිසා වෙන්න ඇති. එහෙමනම් ඒ අභියෝග ජය ගන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපියෙන් බලමු.

මේ ලිපිය කියෙව්වට පස්සේ  හරිද වැරදිද කියලා උත්තර දෙන්න.

 වැඩ කල් දාන එකේ තියෙන අනතුර ගැන බයිබලේ මෙහෙම කියනවා. “සුළඟ හමයිද කියා කල්පනා කරන තැනැත්තා කිසිවිටෙක වපුරන්නේ නැත. වැස්ස වහීද කියා කල්පනා කරන තැනැත්තා අස්වැන්න නෙළාගන්නේ නැත.”—දේශනාකාරයා 11:4.

  වැඩ කල් දාන්න හේතු වෙන දේවල් හා ඒවා ජය ගන්න පුළුවන් කොහොමද කියලා දැන් බලමු.

 කරන්න තියෙන වැඩේ හරිම අමාරුයි.

 කරන්න තියෙන සමහර වැඩ ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා කල් දාන එක තමයි ලේසිම දේ කියලා ඔයාට හිතෙයි. එහෙම කරනවා වෙනුවට මේවා කරලා බලන්න.

  •   කරන්න තියෙන වැඩේ කොටස්වලට බෙදන්න. මෙලිසා මෙහෙම කියනවා. “පටන්ගත්ත වැඩක් වෙලාවට ඉවර කරගන්න බැහැ කියලා තේරෙද්දී මං කරන්නේ ඒ වැඩේ කොටස්වලට බෙදලා එක වතාවකට එක කොටස ගාණේ කරලා ඒක කොහොමහරි ඉවර කරන එකයි.”

  •   ඉක්මනින්ම වැඩේ පටන්ගන්න. “කරන්න වැඩක් ලැබුණම ඒක ඉක්මනින්ම පටන්ගන්න. ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි ඔයාගේ වැඩ ලැයිස්තුවට ඒ වැඩේ ඇතුළත් කරගන්න එක, නැත්නම් ඒ වැඩේ කරන්න පුළුවන් විදිහ ගැන අදහස් ටිකක් ලියාගන්න එක.” එහෙම කිව්වේ විරා කියන යෞවනියයි.

  •   උදව් ගන්න. ඔයාගේ දෙමාපියන්ගෙන් හරි ගුරුවරුන්ගෙන් හරි උදව් ඉල්ලන්න. හොඳ සැලැස්මක් හදාගෙන පැවරුම කරන්න පුළුවන් විදිහ ගැන එයාලා ඔයාට හොඳ මඟ පෙන්වීම් දෙයි.

 යෝජනාවක් “හොඳ සැලැස්මක් හදාගන්න. එහෙම කරද්දී දේවල් කලින්ම සැලසුම් කරලා ඒකට අනුව වැඩ කරන්න සිද්ධ වෙනවා තමයි. හැබැයි එහෙම කරන එකෙන් ප්‍රයෝජන ගොඩක් තියෙනවා. හැම වැඩක්ම වෙලාවට ඉවර කරන්න පුළුවන් වෙනවා.”—ඇබි.

 වැඩේ කරන්න කිසිම ආසාවක් නැහැ.

 ඉස්කෝලෙන් ලැබෙන සමහර පැවරුම් කරන්න ආස හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාට ලැබිලා තියෙන්නේ ඒ වගේ පැවරුමක් නම් ඒ අභියෝගේ ජය ගන්න පුළුවන් කොහොමද? මේවා කරලා බලන්න.

  •   පැවරුම කල් ඇතුව ඉවර කරන එකේ තියෙන ප්‍රයෝජනයක් ගැන හිතන්න. උදාහරණයකට පැවරුම ඉවර කළාම කොච්චර සහනයක් දැනෙයිද කියලා හිතන්න. ඒ ගැන ඒමි මෙහෙම කියනවා. “පැවරුමක් වෙලාවට ඉවර කළාම නැත්නම් සැලසුම් කරපු දවසට ඉස්සෙල්ලා ඒක ඉවර කරන්න පුළුවන් කියලා තේරෙද්දී මට දැනෙන සහනේ විස්තර කරන්න වචන නෑ.”

  •   කල් දාන එකෙන් වෙන්න පුළුවන් හානිය ගැන හිතන්න. වැඩක් ඉවර කරන්න පරක්කු වෙන්න වෙන්න මනසට දැනෙන පීඩනයත් වැඩියි. ඒ වගේම වැඩේ හොඳට කරන්නත් බැරි වෙනවා. බයිබලේ කියන්නේ “කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයම” කියලයි.—ගලාති 6:7.

  •   වැඩේ ඉවර කරන්න ඕන දවස ඉස්සරහට ගේන්න. අලිසියා මෙහෙම කියනවා. “පැවරුම ඉවර කරන්න ඕන දවසක් තිබුණත් මං හිතින් හිතාගන්නවා ඇත්තටම ඒ දවස තියෙන්නේ ඊට කලින් කියලා. ඒ විදිහට පැවරුම ඉවර කරන්න ඕන දිනේ දවසක් හරි දෙකක් හරි ඉස්සරහට ගෙනාවම පැවරුම කලින්ම ඉවර කරන්නත් කරපු දේවල් හරිද කියලා බලන්නත් වෙලාව තියෙනවා.”

 යෝජනාවක් “වැඩේ ගැන ආසාවක් නැති වුණත් ඒක කොහොමහරි කරනවා කියලා හිතාගන්න. මම එහෙම අධිෂ්ඨානයක් ගත්තම කරන්න තියෙන වැඩේ මොකක් වුණත් මම ඒක කරනවා.”—අලෙක්සිස්.

 දැනටමත් කරන්න තව හුඟක් වැඩ තියෙනවා.

 නේතන් කියන යෞවනයා මෙහෙම කියනවා. “මම හැම වැඩක්ම කල් දානවා කියලා අනිත් අය මට විහිළු කරනවා. හැබැයි මට කරන්න කොච්චර වැඩ තියෙනවාද කියලා ඒගොල්ලෝ දන්නේ නෑනේ.” ඔයාටත් ඒ විදිහට හිතෙනවා නම් මේ යෝජනා අදාළ කරගන්න.

  •   ලේසි වැඩ මුලින් කරන්න. “දවසක් එක් කෙනෙක් මට කිව්වා විනාඩි පහෙන් කරන්න පුළුවන් වැඩ තියෙනවා නම් ඒවා මුලින්ම කරලා දාන්න කියලා. උදාහරණෙකට සුද්ද පවිත්‍ර කරන එක, ඇඳුම් නියමිත තැන්වල තියන එක, පිඟන් කෝප්ප හෝදන එක, කාට හරි කෝල් එකක් ගන්න එක වගේ පොඩි පොඩි වැඩ ඒකට අයිතියි.” එහෙම කිව්වේ ඇමා කියන යෞවනිය.

  •   වැදගත් දේවලට මුල් තැන දෙන්න. බයිබලේ කියන්නේ ‘වඩා වැදගත් දේවල් මොනවාද කියලා පැහැදිලිව අවබෝධ කරගන්න’ කියලයි. (ෆිලිප්පි 1:10) “මට කරන්න තියෙන පැවරුම්, ඒවා ඉවර කරන්න ඕන දවස් මම ලියලා තියාගන්නවා. ඒ වගේම මම ඒවා පටන්ගන්න හිතාගෙන ඉන්නේ කවදාද කියලත් ඒවා ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නේ කවදාද කියලත් ලියාගන්නවා” කියලා ඇනා කියනවා.

 එහෙම කරද්දී නිදහස නැති වෙනවාද? නැහැ. සැලැස්මකට අනුව දේවල් කරද්දී ඔයා කාලය හොඳින් පාවිච්චි කරන්න දන්නවා කියන එක ඔප්පු වෙනවා. ඒ වගේම මනසට දැනෙන පීඩනයත් අඩු වෙනවා. හැබැයි කිසිම සැලැස්මක් නැතුව වැඩ කරද්දී කාලය නිකං නාස්ති වෙනවා විතරක් නෙමෙයි ලොකු පීඩනයකුත් දැනෙනවා. කෙලී කියන යෞවනිය මෙහෙම කිව්වා. “සැලැස්මක් තියෙද්දී කරන්න ඕන වැඩ වෙලාවට කරගන්න පුළුවන් නිසා හිතට බරක් දැනෙන්නේ නැහැ.”

  •   වැඩේට අවධානය දෙන්න. ජෙනිෆර් කියන දේ බලන්න. “මට මොකක් හරි පැවරුමක් කරන්න තියෙන කොට ඒක පටන්ගන්නේ කවදාද කියලා මම ගෙදර අයට කලින්ම කියලා තියෙනවා. ගෙදර දොරේ මොකක් හරි වැඩක් කරන්න තියෙනවා නම් ඒ ගැන කලින්ම මට කියන්න කියලත් මං එයාලට කියනවා. ඒ වගේම පැවරුම පටන්ගන්න ඉස්සෙල්ලා මගේ ෆෝන් එකත් ඕෆ් කරනවා. ඒ වෙලාවට මං ඊ-මේල් මුකුත් බලන්නේ නැහැ.”

 යෝජනාවක් “කරන්න තියෙන වැඩක් කල් දැම්මා කියලා ඒ වැඩේ ඔයාගෙන් අයින් වෙන්නේ නැහැ. ඒ නිසා වැඩක් කල් දදා ඉන්නවාට වඩා ඒක කරලා ඔයාගේ මනස නිදහස් කරගන්න එක තමයි හොඳම දේ.”—ජෝර්ඩන්.