Skip to content

යොවුන් සිතේ ගැටලු

දුම් බොන එක ගැන මං දැනගෙන ඉන්න ඕනෙ මොනවාද?

දුම් බොන එක ගැන මං දැනගෙන ඉන්න ඕනෙ මොනවාද?

 “අපේ පැත්තේ සිගරට් එකක්, වේප් එකක් කටේ තියලා නැති අවුරුදු 25ට අඩු එක් කෙනෙක්වත් හොයාගන්න නෑ.”—ජූලියා.

මේ ලිපියෙන්

 ඔයා දැනගෙන ඉන්න ඕන දේ

  •   සිගරට් ජීවිත බිලිගනියි. දුම්කොළ ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි නිකොටින්. ඒක ශරීරෙට විසයි. අනික, ඒක හරිම ඇබ්බැහි කරවන දෙයක්. එක්සත් ජනපදයේ රෝග මර්ධන සහ වළක්වාගැනීමේ ආයතනවල වාර්තාවක මෙහෙම කියනවා. “තරුණ ජීවිත අකාලේ නැති වෙලා යන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ දුම්කොළ පාවිච්චිය. ලෝකේ පුරාම සිද්ධ වෙන මේ මරණ ඇත්තටම වළක්වන්න පුළුවන් ඒවා.”

     “මගේ ජොබ් එක ලෙඩ්ඩුන්ව ස්කෑන් කරන එක. දුම් බොන එක කෙනෙක්ගේ ශරීරයට කොච්චර බලපානවාද කියලා ස්කෑන්වලින් මං හොඳට දකිනවා. එයාලාගේ ධමනිවල ප්ලාක් තැන්පත් වෙලා තියෙන විදිහ දකිද්දී ඇත්තටම පුදුම හිතෙනවා. මට මගේ ශරීරේ ගොඩක් වටිනවා. සිගරට් බීලා ඒක නාස්ති කරගන්න මං කැමති නෑ.”—තෙරේසා.

     මේක දැනගෙන හිටියාද? සිගරට්වල රසායනික ද්‍රව්‍ය 7,000ක් විතර තියෙනවා. ඒවායින් ගොඩක් ඒවා විස සහිතයි. හැම අවුරුද්දකම දුම්කොළ පාවිච්චිය නිසා මිනිස්සු මිලියන ගාණක් මැරෙනවා.

  •   වේප් පාවිච්චි කරන අයත් තමන්ගේ ශරීරවලට විස රසායනික ද්‍රව්‍ය ඇතුල් කරගන්නවා. ඉලෙක්ට්‍රොනික් සිගරට් නැත්නම් වේප් පෙන් පාවිච්චිය නිසාත් පෙණහලු රෝග ඇති වෙලා හුඟදෙනෙක් මැරෙනවා කියලා හොයාගෙන තියෙනවා. සිගරට්වල වගේම හුඟක් වේප් නිෂ්පාදනවලත් නිකොටින් තියෙනවා. නිකොටින්වල තියෙන ඇබ්බැහි කරවන ගතිය නිසා තරුණ අය වෙන වෙන මත්ද්‍රව්‍යවලටත් ඇබ්බැහි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියලා එක වාර්තාවක කියනවා.

     “ටොෆි, සීනිබෝල රස තියෙන වේප් නිෂ්පාදන තියෙනවා. ඒවාට දරුවන්, යෞවනයන් ගොඩක් කැමතියි. ඒවා පැණි රස නිසා හුඟදෙනෙක් හිතනවා ඒවායින් කිසිම හානියක් වෙන්නේ නෑ කියලා.”—මිරෙන්ඩා.

     මේක දැනගෙන හිටියාද? ඊ-සිගරට් එකකින් එන වාෂ්පවල තියෙන්නේ නිකම්ම වතුර නෙමෙයි. විස වෙන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය ඇතුළුව ගොඩක් අහිතකර දේවල් ඒකේ තියෙනවා. ඒවා ඔයාගේ පෙණහලුවලට ඇතුල් වෙනවා.

 සිගරට්, වේප් පාවිච්චි කරන එකේ අනතුරු

  1.  (1) ඉගෙනගන්න, දේවල් අවබෝධ කරගන්න තියෙන හැකියාව දුර්වල වෙනවා. මූඩ් වෙනස් වෙනවා. විශේෂයෙන්ම ඒක බලපාන්නේ යෞවන අයගේ මොළේට

  2.  (2) විදුරුමස් ආසාදන සහ දත් කුහර

  3.  (3) බරපතළ පෙණහලු රෝග සහ හෘද රෝග

     ඇදුම රෝගය තවත් දරුණු වෙනවා

     බඩඑළිය සහ ඔක්කාරය

 ඔයාට කරන්න පුළුවන් දේ

  •   දැනුවත් වෙන්න. ඔයාගේ කනට වැටෙන හැම දෙයක්ම විශ්වාස කරන්න එපා. උදාහරණෙකට “වේප්වලින් කිසිම හානියක් වෙන්නේ නෑ, පීඩනය අඩු කරගන්න ඒක හොඳ ක්‍රමයක්” වගේ අදහස් එකපාර පිළිගන්න එපා. ඔයාම තොරතුරු හොයලා බලලා හොඳ තීරණයක් ගන්න.

     බයිබල් ප්‍රතිපත්තිය: “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.”—හිතෝපදේශ 14:15.

     “ජනප්‍රිය තරු, ඔයාගේ යාළුවෝ පෙන්නන්නේ සිගරට්, වේපින් කියන්නේ හානියක් නැති විනෝද වෙන්න පුළුවන් දෙයක් කියලා. හැබැයි ඒක ඇත්තක් නෙමෙයි කියලා ඒවාවලින් වෙන හානිය ගැන හිතද්දී ඔයාට තේරෙයි.”—ඉවෑන්.

     හිතන්න දෙයක්: ඔයාගේ වයසේ සිගරට් බොන, වේප් පාවිච්චි කරන අය ඇත්තටම ඉන්නේ සතුටින්ද? දැන් හරි ඉස්සරහට හරි පීඩනයක් දැනුණොත් ඒකට මූණ දෙන්න එයාලට පුළුවන් වෙයිද? එහෙම නැත්නම් එයාලා කරන්නේ තව තව ප්‍රශ්න දාගන්න එකද?

  •    පීඩනය අඩු කරගන්න ප්‍රයෝජනවත් දෙයක් කරන්න. ව්‍යායාම් කරන එක, පොත් පත් කියවන එක, හොඳ යාළුවෝ එක්ක කාලේ ගත කරන එක පීඩනය අඩු කරගන්න ඔයාට කරන්න පුළුවන් ප්‍රයෝජනවත් දේවල්. ඔයාට හිතන්න හොඳ දේවල් තියෙනවා නම් ‘සිගරට් එකක් බිව්වා නං හොඳයි’ කියලා හිතෙන එකක් නැහැ.

     බයිබල් ප්‍රතිපත්තිය: “මිනිසෙකු තම සිතේ ඇති කනස්සල්ල නිසා මානසිකව වැටෙයි. නමුත් දිරිගන්වනසුලු වචනයකින් ඔහුගේ සිත ප්‍රීතිමත් වෙයි.”—හිතෝපදේශ 12:25.

     “සිගරට් එකක්, වේපින් එකක් උරන එක පීඩනේට කියාපු බෙහෙත කියලා හුඟක් අය හිතනවා. ඒවාට කරන්න පුළුවන් එකම දේ තාවකාලික සහනයක් දෙන එක විතරයි. හැබැයි ඒවායින් වෙන හානිය නං තාවකාලික නෑ. පීඩනේ දරාගන්න ඊට වඩා හොඳ ගොඩක් විදි තියෙනවා.”—ඇන්ජලා.

     හිතන්න දෙයක්: පීඩනයක් දැනෙද්දී ඒකට හොඳින් මූණ දෙන්න ඔයාට කරන්න පුළුවන් සමහර දේවල් මොනවාද? ඒ ගැන දැනගන්න “යොවුන් සිතේ ගැටලු” යටතේ තියෙන “කනස්සල්ලක් ඇති වෙද්දී කරන්න පුළුවන් මොනවාද?” කියන ලිපිය බලන්න.

පීඩනයෙන් නිදහස් වෙන්න හිතාගෙන ඇබ්බැහි කරවන දේකට ළං වෙන එක හරියට වැස්සෙන් බේරෙන්න මුහුදට පනිනවා වගේ වැඩක්. ඒකෙන් වෙන්නේ ඔයාගේ ප්‍රශ්න තවත් වැඩි වෙන එකයි

  •    යාළුවන්ගෙන් එන බලපෑමට මූණ දෙන්න ලෑස්ති පිට ඉන්න. සිගරට් බොන්න, වේපින් පාවිච්චි කරන්න ඔයාට බලපෑමක් එන්න පුළුවන් ඉස්කෝලේ යාළුවන්ගෙන් විතරක් නෙමෙයි, ඔයා විනෝදෙට අහන බලන දේවලිනුත් ඒක වෙන්න පුළුවන්. මොකද ෆිල්ම්වල, TVවල, සෝෂල් මීඩියාවල හුඟක් වෙලාවට පෙන්නන්නේ ඒ දේවල් කරන එක හරිම ෆන් කියලයි.

     බයිබල් ප්‍රතිපත්තිය: ‘අවබෝධයෙන් ක්‍රියා කරන අය තමන්ගේ වටහාගැනීමේ හැකියාව භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී සිටිති.’—හෙබ්‍රෙව් 5:14.

     “සිගරට්, වේපින් පාවිච්චි කරන්නේ නැතුව ඉන්න මං ගත්ත තීරණේට ඉස්කෝලේ ළමයි ගරු කළා. මං ඒවා පාවිච්චි කරන්නේ නෑ කියලා කෙළින් කිව්වාට පස්සේ එයාලා මං වෙනුවෙන් කතාත් කළා. සමහරවිට ඒ වගේ දෙයක් කියන එක මහ පිස්සු වැඩක් කියලා ඔයාට හිතෙයි. හැබැයි කලින්ම කියලා තිබ්බොත් ඒක ඔයාට ආරක්ෂාවක්.”—ඇනා.

     හිතන්න දෙයක්: යාළුවන්ගෙන් එන බලපෑමට අහු වෙන්නේ නැතුව ඉන්න ඔයාට පුළුවන්ද? ඔයා එහෙම කරපු අවස්ථා ඔයාට මතකද? යාළුවන්ගෙන් එන බලපෑම්වලට අහු වෙන්නේ නැතුව ඉන්න ඔයාට උදව් ඕනෙ කියලා හිතනවා නම් ‘යොවුන් සිතේ ගැටළු - ඊට විසඳුම්’ 2වන පොතේ 15වෙනි පරිච්ඡේදයේ “මිත්‍රයන්ගෙන් පීඩනයක් එන විට” කියන කොටස බලන්න.

  •   හොඳට හිතලා යාළුවෝ තෝරගන්න. දුම් බොන එක ගැන ඔයාගේ යාළුවන්ට හැඟෙන්නේ ඔයාට හැඟෙන විදිහටම නම් ඒ බලපෑමට අහු නොවී ඉන්න ඔයාට ලේසියි.

     බයිබල් ප්‍රතිපත්තිය: “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.”—හිතෝපදේශ 13:20.

     “තමන්ව පාලනය කරගන්න, ප්‍රතිපත්තිගරුක අයව යාළුවන් කරගත්තොත් ඔයාට වෙන්නේ හොඳක්. එයාලාගේ ජීවිත සාර්ථක වෙනවා දකිද්දී එයාලා වගේ වැඩ කරන්න ඔයාත් ඉබේම පෙලඹෙනවා.”—කැල්වින්.

     හිතන්න දෙයක්: නිරෝගී, පවිත්‍ර ජීවිතයක් ගත කරන්න ඔයාගේ යාළුවෝ ඔයාට උදව් කරනවාද? එහෙම නැත්නම් ඔයාගේ යාළුවෝ නිසා ඒක කරන්න ඔයාට අමාරුයිද?

 මරිජුවානා/ගංජා ගහන එක ප්‍රශ්නයක් නැද්ද?

 හුඟදෙනෙක් කියනවා මරිජුවානා/ගංජා ගහන එකෙන් හානියක් වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒක බොරුවක්!

  •   ගංජා පාවිච්චි කරන යෞවන අය ඒකට ඇබ්බැහි වෙන්න පුළුවන්. පරීක්ෂණවලින් හොයාගෙන තියෙනවා ගංජා නිසා කෙනෙක්ගේ මොළේට වෙන හානිය ආයේ නැති කරන්න බැහැ කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට හොඳට හිතලා බලලා වැඩ කරන්න පුළුවන් හැකියාව අඩු වෙනවා.

  •   එක්සත් ජනපදයේ කරපු එක සමීක්ෂණයකින් (U.S. Substance Abuse and Mental Health Services Administration) හොයාගෙන තියෙනවා ගංජා පාවිච්චි කරන අයට අනිත් අය එක්ක හොඳ බැඳීම් තියාගන්න අමාරුයි කියලා. ඉස්කෝලේ වැඩ හරියට කරන්න, රස්සාවක් හරියට කරන්න එයාලට බැහැ. එයාලට ජීවිතේ ගැන තියෙන්නේ කලකිරීමක්.

     “පීඩනෙන් නිදහස් වෙන්න ගංජා ගහන්න මටත් හිතිලා තියෙනවා. ඒත් ඒක ගත්තොත් මං ඒකට ඇබ්බැහි වෙනවා. ආයේ ආයේ ගන්න ගොඩක් සල්ලිත් ඕනේ. අනික, ඒවා ඇඟටත් හොඳ නෑ. ඒ ගැන හිතද්දී මට තේරුණා මේකෙන් වෙන්නේ මගේ පීඩනේ අඩු වෙන එක නෙමෙයි තව වැඩි වෙන එක කියලා.”—ජූඩා.