Skip to content

පටුනට යන්න

මේ අපේ නමස්කාර මධ්‍යස්ථානයයි

මේ අපේ නමස්කාර මධ්‍යස්ථානයයි

“ඔබගේ ගෘහය කෙරෙහි මට ඇති ළැදියාව මොන තරම්ද! එය මා තුළ ඇවිළෙන ගින්නක් මෙනි.”—යොහ. 2:17.

ගීතිකා: 127, 118

1, 2. (අ) අතීතයේදී යෙහෝවා දෙවිගේ සේවකයන් ඔහුට නමස්කාර කළේ මොන වගේ ස්ථානවලද? (ආ) දේවමාලිගාව ගැන යේසුස්ට හැඟුණේ කොහොමද? (ඇ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

දෙවිට නමස්කාර කරන අරමුණෙන්ම හදපු යම් ස්ථාන දෙවිගේ සෙනඟට එදාත් තිබුණා. අදත් තියෙනවා. උදාහරණෙකට ආබෙල් දෙවිට පූජාවක් ඔප්පු කරන්න ඇත්තේ ඔහු ඉදි කරපු පූජාසනයක. (උත්. 4:3, 4) නෝවා, ආබ්‍රහම්, ඊසාක්, යාකොබ්, මෝසෙස් වගේ අයත් දෙවිට පූජා ඔප්පු කරන්න පූජාසන හැදුවා. (උත්. 8:20; 12:7; 26:25; 35:1; නික්. 17:15) නමස්කාරය සඳහා ශුද්ධ කූඩාරමක් හදන්න කියලා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා. (නික්. 25:8) පස්සේ කාලෙකදී දේවමාලිගාව හදන්න දෙවි මඟ පෙන්නුවා. (1 රාජා. 8:27, 29) බැබිලෝනියෙන් නිදහස් වුණාට පස්සේ ඔවුන් නමස්කාරය සඳහා සිනගෝගවල නිතිපතා රැස් වුණා. (මාක් 6:2; යොහ. 18:20; ක්‍රියා 15:21) මුල් ක්‍රිස්තියානීන් රැස් වුණේ ගෙවල්වල. (ක්‍රියා 12:12; 1 කොරි. 16:19) අදත් ලෝකෙ පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සෙනඟ දසදහස් ගාණක් නමස්කාර මධ්‍යස්ථානවල රැස් වෙලා දෙවි ගැන ඉගෙනගෙන ඔහුට නමස්කාර කරනවා.

2 දේවමාලිගාව ගැන යේසුස්ගේ හිතේ තිබුණු ආදරේ, ගෞරවය දැක්ක ගෝලයන්ට මතක් වුණේ ගීතිකාකරු කිව්ව මේ වචන. “ඔබේ ගෘහය කෙරෙහි මට තිබෙන ළැදියාව මොන තරම්ද! එය මා තුළ ඇවිළෙන ගින්නක් මෙනි.” (ගීතා. 69:9; යොහ. 2:17) එදා දේවමාලිගාව “යෙහෝවා දෙවිගේ ගෘහය” කියලා හැඳින්නුවත් අද අපේ නමස්කාර මධ්‍යස්ථාන එහෙම හඳුන්වන්න බැහැ. (2 ලේක. 5:13; 33:4) ඒත් අපේ නමස්කාර මධ්‍යස්ථානය අපි සලකන්නේ දේවමාලිගාව වගේම විශේෂ තැනක් විදිහටයි. එහෙමනම් නමස්කාර මධ්‍යස්ථානයේදී අපි හැසිරෙන්න ඕනෙ කොහොමද? ඒවා හදන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන් මොනවද? ඒවා ආදරෙන් රැකබලා ගන්නේ කොහොමද? ඒ ගැන දැනගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති කීපයක් ගැන බලමු. *

රැස්වීම් ගෞරවනීය අවස්ථාවන්

3-5. නමස්කාර මධ්‍යස්ථානයක් කියන්නේ මොකක්ද? රැස්වීම් ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද?

3 අපි යෙහෝවා දෙවිට නමස්කාර කරන්න රැස් වෙන ප්‍රධානම ස්ථානය අපේ නමස්කාර මධ්‍යස්ථානය. රැස්වීම් දෙවිගෙන් අපිට ලැබිලා තියෙන තෑග්ගක්. දෙවි තම සංවිධානය මාර්ගයෙන් දෙන දිරිගැන්වීම්, මඟ පෙන්වීම් අපිට ලැබෙන්නේ රැස්වීම්වලින්. දෙවි එක්ක තියෙන අපේ බැඳීම තවත් ශක්තිමත් කරගන්න රැස්වීම් අපිට ලොකු උදව්වක්. “යෙහෝවා දෙවිගේ මේසයට” ඇවිත් හැම සතියකම පෝෂණය වෙන්න කියලා යෙහෝවා දෙවිත් ඔහුගේ පුතාත් අපිට කරලා තියෙන ආරාධනාව මොන තරම් වටිනවද! අපි කවදාවත් ඒ ආරාධනාව සැහැල්ලුවට ගන්න හොඳ නැහැ.—1 කොරි. 10:21.

4 රැස්වීම්වලට ඇවිත් දෙවිට නමස්කාර කරන්න කියලත් එකිනෙකාව දිරිගන්වන්න කියලත් යෙහෝවා දෙවි අපිට කියලා තියෙනවා. (හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.) අපි දෙවිට ගෞරව කරනවා නම් වැළැක්විය නොහැකි කාරණයකදී හැරෙන්න වෙන කිසිම හේතුවකට රැස්වීම් අතපසු කරන්නේ නැහැ. රැස්වීම්වලට හොඳින් සූදානම් වෙලා අපේ අදහස් බෙදාගද්දී ඒකෙන් ඔප්පු වෙන්නේ රැස්වීම් අපිට හුඟක් වටිනවා කියලයි.—ගීතා. 22:22.

5 රැස්වීම්වලදී අපි හැසිරෙන විදිහෙන්, නමස්කාර මධ්‍යස්ථානය රැකබලා ගන්න විදිහෙන් දෙවි ගැන අපේ හිතේ තියෙන ආදරේ, ගෞරවය අනිත් අය දකිනවා. අපේ නමස්කාර මධ්‍යස්ථානවල දෙවිගේ නම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. රැස්වීම්වලදී අපේ හැසිරීම හොඳ නැත්නම් ඒකෙන් අගෞරවයට පත්වෙන්නේ දෙවිගේ නමයි.—1 රාජාවලිය 8:17 බලන්න.

6. අපේ නමස්කාර මධ්‍යස්ථාන ගැන, රැස්වීම්වලට එන අය ගැන අනිත් අය කියලා තියෙන්නේ මොන වගේ දේවල්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

6 නමස්කාර මධ්‍යස්ථානය වටින තැනක් විදිහට සලකලා අපි දේවල් කරද්දී ඒක හුඟක් අයගේ අවධානයට ලක් වෙනවා. තුර්කියේ නමස්කාර මධ්‍යස්ථානයකට ගිය කෙනෙක් මෙහෙම කිව්වා. “ඒ තැන හරිම පිරිසිදුයි, පිළිවෙළයි. හැමෝම එන්නේ විනීතව ඇඳ පැළඳගෙන. ඒ අයගේ මුහුණුවල හිනාව පිරිලා. ඒගොල්ලෝ මාව ආදරෙන් පිළිගත්තා. ඒ හැම දෙයක්ම මගේ හිතට වැදුණා.” ඔහු දිගටම හැම රැස්වීමකටම එන්න පටන්ගත්තා. ටික කාලෙකින් බව්තීස්මත් වුණා. ඉන්දුනීසියාවේ සහෝදරයන් පිරිසක් ඔවුන්ගේ අලුත් නමස්කාර මධ්‍යස්ථානය බලන්න එන්න කියලා අසල්වැසියන්ට, නගරාධිපතිට සහ වෙනත් බලධාරීන්ට ආරාධනා කළා. ඒ ගොඩනැඟිල්ල හොඳ ප්‍රමිතියකට හදලා තිබුණු විදිහ, ඒකේ සැලැස්ම, වත්තේ ලස්සන දැකපු නගරාධිපති මෙහෙම කිව්වා. “මේ ගොඩනැඟිල්ලෙන්ම පේනවා ඔයාලට දෙවියන් ගැන මොන තරම් විශ්වාසයක් තියෙනවද කියලා.”

අපේ හැසිරීම නිසා දෙවිගේ නමට අගෞරවයක් ගේන්න පුළුවන් (7 සහ 8 ඡේද බලන්න)

7, 8. අපි රැස්වීම්වලදී යෙහෝවා දෙවිට ගෞරවය කරනවා කියලා පෙන්නන්නේ කොහොමද?

7 රැස්වීම්වලට එන්න කියලා අපිට ආරාධනා කරන්නේ යෙහෝවා දෙවි. ඒ නිසා අපේ ඇඳුම් පැළදුම්, හැසිරීම විනීතව තියෙයි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ ඇඳුම් පැළඳුම් ගැන, හැසිරෙන විදිහ ගැන දැඩි නීති දාන්න ඕනෙ කියලා නෙමෙයි. අනිත් අතට අපි ගෙදරදී අදින විදිහට අදින්නෙවත්, හැසිරෙන්නෙවත් නැහැ. ඇත්ත, අපිත් අලුතෙන් එන අයත් නිදහසේ රැස්වීම්වලින් ප්‍රයෝජන ලබනවා දකින්නයි යෙහෝවා දෙවි කැමති. ඒත් අපි අඳින පළඳින, හැසිරෙන විදිහ නිසා රැස්වීම් ගැන අපිට ඒ තරම් ගෞරවනීය හැඟීමක් නැහැ කියලා අපිව දකින අයට හැඟුණොත් ඒක මොන තරම් කනගාටුදායකද! ඒ නිසා අපි රැස්වීම්වලට පිළිවෙළක් නැති ඇඳුම් අදින්නෙවත් විනෝද ගමනක් යන කොට අදින ඇඳුම් අදින්නෙවත් නැහැ. රැස්වීම් අතරතුර කෙටි පණිවිඩ යවන එකෙන්, කතාබහ කරන එකෙන්, කෑම බීම ගන්න එකෙන් අපි වළකිනවා. නමස්කාර මධ්‍යස්ථානය තියෙන්නේ දුවලා පැනලා, සෙල්ලම් කරන්න නෙමෙයි කියලා දෙමාපියන් දරුවන්ට කියලා දෙන්න ඕනේ.—දේශ. 3:1.

8 මිනිසුන් දේවමාලිගාවේ වෙළඳාම් කරනවා දැකපු යේසුස්ට කේන්ති ගියා. ඔහු ඔවුන්ව එතනින් එළවලා දැම්මා. (යොහ. 2:13-17) නමස්කාර මධ්‍යස්ථානයට අපි යන්නේ දෙවිට නමස්කාර කරන්න. ඔහු ගැන ඉගෙනගන්න. ඒ නිසා මුදල් ගණුදෙණු කරන්න, ව්‍යාපාර කටයුතු ගැන කතාබහ කරන්න ඒක සුදුසු තැනක් නෙමෙයි.—නෙහෙමියා 13:7, 8 බලන්න.

නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්න අපි සහය දෙනවා

9, 10. (අ) දෙවිගේ සෙනඟ නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්නේ කොහොමද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද? (ආ) නමස්කාර මධ්‍යස්ථානයක් ඉදි කරගන්න තරම් වත්කමක් නැති සභාවන්ට උදව් කරන්න තියෙන සැලැස්ම මොකක්ද?

9 යෙහෝවා දෙවිගේ සේවකයන් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්න, ඒවා අලුත්වැඩියා කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. එකේ ප්‍රතිඵලයක් විදිහට පහුගිය අවුරුදු 15දී විතරක් ලෝකෙ පුරාම නමස්කාර මධ්‍යස්ථාන 28,000කට වඩා ඉදි කරන්න පුළුවන් වෙලා තියෙනවා. සාමාන්‍යයක් විදිහට ගත්තම හැම දවසකම නමස්කාර මධ්‍යස්ථාන 5ක් ඉදි කරලා තියෙනවා.

10 ලෝකෙ කොහේ හරි තැනක නමස්කාර මධ්‍යස්ථානයක අවශ්‍යතාවක් තියෙනවා නම් යෙහෝවා දෙවිගේ සංවිධානය ඔවුන්ට ලැබිලා තියෙන සම්මාදම් ඒ වෙනුවෙන් යොදවනවා. එතනදී අපි අදාළ කරගන්නේ වැඩිපුර තියෙන අයට අඩුවෙන් තියෙන අයගේ අවශ්‍යතාව පිරිමහන්න පුළුවන් කියන බයිබල් ප්‍රතිපත්තියයි. (2 කොරින්ති 8:13-15 කියවන්න.) ඒ නිසා නමස්කාර මධ්‍යස්ථානයක් ඉදි කරගන්න තරම් වත්කමක් නැති සභාවන් වෙනුවෙන් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරලා දෙන්න පුළුවන් වෙලා තියෙනවා.

11. තමන්ට ලැබුණු අලුත් නමස්කාර මධ්‍යස්ථානය ගැන සමහරු කියන්නේ මොනවද? ඔයාට හැඟෙන්නේ කොහොමද?

11 කොස්ටාරිකාවේ සභාවක සහෝදරයන් මෙහෙම ලියලා එව්වා. “අපේ නමස්කාර මධ්‍යස්ථානය දැක්කම අපිට හිතෙන්නේ අපි මේ දකින්නේ හීනයක් කියලා. ඒක හදලා ඉවර කරන්න ගියේ දවස් 8යි. යෙහෝවා දෙවිගේ ආශීර්වාදය තිබුණේ නැත්නම් ඔහුගේ සංවිධානය දේවල් හොඳින් සැලැසුම් කරලා තිබුණේ නැත්නම් අපේ සහෝදරයන්ගේ සහයෝගය තිබුණේ නැත්නම් මේ තරම් ලස්සන නමස්කාර මධ්‍යස්ථානයක් කවදාවත් අපිට හම්බ වෙන්නේ නැහැ. අපිට දැනෙන්නේ වටිනා මැණිකක් දෙවි අපිට තෑගි කළා වගේ.” අපේ සහෝදරයන් යෙහෝවා දෙවිට ඒ විදිහට ස්තුති කරනවා ඇහෙද්දී අපිටත් ලොකු සතුටක් දැනෙනවා. ලෝකෙ පුරාම ඉන්න සහෝදර සහෝදරියන්ට එයාලගෙම කියලා නමස්කාර මධ්‍යස්ථානයක් ලැබෙන එක කොයි තරම් දෙයක්ද! නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්න ඇති කරලා තියෙන සැලැස්මට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය තියෙනවා කියලා නම් හොඳටම පැහැදිලියි. මොකද අලුත් එකක් හදලා ඉවර වුණු ගමන්ම රැස්වීම්වලට එන අයගේ ගාණත් වැඩි වෙනවා.—ගීතා. 127:1.

12. නමස්කාර මධ්‍යස්ථානය ඉදි කරන්න සහය වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

12 නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන සැලැස්මට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? ඔයාගේ ශ්‍රමය ඒ වෙනුවෙන් යොදවන්න පුළුවන්. ඒ වගේම අපි හැමෝටම පුළුවන් ඒ වෙනුවෙන් මුදල් පරිත්‍යාග කරන්න. ඒ විදිහට අපි අපේ උපරිමයෙන් කරද්දී දීමෙන් ලැබෙන සතුට අද්දකින්න පුළුවන් වෙනවා වගේම යෙහෝවා දෙවිට ප්‍රශංසාවක් ගේන්නත් පුළුවන්. එහෙම කරද්දී අපි ආදර්ශයට ගන්නේ අතීතයේ හිටපු දෙවිගේ සෙනඟවයි.—නික්. 25:2; 2 කොරි. 9:7.

නමස්කාර මධ්‍යස්ථානය අපි පිරිසිදුව තියාගන්නවා

13, 14. නමස්කාර මධ්‍යස්ථාන පිරිසිදුව, පිළිවෙළකට තියාගන්න එක අත්‍යවශ්‍ය දෙයක් කියලා තේරුම්ගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවද?

13 අපි නමස්කාර කරන්නේ පවිත්‍ර, දේවල් පිළිවෙළකට කරන, ශුද්ධ දෙවි කෙනෙකුට. ඒ නිසා අපේ නමස්කාර මධ්‍යස්ථානත් පිරිසිදුව, පිළිවෙළකට තියාගන්න ඕනේ. (1 කොරින්ති 14:33, 40 කියවන්න.) යෙහෝවා දෙවි වගේ පවිත්‍රව, ශුද්ධව වැඩ කරන්න නම් අපි අපේ නමස්කාරය, සිතුවිලි, හැසිරීම වගේම අපේ ශරීරත් පිරිසිදුව තියාගන්න ඕනේ.—එළි. 19:8.

14 නමස්කාර මධ්‍යස්ථාන පිරිසිදුව, පිළිවෙළකට තියාගද්දී උනන්දුවක් දක්වන අයට අපේ රැස්වීම්වලට එන්න කියලා බයක් සැකක් නැතුව ආරාධනා කරන්න අපිට පුළුවන්. අපි පිරිසිදු, ලස්සන පාරාදීසයක් ගැන දේශනා කරන සෙනඟක් විතරක් නෙමෙයි ඒ වගේ ජීවත් වෙන්න කැමති සෙනඟක් කියලත් ඒගොල්ලෝ දකියි. අපි නමස්කාර කරන්නේ මේ පොළොව ලස්සන පාරාදීසයක් කරන්න ආසාවෙන් ඉන්න ශුද්ධ දෙවි කෙනෙකුටයි කියලත් තේරුම්ගනියි.—යෙසා. 6:1-3; එළි. 11:18.

15, 16. (අ) නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදුව තියාගන්න එක හැම වෙලේම ලේසි නැත්තේ ඇයි? ඒත් අපි ඒක අත්‍යවශ්‍ය ඇයි? (ආ) ඔයාගේ සභාවේ නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරන්න තියෙන සැලැස්ම මොකක්ද? අපි හැමෝටම තියෙන්නේ මොන වටිනා අවස්ථාවද?

15 පිරිසිදුකම ගැන විවිධ අයට තියෙන්නේ විවිධ මත. එහෙම වෙන්නේ ඔවුන් හැදුණු වැඩුණු පරිසරය නිසා වෙන්න ඇති. සමහරු ජීවත් වෙන්නේ දූවිලි බහුල පළාත්වල. සමහර පැතිවල තියෙන්නේ අපිරිසිදු, මඩ ගොහොරුවලින් පිරුණු පාරවල්. තවත් අයට ඇති තරම් වතුර නැහැ. පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය, උපකරණ නැහැ. ඒත් අපි කොහේ ජීවත් වුණත් පිරිසිදුකම ගැන අපේ පළාතේ අය කොහොම හිතුවත් අපේ නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදුව, පිළිවෙළකට තියාගන්න එක අත්‍යවශ්‍යයි කියන දේ මතක තියාගමු. මොකද ඒක අපි යෙහෝවා දෙවිට නමස්කාර කරන ස්ථානයයි.—ද්වි. 23:14.

16 නමස්කාර මධ්‍යස්ථානය පුළුවන් උපරිමයෙන් පිරිසිදුව, පිළිවෙළකට තියාගන්න නම් හොඳ සැලැස්මක් තියෙන්න ඕනේ. පිරිසිදු කිරීමේ සැලැස්මක් හදන්නත් අවශ්‍ය කරන පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය සහ උපකරණ සභාවේ තියාගන්නත් වැඩිමහල්ලන් වගබලා ගන්නවා. හදපු සැලැස්මට අනුව දිගටම පිරිසිදු කිරීමේ වැඩ හොඳින් සංවිධානය කරන්නත් වැඩිමහල්ලන්ට පුළුවන්. හැම රැස්වීමකටම පස්සේ පිරිසිදු කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. අපේ නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරන්න අපිට ලැබිලා තියෙන අවස්ථාව වටිනා එකක් විදිහට සලකමු.

නමස්කාර මධ්‍යස්ථානය අපි නඩත්තු කරනවා

17, 18. (අ) දෙවිගේ සෙනඟ දේවමාලිගාව රැකබලා ගත්ත විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? (ආ) අපි අපේ නමස්කාර මධ්‍යස්ථානය නඩත්තු කරන එක අත්‍යවශ්‍ය ඇයි?

17 විටින් විට අවශ්‍ය අලුත්වැඩියාවන් කරන එකත් නමස්කාර මධ්‍යස්ථානය හොඳ තත්වයේ තියාගන්න අත්‍යවශ්‍ය දෙයක්. අතීතයේ හිටපු දෙවිගේ සෙනඟත් එහෙම කළා. සෙනඟ දුන්න සම්මාදම් පාවිච්චි කරලා දේවමාලිගාවේ අලුත්වැඩියා කටයුතු කරන්න කියලා යෙහෝයාෂ් රජු පූජකයන්ට කිව්වා. (2 රාජා. 12:4, 5) ඊට අවුරුදු 200කට විතර පස්සේ යොෂියා රජුගේ කාලෙදීත් දේවමාලිගාව අලුත්වැඩියා කරන්න සම්මාදම් යොදාගත්තා.—2 ලේකම් 34:9-11 කියවන්න.

18 සමහර රටවල ඉන්න අයට ගොඩනැඟිලි සහ බඩු භාණ්ඩ නඩත්තු කරන පුරුද්ද නැහැ. එහෙම නැත්නම් ඒකට අවශ්‍ය මුදල් නැහැ. ඒත් අවශ්‍ය වෙලාවට අපේ නමස්කාර මධ්‍යස්ථාන අලුත්වැඩියා කළේ නැත්නම් ඒක කිසි පිළිවෙළක් නැති තැනක් වෙයි. ඒක අපි ගැන හොඳ සාක්ෂියක් නෙමෙයි. ඒ වෙනුවට නමස්කාර මධ්‍යස්ථානය හොඳින් රැකබලා ගන්න අපිට පුළුවන් හැම දේම කරනවා නම් ඒකෙන් යෙහෝවා දෙවිට ප්‍රශංසාවක් ලැබෙනවා විතරක් නෙමෙයි සහෝදරයන්ගේ සම්මාදම් නාස්ති කරන්න අපි කැමති නැහැ කියලත් පේනවා.

නමස්කාර මධ්‍යස්ථානය හොඳ තත්වයෙන් තියාගන්න එක අපේ වගකීමක් (16 සහ 18 ඡේද බලන්න)

19. යෙහෝවා දෙවිට නමස්කාර කරන්න රැස් වෙන තැන ඔයාට හුඟක් වටිනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

19 නමස්කාර මධ්‍යස්ථානය යෙහෝවා දෙවිට කැප කරපු ගොඩනැඟිල්ලක්. ඒක කිසිම පුද්ගලයෙකුටවත් කිසිම සභාවකටවත් අයිති එකක් නෙමෙයි. ඒක අයිති යෙහෝවා දෙවිට. අපි මේ ලිපියෙන් බැලුවා වගේ අපේ නමස්කාර මධ්‍යස්ථානය ගැන හිතේ තියෙන අගය තව වැඩි කරගන්න බයිබල් ප්‍රතිපත්ති උදව් වෙනවා. යෙහෝවා දෙවි ගැන අපේ හිතේ තියෙන ගෞරවය නිසා අපේ රැස්වීම් වගේම නමස්කාර මධ්‍යස්ථානත් අපිට හුඟක් වටිනවා. තවත් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්න අපි සම්මාදම් දෙන්නෙත් අපේ නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදුව තියාගන්න මහන්සි වෙන්නෙත් හරිම සතුටෙන්. යේසුස් වගේ අපිත් දිගටම යෙහෝවා දෙවිට නමස්කාර කරන ස්ථාන හුඟක් වටින ඒවා විදිහට සලකමු. අපේ නමස්කාර මධ්‍යස්ථානය ආදරෙන් රැකබලා ගමු.—යොහ. 2:17.

^ 2 ඡේ. මේ ලිපියේ අපි කතා කරන්නේ නමස්කාර මධ්‍යස්ථාන ගැන වුණත් ඒ ප්‍රතිපත්ති සමුළු ශාලා ඇතුළු දෙවිට නමස්කාර කරන්න යොදාගන්න වෙනත් ස්ථානවලටත් අදාළයි.