Skip to content

පටුනට යන්න

කියවීම සහ ලිවීම උගන්වන්න භාවිත කරන ආධාරක පොත භාෂා 100කට වඩා වැඩි ගණනකින් පිටපත් මිලියන ගාණක් මුද්‍රණය කරලා තියෙනවා

බයිබලය ගැන ලබා දෙන අධ්‍යාපනයෙන් සාක්ෂරතාව ඉහළ නැංවෙයි

බයිබලය ගැන ලබා දෙන අධ්‍යාපනයෙන් සාක්ෂරතාව ඉහළ නැංවෙයි

“සාක්ෂරතාව මානව අයිතිවාසිකමක්. එය පුද්ගලයෙකුගේ වැඩි දියුණුවටත් මිනිස් සමාජයේ සංවර්ධනයටත් ඉවහල් වෙනවා.”—යුනෙස්කෝ. *

අවුරුදු 15ක් සහ ඊට වඩා වයසින් වැඩි, ලොව පුරා ඉන්න මිලියන 700කට වඩා වැඩිදෙනෙකුට කියවන්න හෝ ලියන්න හැකියාව නැහැ කියලා වාර්තාවලින් හෙළි වෙනවා. ඒ නිසා යමක් කියවලා දැනුම ලබාගන්න ඔවුන්ට බැහැ. බයිබලයේ තියෙන වටිනා සදාචාර ප්‍රමිති සහ ඉගැන්වීම් ගැන දැනගන්න තියෙන අවස්ථාවත් අහිමි වෙලා. (රෝම 15:4) ඒ වගේ අයට උදව් කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පියවර අරන් තියෙනවා. බයිබලයේ තියෙන දේවල් උගන්වමින් ඔවුන් කරන සේවයේ කොටසක් විදිහට කියවන්න සහ ලියන්න ඔවුන් උගන්වනවා. ඒක සාර්ථකද?

උදාහරණයකට වැඩිදෙනෙක් ස්පාඤ්ඤ භාෂාව කතා කරන මෙක්සිකෝවේ සිද්ධ වෙලා තියෙන දේ බලන්න. ඒ රටේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 1946 ඉඳන් මිනිසුන් 1,52,000කට වඩා වැඩිදෙනෙකුට කියවන්න සහ ලියන්න උගන්වලා තියෙනවා. ඒ අයගෙන් වැඩිදෙනෙක් දැන් අනිත් අයටත් කියවන්න ලියන්න උගන්වනවා. සාක්ෂිකරුවන් කරන මේ වටිනා සේවය අගය කරමින් රජය අවස්ථා කිහිපයකදීම ලිපි එවලා තියෙනවා. එක ලිපියක සඳහන් වුණේ මෙහෙමයි. “වැඩිහිටි අයට භාෂාව කියා දෙමින් ඔබ කරන මෙහෙවර සම්බන්ධයෙන් අධ්‍යාපන මණ්ඩලය ලෙස අප ඔබව බොහෝ සෙයින් අගය කරන්නෙමු.”

ඔවුන් කරන මේ සේවය බාල මහලු හැමෝටම හුඟක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. උදාහරණයකට වයස අවුරුදු 101දී ලියන්න සහ කියවන්න ඉගෙනගන්න පටන්ගත්ත කොසෙෆිනාට අවුරුදු දෙකකින් සාර්ථකව ඒ පාඨමාලාව අවසන් කරන්න පුළුවන් වුණා.

මෙක්සිකෝවේ වැඩියෙන්ම භාවිත වෙන භාෂාව ස්පාඤ්ඤ භාෂාව වුණත් සාක්ෂිකරුවන් ලියන්න සහ කියවන්න උගන්වන්නේ ඒ භාෂාවෙන් විතරක් නෙවෙයි. 2013දී මෙක්සිකෝවේ විවිධ ගෝත්‍ර අටකට අයත් අයට ඔවුන්ගෙම මව්භාෂාව කියවන්න සහ ලියන්න ඔවුන් ඉගැන්නුවා.

කියවන්න සහ ලියන්න තියෙන හැකියාව ඇත්තෙන්ම මිල කරන්න බැරි වටිනා දෙයක්. අලුත් දේවල් ඉගෙනගන්න ඒකෙන් මඟ විවර වෙනවා. ඒ හැකියාව නිසා ලැබෙන ලොකුම ප්‍රයෝජනය තමයි බයිබලය කියවලා තේරුම්ගන්න ලැබෙන අවස්ථාව. මිථ්‍යා මතවලින්, අසත්‍ය ආගමික ඉගැන්වීම්වලින් සහ වැරදි ක්‍රියාවලින් නිදහස් වෙන්න ඒක උදව් වෙනවා.—යොහන් 8:32.

^ 2 ඡේ. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය.