Skip to content

යොවුන් සිතේ ගැටලු

යාළු වෙන එක - 2වෙනි කොටස: යාළු වෙලා ඉන්න කාලේ මට තේරෙන්න ඕනෙ මොනවාද?

යාළු වෙන එක - 2වෙනි කොටස: යාළු වෙලා ඉන්න කාලේ මට තේරෙන්න ඕනෙ මොනවාද?

 ඔයාගේ හිත හොරාගත්ත කෙනා එක්ක ඔයා දැනටමත් යාළු වෙලා ඇති. එයාව බඳින්න හොඳයිද නැද්ද කියලා තීරණෙකට එන්න මේක තමයි කාලේ. යාළු වෙලා ඉන්න කාලේ මොන වගේ දේවල්ද ඔයාට තේරෙන්න ඕනේ?

මේ ලිපියෙන්

 ඇත්ත හැංගුවොත් වැඩ වරදිනවා

 ඔය දෙන්නා එකට කාලේ ගත කරද්දී දෙන්නාට දෙන්නා තව අඳුරගන්න පුළුවන්. එයා හැසිරෙන විදිහෙන්, වැඩ කරන විදිහෙන් එයා කොයි වගේ කෙනෙක්ද කියලා දැනගන්න පුළුවන්.

 හැබැයි සමහර දේවල් තියෙනවා කොළේ වහන්නේ නැතුව කෙළින්ම කතා කරන්න ඕනේ. එහෙම කරද්දී හැඟීම්වලට වහල් වෙන්නේ නැතුව ඇත්ත තත්වය තේරුම්ගන්න.

 දෙන්නා එකතු වෙලා මේ දේවල් කතා කළොත් නරකද?

  •   සල්ලි. ඔයාට ණය එහෙම තියෙනවාද? ඔයා නිකං හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අත දිග ඇරලා වියදම් කරන කෙනෙක්ද? හම්බෙන ගාණයි, වියදම් කරන ගාණයි බැලන්ස් කරන විදිහ ගැන බැන්දාට පස්සේ ඔයාලා තීරණ ගන්නේ කොහොමද?

  •   සෞඛ්‍යය. ඔයා ලෙඩක් දුකක් නැතුව ෆිට් එකේ ඉන්න කෙනෙක්ද? ඔයාට බරපතළ ලෙඩක් එහෙම හැදිලා තියෙනවාද?

  •   ඉලක්ක. ඔයා මොනවාද ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ? ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ, බෝයි ෆ්‍රෙන්ඩ්ගේ ඉලක්ක ඔයාගේ ඉලක්කත් එක්ක සෙට් වෙනවාද? බැන්දාට පස්සේ ඔයාගේ තත්වයන් වෙනස් වෙලා ඒ ඉලක්කවලට යාගන්න බැරි වුණොත් ඔයා දැන් වගේම සතුටින් ඉඳියිද?

  •   පවුල. ඔයාද දැන් පවුලේ අයව බලාගන්නේ? එහෙම වගකීමක් ඔයාට ඉස්සරහට එයි කියලා හිතනවාද? ඔයා ළමයි හදන්න ආසයිද? එහෙමනම් ඒ කීදෙනෙක්වද?

 ඒ වගේ දේවල් ගැන කතා කරද්දී කිසිම දෙයක් හංගන්න එපා. එයාට හොඳ මූණක් පෙන්නන්න ඕන නිසා දේවල් යටගහන්නවත් එක දෙක කරලා කියන්නවත් එපා.—හෙබ්‍රෙව් 13:18.

 හිතන්න දෙයක්: යාළු වෙලා ඉන්න කෙනා ගැන ඔයා දැනගන්න ඕන මොනවාද? එයා මොනවාද ඔයා ගැන දැනගන්න ඕනේ? දැන් ඉඳන්ම දේවල් හංගන්නේ නැතුව කතා කරන එක ඔය දෙන්නා ඉස්සරහට බැන්දොත් උදව් වෙන්නේ කොහොමද?

 බයිබල් ප්‍රතිපත්තිය: “එකිනෙකා තම අසල්වැසියා සමඟ සත්‍යය කතා කළ යුතුයි.”—එෆීස 4:25.

 “ගෑනු ළමයා හිතං ඉන්නේ මාස හයකින් එන්ගේජ් වෙයි කියලා. හැබැයි පිරිමි ළමයා හිතං ඉන්නේ අවුරුද්දකින් එන්ගේජ් වෙන්න. එහෙම වුණාම ගෑනු ළමයාගේ හිත රිදෙන්න පුළුවන්. ‘එයා කල් දාන්නේ ඇත්තටම මට කැමති නැති නිසාද’ කියලත් හිතෙන්න පුළුවන්. ඉතිං ඒ ගැන කලින්ම කතා කරලා දෙන්නා හිතන විදිහ තේරුම් අරන් හිටියා නම් කොච්චර හොඳයිද!”—අරියානා, බැඳලා අවුරුද්දයි.

 එයා හිතන විදිහ ඔයා හිතන විදිහට වඩා වෙනස්

 මේ ලෝකේ කොහෙවත් එක වගේ දෙන්නෙක් නැහැ. ඒ නිසා ඔය දෙන්නා හැම දේකදීම එකඟ වෙයි, හැම දෙයක් ගැනම එකම විදිහට හිතයි කියලා හිතන්න එපා. මොකද ඔයාලාගේ සංස්කෘතිය, ඔයාලා හැදුණු වැඩුණු පරිසරය වෙනස්. ඒක ඔය දෙන්නා හිතන විදිහට බලපානවා.

 හිතන්න දෙයක්: බයිබල් ප්‍රතිපත්තියක් කැඩෙන්නේ නැත්නම් හැම පොඩි දේටම එල්ලීගෙන යන්නේ නැතුව සාමය වෙනුවෙන් දෙන්නාටම එක තැනකට එන්න පුළුවන්ද?

 බයිබල් ප්‍රතිපත්තිය: “ඔබ සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව සියලුදෙනාටම පැහැදිලි විය යුතුයි.”—ෆිලිප්පි 4:5.

 “ඔයාලා දෙන්නා කියාපු ජෝඩුව කියලා හිතුවාට එකඟ වෙන්නේ නැති තැන් අනිවාර්යයෙන්ම එනවා. එහෙම වෙලාවලදී දෙන්නා වැඩ කරන විදිහ තමයි ගොඩක් වැදගත්.”—මැතිව්, බැඳලා අවුරුදු පහයි.

 ඔළුවට ලොකු බරක් දැනෙනවා

 යාළු වෙලා ඉද්දී අනිත් කෙනාට ලොකු කාලයක් දෙන්න වෙයි. ඒ නිසා ඒක ඔයාට ලොකු බරක් වගේ දැනෙන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ?

 ලිමිට් එකක් තියාගන්න. එයාව ඔයාගේ මුළු ලෝකෙම කරගෙන ඔයාට කරන්න තියෙන වැඩයි, ඔයාගේ යාළුවන්වයි අත ඇරලා දාන්න එපා. එලේනා බැඳලා දැන් අවුරුදු පහක් වෙනවා. එයා මෙහෙම කියනවා. “බැන්දාට පස්සෙත් ඔයාට යාළුවෝ ඕනේ. ඒ යාළුවන්ටත් ඔයාව ඕනේ. ඔයාට දැන් කෙනෙක් ඉන්න නිසා යාළුවන්ව පැත්තකට දාන්න එපා.”

 බැන්දාට පස්සේ හැම දේම බැලන්ස් කරනවා කියලා හිතන් නැතුව යාළු වෙලා ඉන්න කාලෙම ඒක කරන්න බලන එක හොඳ නැද්ද?

 හිතන්න දෙයක්: එයාගේ ෆුල් කාලෙම, අවධානෙම දෙන්න ඕනෙ ඔයාට විතරයි කියලා ඔයා හිතනවාද? එයා එහෙම හිතනවා කියලා ඔයාට හිතෙනවාද? එහෙමනම් ඒ ගැන ඔය දෙන්නාට මීට වඩා සාධාරණ වෙන්න පුළුවන් කොහොමද? මොකද එතකොට අනිත් කෙනාට වධයක් නොවී ඉන්න ඔයාට පුළුවන්.

 බයිබල් ප්‍රතිපත්තිය: “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත.”—දේශනාකාරයා 3:1.

 “යාළු වෙලා ඉන්න කාලේ කරන්නේ විනෝද වෙන්න කරන දේවල්ම නම් බැන්දාට පස්සේ කරකෝලා අත්හැරියා වගේ තියෙයි. ඒ නිසා දෙන්නා එකතු වෙලා ගෙදර දොරේ වැඩ කරන එක, කඩේ යන එක, නමස්කාර දේවල් කරන එක වැදගත්. ඒ දේවල් විවාහෙට හොඳ අත්තිවාරමක්.”—ඩැනියෙල්, බැඳලා අවුරුදු දෙකයි.

 යාළු වෙලා ඉන්නවා කියන්නේ බඳිනවාද නැද්ද කියන තීරණේ ගන්න ඔය දෙන්නා ආශ්‍රය කරලා බලන කාලෙට. ඒ තීරණේ ගද්දී හිතලා බලන්න ඕන පැති ගැන මේ ලිපි මාලාවේ 3වෙනි කොටසේ කතා කරනවා.