Skip to content

පටුනට යන්න

 නිර්මාණයක්ද?

බිත්තර ගිලින ගෙඹි අම්මා!

බිත්තර ගිලින ගෙඹි අම්මා!

වඳ වී ඇතැයි සිතන එක්තරා ගෙඹි විශේෂයකට (Australian gastric brooding frog) තිබුණේ අරුම පුදුම පැටවුන් බිහි කිරීමේ ක්‍රමයක්. බිත්තර ගිලින ගෙඹි මව ඒවා රකින්නේ ආමාශයේ තබාගෙනයි. සති 6කට පමණ පසු වැඩුණු ගෙඹි පැටව් ඇගේ කටින් එළියට එනවා.

බිත්තරවලට හානිය වෙන එක වළක්වන්න ගෙඹි මව බිත්තර රකින කාලයේදී කෑම කන්නේ නැහැ. ඒ වගේම ආහාර දිරවන අම්ල උගේ ආමාශයෙන් පිටවෙන්නෙත් නැහැ. ඒකට හේතුව බිත්තරවලින් නිකුත් වන රසායනික ද්‍රව්‍යය සහ බිත්තරවලින් එළියට එන ගෙඹි පැටව් එම අම්ල නිපදවීම වළක්වන නිසයි.

ගෙඹි මව එක් වතාවකදී බිත්තර 24ක් පමණ ගිලිනවා. පැටව් එළියට දමන අවස්ථාව වන විට ඒ පැටවුන්ගේ බර ඇගේ ශරීර බරෙන් සියයට 40ක් පමණ වෙනවා. එය හරියට ගර්භණී වෙන්න පෙර කිලෝග්‍රෑම් 68ක් පමණ බර කාන්තාවකගේ කුසේ කිලෝග්‍රෑම් 1.8ක් බර දරුවන් 24දෙනෙක් වැඩෙනවා හා සමානයි. ගෙඹි මවගේ ආමාශය කොතරම් ප්‍රසාරණය වෙනවාද කියනවා නම් හුස්ම ගැනීමට බැරි වෙන තරමට ඇගේ පෙනහලු තෙරපෙනවා. ඒ නිසා ඇය හම හරහා ඔක්සිජන් ලබාගන්නවා.

වැඩුණු ගෙඹි පැටවුන් මවගේ බඩෙන් එළියට එන්න දින කිහිපයක් ගත වෙනවා. නමුත් යම් අනතුරක සේයාවක් මවට දැනුණොත් ඇය ඉක්මනින්ම පැටවුන්ව වමාරා එළියට දානවා. ගෙඹි මවක් එකවර පැටව් 6දෙනෙක්ව මීටරයක් පමණ දුරකට කටෙන් එළියට විඳින ආකාරය පර්යේෂකයන් පිරිසක් එක් අවස්ථාවක දැක තිබෙනවා.

සමහරුන් කියන විදිහට මේ ගෙඹි විශේෂයේ ප්‍රජනන පද්ධතිය පරිණාමය වුණා නම් උගේ ශරීරයේ සැකස්මෙත් හැසිරීම් රටාවෙත් විශාල වෙනසක් එකවර සිදු විය යුතුයි. විද්‍යාඥයෙක් සහ පරිණාමවාදියෙක් වන මයිකල් ටේලර් මෙවැනි දෙයක් කියනවා. “මේ ගෙඹි විශේෂයේ, වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය ක්‍රමක්‍රමයෙන් පරිණාමය වුණා කියලා හිතන්න බැහැ. පැටව් බිහි වීම දක්වා සිදු වෙන හැම දෙයක්ම එකිනෙකට සමගාමීව පරිණාමය වුණේ නැත්නම් පැටවුන් බිහි වෙන්නේ නැහැ. ඒ නිසා ඌ පරිණාමය විය යුත්තේ එක විශාල පිම්මකින්.” සමහර අය නම් ඒ දේ හඳුන්වන්නේ නිර්මාණයක් කියලයි. *

ඔබේ නිගමනය කුමක්ද? එම ගෙඹි විශේෂයට වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය ලැබුණේ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද?

^ 7 ඡේ. “සතුන් නොදියුණු තත්වයක සිට දියුණු තත්වයකට පරිණාමය වෙන්නේ පියවරෙන් පියවරයි. එක් පියවරකින් තවත් පියවරකට පරිණාමය වෙන්නේ සුළු වශයෙන්. ලොකු වෙනසක් එකවර සිදු වන්නේ නැහැ” කියා චාල්ස් ඩාවින්ගේ පොතක සඳහන් වෙනවා.—Origin of Species.