Skip to content

යොවුන් සිතේ ගැටලු

කේන්තිය පාලනය කරගන්න මට පුළුවන් කොහොමද?

කේන්තිය පාලනය කරගන්න මට පුළුවන් කොහොමද?

 හිතලා බලන්න

  •  ඔයාට තරහ යන්නේ . . .

    •  නැති තරම්

    •  ඉඳලා හිටලා

    •  හැමදාම

  •  ඔයාට කොච්චර කේන්ති යනවාද?

    •  යන්තමින්

    •  තරමක්

    •  හොඳටම

  •  ඔයා වැඩියෙන්ම කේන්ති ගන්නේ . . .

    •  අම්මා හරි තාත්තා හරි එක්කද?

    •  සහෝදරයෙක් හරි සහෝදරියක් හරි එක්කද?

    •  යාළුවෙක් එක්කද?

 කේන්තිය පාලනය කරගන්න ඕන කියලා ඔයාට තේරෙනවා නම් මේ ලිපිය ඔයාට උදව් වෙයි. කේන්ති ගියාම සන්සුන්ව ඉන්න එක කොච්චර වැදගත්ද කියන එකට හේතු කීපයක් බලමු.

 ඒ ගැන හිතලා බලන්න ඕන ඇයි?

 ඔයාගෙම යහපතට. හිතෝපදේශ 14:30 කියන්නේ “සන්සුන් මනසක් ගතට සුවයකි. නමුත් ඊර්ෂ්‍යාසහගත සිතුවිලි නිසා ඇටකටු දිරා යයි” කියලයි. සඟරාවක මෙහෙම කියනවා. “කේන්ති ගන්න කෙනෙක්ට හදවත් රෝග හැදෙන්න තියෙන ඉඩකඩ වැඩියි.”—Journal of Medicine and Life.

 ඔයාගේ යාළුවෝ. බයිබලයේ මෙහෙම කියනවා. “ඉක්මනින් කෝප වන තැනැත්තෙකු සමඟ මිත්‍ර නොවන්න. හදිසි කෝපයෙන් ක්‍රියා කරන්නෙකු සමඟ ඇසුරු නොකරන්න.” (හිතෝපදේශ 22:24) ඔයා නිතරම කේන්ති ගන්න කෙනෙක් නම් අනිත් අය ඔයාගෙන් ඈත් වෙන එක පුදුමයක් නෙවෙයි. “කේන්තිය පාලනය කරන්න ඉගෙනගත්තේ නැත්නම් හොඳ මිතුරන් ඔයාගෙන් ඈත් වෙයි” කියලා ජැස්මින් කියන තරුණිය කිව්වා.

 ඔයාගේ හොඳ නම. “ඔයා නිතරම කේන්ති ගන්න කෙනෙක් නම් අනිත් අය ඒක දකිනවා. ඊටපස්සේ හැම තිස්සෙම ඒ අය ඔයාව දකින්නේ කේන්තිකාරයෙක් විදිහටයි” කියලා 17 හැවිරිදි ඊතන් කියනවා. මෙහෙම හිතන්න. ‘ඔයා කැමති අනිත් අය ඔයා සන්සුන් කෙනෙක් කියලා හිතනවාටද, නැත්නම් හොස්ස ළඟින් මැස්සා යන්න බැරි කෙනෙක් කියලා හිතනවාටද?’ බයිබලයේ මෙහෙම කියනවා. “ඉක්මනින් කෝප නොවන්නා හොඳ වටහාගැනීමේ හැකියාවක් ඇති කෙනෙකි. එහෙත් ඉවසීම නැති තැනැත්තා තම මෝඩකම ප්‍රදර්ශනය කරයි.”—හිතෝපදේශ 14:29.

කේන්තියෙන් පුපුරන කෙනෙක් එක්ක ඉන්න කවුරුත් කැමති නැහැ

 ඔයාට කරන්න පුළුවන් දේ

 පහළ තියෙන බයිබල් පදයි අදහසුයි බලලා දීලා තියෙන ප්‍රශ්න ඔයාගෙන්ම අහගන්න.

  •   හිතෝපදේශ 29:22. “කෝපාවිෂ්ට මිනිසෙක් රණ්ඩු දබර ඇති කරයි. හදිසි කෝපයෙන් ක්‍රියා කරන්නාගේ අතින් බොහෝ වැරදි සිදු වෙයි.”

     “මීට අවුරුදු දෙක තුනකට කලින් මට කේන්තිය පාලනය කරගන්න බැරි වුණා. මගේ තාත්තාගේ පැත්තේ අයට ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒක ආරෙට එන එකක්. අපිට කේන්තිය පාලනය කරගන්න හරිම අමාරුයි!”—කෙරී.

     මට ගොඩක් තරහ යනවාද? මම හොඳ ගතිගුණ ඇති කරගත්තේ මගේම උත්සාහයෙන් කියලා කියන එකත් නරක ගතිගුණ ඇවිල්ලා තියෙන්නේ ආරෙන් කියලා කියන එකත් සාධාරණද?

  •   හිතෝපදේශ 15:1. “මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි. නමුත් සිත රිදවන වචනයකින් තරහ උපදවයි.”

     “හොඳම දේ ඔයාගේ හැඟීම් පාලනය කරගන්න ඉගෙනගන්න එකයි. ඔයා හැම දේකම හොඳ පැත්ත ගැන හිතලා සන්සුන්ව කටයුතු කරන කෙනෙක් නම් කේන්තිය පාලනය කරගන්න එක අමාරු දෙයක් නෙමෙයි.”—ඩැරල්.

     කේන්ති ගිය ගමන්ම මං මොනවාද කරන්නේ කියලා හිතලා බලන්න ඕන ඇයි?

  •   හිතෝපදේශ 26:20. “දර නැති විට ගින්න නිවී යන්නා සේම නින්දා කරන්නෙකු නැති විට විවාදයද නතර වෙයි.”

     “මං කාරුණිකව උත්තර දුන්නාම අනිත් කෙනා සන්සුන් වෙනවා. එතකොට කේන්තියෙන් කෑගහගන්නේ නැතුව දෙන්නටම සන්සුන්ව කතාබහ කරන්න පුළුවන්.”—ජැස්මින්.

     මං කරන කියන දේවල් ගින්නට පිදුරු දානවා වගේ වෙන්නේ කොහොමද?

  •   හිතෝපදේශ 22:3. “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.”

     “සමහර වෙලාවට සිද්ධ වුණේ මොකක්ද කියලා හිතලා බලන්න ටිකක් එතනින් අයින් වෙන්න සිද්ධ වෙනවා. එතකොට ටිකක් සන්සුන් වෙලා ඒ තත්වයට හොඳින් මුහුණ දෙන්න පුළුවන් වෙනවා.”—ගැරී.

     ප්‍රශ්නයක් ඇති වෙද්දී අනිත් කෙනාට රිද්දන්නේ නැතුව එතනින් පිට වෙලා යන්න ඕන කොයි අවස්ථාවෙදිද?

  •   යාකොබ් 3:2. “අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි.”

     “වරදක් වුණාම ඒ ගැන පසුතැවෙන්න ඕනේ. හැබැයි ඒකෙන් පාඩමකුත් ඉගෙනගන්න ඕනේ. ඊළඟ වතාවේදී ඒ වරද නොකර ඉන්න ඒක උදව්වක් වෙනවා.”—කෙරී.

 යෝජනාවක්: ඉලක්කයක් තියාගන්න. මාසයක් වගේ කාලයක් තරහ ගන්නේ නැතුව සන්සුන්ව ඉන්නවා කියලා අධිෂ්ඨාන කරගන්න. ඊටපස්සේ දිනපතා ඔයාගේ දියුණුව සටහන් කරන්න.