Skip to content

යොවුන් සිතේ ගැටලු

සෝෂල් මීඩියා මට බලපාන්නේ කොහොමද?

සෝෂල් මීඩියා මට බලපාන්නේ කොහොමද?

 සෝෂල් මීඩියා පාවිච්චි කරන්න ඔයාගේ අම්මායි තාත්තායි ඔයාට ඉඩ දීලාද තියෙන්නේ? එහෙමනම් මේ ලිපිය ඔයාට වැදගත් පැති තුනකින් උදව් වෙයි.

මේ පිටුවෙන්

 සෝෂල් මීඩියා නිසා මගේ කාලේ නාස්ති වෙනවාද?

 සෝෂල් මීඩියා එකේ ඉන්න එක හරියට මෙල්ල කරපු නැති, මුරණ්ඩු අශ්වයෙක් පිටේ යනවා වගේ. එක්කෝ ඔයා ඌව පාලනය කරයි. නැත්නම් ඌ ඔයාව පාලනය කරයි.

 “මම සෝෂල් මීඩියා යන්නේ නම් විනාඩි දෙක තුනකට කියලා හිතාගෙන. හැබැයි දන්නෙම නැතුව පැය ගාණක් ගිහිල්ලා.සෝෂල් මීඩියාවලට ලේසියෙන්ම ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒ වගේම වෙලාවත් නාස්ති වෙනවා.”—ජොඇනා.

 මේක දැනගෙන හිටියාද? සෝෂල් මීඩියා හදලා තියෙන්නේ ඇබ්බැහි වෙන්නම තමයි. වෙබ්සයිට් එකක් ජනප්‍රිය වෙන්න වෙන්න,මිනිස්සු ඒකේ ගැවසෙනවත් වැඩියි. ඉතින් ඒ වගේ වෙබ්සයිට් එකක වෙළඳ දැන්වීම් දැම්මාම එයාලට ගොඩක් මුදල් අය කරගන්නත් පුළුවන්. ඒ නිසයි සෝෂල් මීඩියා වගේ වෙබ්සයිට් හදන අය ඒවා ඇබ්බැහි වෙන විදිහටම හදන්නේ.

 මේ ගැන හිතන්න: ‘සෝෂල් මීඩියා යන්න ගත්තාම මම නිතරම වගේ මගේ සීමාව ඉක්මවලා යනවාද? සෝෂල් මීඩියාවලට දෙන කාලේ ඊට වඩා වැදගත් දේකට පාවිච්චි කරන්න මට පුළුවන්ද?’

 ඔයාට කරන්න පුළුවන් දේ. සෝෂල් මීඩියා පාවිච්චි කරද්දී ඊට කලින්ම ඔයා කොච්චර වෙලාවක් සෝෂල් මීඩියා පාවිච්චි කරනවාද කියලා සීමාවක් දාගන්න. ඒ සීමාවෙන් පිටපනින්න එපා.

සෝෂල් මීඩියා පාවිච්චි කරන වෙලාව සීමා කරන්න.

 “නිශ්චිත වෙලාවකට පස්සේ සමහර ඇප්ස් ලොක් වෙන විදිහට මම මගේ ෆෝන් එකේ සෙටිංස් හදාගෙන තියෙනවා. මං ඒ විදිහට මටම සීමාවක් දාගෙන වැඩ කළාට පස්සේ කාලයක් යද්දී සමබරව වැඩ කරන්න මම ඉගෙනගත්තා. ඒ වගේම සෝෂල් මීඩියාවල ගියත් මගේ සම්පූර්ණ දවසම නාස්ති කරගන්නේ නැතුව ඉන්න මට පුළුවන් වුණා.”—ටීනා.

 බයිබල් ප්‍රතිපත්තිය: “ඔබට ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.”—එෆීස 5:16.

 සෝෂල් මීඩියා නිසා මගේ නින්ද නැති වෙනවාද?

 ප්‍රවීණයන් කියන විදිහට යෞවන වයසේ ඉන්න දරුවන්ට අඩුම තරමේ පැය අටකවත් නින්දක් අවශ්‍යයි. ඒත් හුඟදෙනෙක්ට ඒ නින්ද ලැබෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා ඒකට හේතුවක්.

 “නිදාගන්න කලින් මං සාමාන්‍යයෙන් ෆෝන් එක බලනවා. එතකොට දන්නෙම නැතුව පැය ගාණක් මම නාස්ති කරලා. ඒක මං කඩාගන්න හදන නරක පුරුද්දක්.”මරියා.

 මේක දැනගෙන හිටියාද? කෙනෙක්ට දිගින් දිගටම අවශ්‍ය කරන නින්ද ලැබුණේ නැත්නම් එයාට ලොකු කනස්සල්ලක් වගේම මානසික පීඩනයක් ඇති වෙන්න පුළුවන්. මහාචාර්යවරියක් වන ජීන් ට්වෙන්ජ් කියන විදිහට කෙනෙක්ගේ මූඩ් එක අප්සට් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි එයාට හරිහමන් නින්දක් ලැබෙන්නේ නැති එක. “දිගින් දිගටම එහෙම වුණාම බරපතළ මානසික රෝග වුණත් හැදෙන්න පුළුවන්” කියලා එයා කියනවා. a

 මේ ගැන හිතන්න: ‘මං හැමදාම පැය කීයක් නිදාගන්නවාද? නිදාගන්න තියෙන වෙලාවේ මං සෝෂල් මීඩියා එකේ ස්ක්‍රෝල් කරකර ඉන්නවාද?’

 ඔයාට කරන්න පුළුවන් දේ. රෑට නිදාගන්න යනකොට ෆෝන්, ටැබ් වගේ දේවල් ඔයාගේ කාමරේ තියාගන්න එපා. පුළුවන් නම් නිදාගන්න පැය දෙකකට කලින් ඒවා පාවිච්චි කරන එක නවත්තන්න. උදේට ඇහැරෙන්න ඔයාට එලාම් එකක් ඕනෙ නම් ෆෝන්, ටැබ් නැතුව ඒකට පොඩි ඔරලෝසුවක් වගේ දෙයක් පාවිච්චි කරන්න.

නිදාගන්න පැය දෙකකට කලින් සෝෂල් මීඩියා පාවිච්චි කරන එක නතර කරන්න

 “ඇත්තම කියනවා නම් මං සමහර දවස්වල රෑ එළි වෙන කල් ෆෝන් එකේ එල්ලිලා ඉන්නවා. ඒත් ඒ පුරුද්ද කඩාගන්න මං ලොකු ට්‍රයි එකක් දෙනවා. මොකද මං පොඩි ළමයෙක් නෙමෙයිනේ. වගකීමෙන් වැඩ කරන්න මං ඉගෙනගන්න ඕනේ. ඊළඟ දවසේ මගේ සීයට සීය දෙන්න නම් මං කලින් දවස හොඳ නින්දක් ගන්න ඕනේ.”—ජෙරමි.

 බයිබල් ප්‍රතිපත්තිය: ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.’—ෆිලිප්පි 1:10.

 සෝෂල් මීඩියා නිසා මගේ මූඩ් එක අප්සට් වෙනවාද?

 සැරයක් සමීක්ෂණයකට යෞවනියන් පිරිසක්ව හවුල් කරගත්තා. එයාලාගෙන් භාගයක්ම වගේ කිව්වේ “එයාලට ගොඩක් වෙලාවට ලොකු දුකක් දැනෙනවා, ජීවිතෙත් එපා වෙනවා කියලා.” ඒකට බලපාපු එක හේතුවක් තමයි සෝෂල් මීඩියා. මහාචාර්ය ලෙනාඩ් සැක්ස් ඒ ගැන මෙහෙම කියනවා. “ඔයා සෝෂල් මීඩියාවල කාලය ගත කරන තරමටම අනිත් අයත් එක්ක ඔයාවම සන්සන්දනය කරන්න පෙලඹෙනවත් වැඩියි. අන්තිමේදී ඒකෙන් වෙන්නේ ඔයාම මානසිකව වැටෙන එකයි.” b

 “සාමාන්‍යයෙන් යෞවනයන් කොහොමත් තමන්ව අනිත් අයත් එක්ක සන්සන්දනය කරනවා. සෝෂල් මීඩියාවලින් කරන්නේ ඒකට තව පොහොර දාන එකයි. ඔයාගේ යාළුවන් කාපු බීපු විදිහ, එයාලා ගිය තැන්, විනෝද වෙච්ච විදිහ ගැන තියෙන පෝස්ට් බලබල පැය ගණන් කාලේ ගත කරද්දී ඔයාගේ ජීවිතේ ලොකු අඩුවක් තියෙනවා කියලා ඔයාට හිතෙයි.”—ෆීබී.

 මේක දැනගෙන හිටියාද? සෝෂල් මීඩියාවලින් ඔයාගේ යාළුවන්ට “හායි, හලෝ!” කියන්න නම් පුළුවන්. ඒත් හම්බ වෙලා කතා කරනවා වගේ සතුටක් ඒකෙන් ඔයාට ලැබෙන්නේ නැහැ. මහාචාර්ය නිකලස් කාඩරස් මෙහෙම කියනවා. “අපි සතුටින් ඉන්න නම් අනිත් අය මූණට මූණ හම්බ වෙලා එයාලත් එක්ක කතා කරන එක අත්‍යවශ්‍යයි. ඒක අපිට සහජයෙන්ම තියෙන අවශ්‍යතාවයක්. ඩිවයිස්වලින් නම් ඒ අවශ්‍යතාව ඉටු වෙන්නේ නැහැ.” c

 මේ ගැන හිතන්න. ‘සෝෂල් මීඩියාවල මගේ යාළුවෝ කරන දේවල් දිහා බලද්දී මට තනිකමක් දැනෙනවාද? මගේ ජීවිතේ බෝරිං කියලා හිතනවාද? මං දාපු පෝස්ට් එකට ලයික් අඩුයි නං, එහෙම නැත්තං ලයික් එකක් ලැබුණෙම නැත්තං මට අප්සෙට් යනවාද?’

 ඔයාට කරන්න පුළුවන් දේ. ටික දවසකට, සතියකට නැත්නම් මාසෙකට හරි සෝෂල් මීඩියාවලට තිත තියලා බලන්න. ෆෝන් කෝල් එකකින් හරි මුණගැහිලා හරි යාළුවන් එක්ක කතා කරන, යාළුවන් එක්ක ආශ්‍රය කරන කාලේ තව වැඩි කරගන්න. එහෙම කරද්දී ඔයාට දැනෙන පීඩනය අඩු වෙලා කලින්ට වඩා ඔයාට සතුටක් දැනෙනවාද කියලා බලන්න.

යාළුවන්ව හම්බ වෙලාම ආශ්‍රය කරන්න වැඩිපුර කාලයක් ගන්න ඔයාට පුළුවන්ද?

 “සෝෂල් මීඩියා පාවිච්චි කරද්දී මගේ වැඩේම අනිත් අය කරකර ඉන්න දේවල් දිහා බලන එකයි. ඒත් මගේ එකවුන්ට් ඔක්කොම ඩිලීට් කළාට පස්සේ මට දැනුණේ ලොකු බරක් මගේ ඔළුවෙන් අයින් කළා වගේ. ලොකු සැහැල්ලුවක් දැනුණා. ඊට වඩා ප්‍රයෝජනවත් දේවල් කරන්න දැන් මට ගොඩක් වෙලාව ඉතුරුයි.”—බ්‍රියානා.

 බයිබල් ප්‍රතිපත්තිය: “සෑම කෙනෙක්ම තමා කරන දේවල් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි. එවිට තමා කළ දේ ගැන සතුටු වීමට ඔහුට පුළුවන. මෙහිදී අන් අය සමඟ සැසඳීම් කිරීම අවශ්‍ය වන්නේ නැත.”—ගලාති 6:4.

a iGen කියන පොතෙන්.

b Why Gender Matters කියන පොතෙන්.

c Glow Kids කියන පොතෙන්.