Skip to content

යොවුන් සිතේ ගැටලු

මගේ මූඩ් හිටි හැටියේ වෙනස් වෙනවා නම් . . .

මගේ මූඩ් හිටි හැටියේ වෙනස් වෙනවා නම් . . .

“එක දවසක් සතුටින් හිටියොත් අනිත් දවසේ මූඩ් අවුට් වෙලා ඉන්නේ. ඊයේ සතුටින් කරපු දේවල් අද කරද්දී කේන්ති යනවා. මට තේරෙන්නේ නෑ ඇයි කියලා.”—කරීසා.

මේ හොඳට හිනා වෙලා ඉන්න කෙනා ඊළඟ මෙහොතේ බලද්දී මූණ එල්ලගෙන. ඔයාට එහෙම වෙනවාද? කිසිම හේතුවක් නැතුව ඔයාගේ මූඩ් හිටි හැටියේ වෙනස් වෙනවාද? a එහෙමනම් මේ ලිපියේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙයි.

 ඇයි එහෙම වෙන්නේ?

 ඔයා ඉන්නේ නව යොවුන් වියේ නම් ඔයාගේ මූඩ් නිතර නිතර වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්. තරුණ වයසට ආවාට පස්සෙත් ඒ දේ වෙන්න පුළුවන්. සමහරවිට කිසිම හේතුවක් නැතුව මූඩ් වෙනස් වෙනකොට ‘ඇයි මෙහෙම වෙන්නේ?’ කියලා ඔයා කල්පනා කරනවා ඇති.

 නව යොවුන් වියේ හෝමෝනවල ඇති වෙන වෙනස්කම් නිසා යෞවනයෙක්ට බයක්, නොසන්සුන්කමක්, ලැජ්ජාවක් දැනෙන්න පුළුවන් කියලා අපි දන්නවා. මූඩ් අවුට් වෙන එකත් ඒ වයසේ ඉන්න අයට තියෙන සාමාන්‍ය දෙයක්. ඒ නිසා බය වෙන්න එපා. ඔයාට ඔයාගේ හැඟීම් තේරුම් අරන්, ඒවා පාලනය කරන විදිහ ඉගෙනගන්න පුළුවන්.

 ඇත්ත තත්වය: යොවුන් වියේදීම ඔයාගේ හැඟීම් පාලනය කරගන්න ඉගෙනගන්න. වැඩිහිටියෙක් වුණාම ජීවිතේ විවිධ අභියෝග ජය ගන්න ඒක ඔයාට ප්‍රයෝජනවත් වෙයි.

අපේ දුක්බර සිතුවිලි හරියට පාරක තියෙන වළවල් වගේ. දක්ෂ රියදුරෙක්ට පුළුවන් ඒවා බේරලා රිය පදවන්න. ඔයාටත් පුළුවන් වළවල් වගේ තියෙන දුක්බර සිතුවිලි පාලනය කරන විදිහ ඉගෙනගන්න

 කරන්න පුළුවන් දේවල් තුනක්

 කියන්න. බයිබලයේ මෙහෙම කියනවා. “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”—හිතෝපදේශ 17:17.

 “අපේ පවුලට ගොඩක් කිට්ටු ආන්ටි කෙනෙක් ඉන්නවා. මට එයා එක්ක කතා කරන්න කිසිම බයක් නැහැ. මං මොනා හරි ප්‍රශ්නයක් ගැන කතා කරද්දී එයා හොඳට මට ඇහුම්කන් දෙනවා. ඒ ප්‍රශ්නේ ගැන මං හිතන විදිහ හරි නම් එයා ඒක අගය කරනවා. ඒත් හදාගන්න ඕනෙ පැත්තක් දැක්කොත් එයා මට ඒක පෙන්නලා දෙනවා.”—යොලන්ඩා.

 යෝජනාවක්: මූඩ් වෙනස් වෙන ගැටලුව ගැන ඔයාගේ වයසේ ඉන්න අය එක්ක විතරක් කතා කරන්න එපා. මොකද හුඟක් වෙලාවට එයාලටත් ඒ ගැටලුව තියෙනවා. එයාලට බැහැ ඔයාට උදව් කරන්න. ඒ නිසා ඔයාගේ අම්මලා එක්ක හරි විශ්වාස කරන්න පුළුවන් අද්දැකීම් තියෙන වැඩිහිටියෙක් එක්ක හරි කතා කරන්න.

 ලියන්න: ගොඩක් දුකෙන් හිටපු යෝබ් කියලා කෙනෙක් ගැන බයිබලයේ කතා කරනවා. එයා දුකෙන් මිරිකිලා හිටපු වෙලාවක කියපු දේ බලන්න. “මට මාගේ ජීවිතය තිත්ත වී ඇත. දරාගත නොහැකි වේදනාවකින් මම කතා කරන්නෙමි. හදවතේ දැවෙන දුක මම නොසඟවා ප්‍රකාශ කරන්නෙමි.” (යෝබ් 10:1) ඔයාගේ හිතට දැනෙන දුක “නොසඟවා ප්‍රකාශ කරන්න” පුළුවන් තව විදිහක් තමයි ඒ ගැන ලියන එක.

 “මගේ ළඟ හැම වෙලාවකම පොඩි පොතක් තියෙනවා. මගේ හිතට දුකක් දැනුණාම මම ඒ ගැන පොතේ ලියනවා. එතකොට මගේ මනසට ලොකු සහනයක් දැනෙනවා.”—ඉලිආනා.

 යෝජනාවක්: ඔයා ළඟ පොඩි පොතක් තියාගන්න. මූඩ් එක අප්සට් වෙනකොට ඒ ගැන පොතේ ලියන්න. දුකක් ඇති වුණේ ඇයි, ඒ වගේ දෙයක් වුණාම කරන්න පුළුවන් මොනවාද, වගේ දේවල් ගැන ඒකේ ලියන්න. මේ ලිපියට සම්බන්ධ ක්‍රියාකාරකමත් ඒකට ඔයාට උදව් වෙයි.

 යාච්ඤා කරන්න. බයිබලයේ මෙහෙම කියනවා. “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය. ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ නොදෙන්නේය.”—ගීතාවලිය 55:22.

 “දුකක් දැනෙනකොට මම හිතේ තියෙන හැම දෙයක්ම යෙහෝවා දෙවිට කියනවා. එහෙම කරාට පස්සේ හිතේ තිබ්බ ලොකු බරක් අයින් වුණා වගේ මට දැනෙනවා.”—ජැස්මින්.

 යෝජනාවක්: දුකෙන් ඉන්න වෙලාවට දෙවිගෙන් ඔයාට ලැබිලා තියෙන දේවල් තුනක් ගැන හිතන්න. උදව් ඉල්ලලා යෙහෝවා දෙවිට යාච්ඤා කරද්දී ඒ දේවලට ස්තුති කරන්නත් අමතක කරන්න එපා.

a යොවුන් වයසේ ඉන්න ළමයින්ගේ මූඩ් නිතර වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්. මේ ලිපියේ කතා කරන්නේ ඒ ගැන. ඒත් ඔයා මානසික අවපීඩනය නැත්නම් ද්වී මනෝ ස්වභාවයෙන් (බයි පෝලර් අක්‍රමිකතාවයෙන්) පීඩා විඳින කෙනෙක් නම් “ඔයාත් මානසික අවපීඩනය නිසා දුක් විඳින කෙනෙක්ද?” කියන ලිපිය බලන්න.