Skip to content

පටුනට යන්න

“යූදස්ගේ සුවිශේෂය” ඔබ ඒ ගැන අසා තිබෙනවාද?

“යූදස්ගේ සුවිශේෂය” ඔබ ඒ ගැන අසා තිබෙනවාද?

කොප්ටික් භාෂාවෙන් ලියැවී ඇති ඉපැරණි “යූදස්ගේ සුවිශේෂය” මහජනයාට කියවන්න අවස්ථාව උදා වී තිබෙනවා කියා ලොව වටා පුවත්පත්වල පළ වෙන්න පටන්ගත්තේ 2006 අප්‍රියෙල් මාසයේදියි. යේසුස්ව පාවා දුන් යූදස් පිළිබඳව මිනිසුන් මෙතෙක් සිතාගෙන සිටි දේට වඩා වෙනස්ම විස්තරයක් එහි තිබෙන බව එම පුවත් වාර්තාවල සඳහන් වුණා. එම ‘සුවිශේෂයේ’ යූදස්ව හඳුන්වා ඇත්තේ ද්‍රෝහියෙක් ලෙස නොව අන් අයට වඩා යේසුස්ව හොඳින්ම තේරුම්ගත්, යේසුස්ගේ ඉල්ලීම පිට ඔහුව පාවා දුන් වීරයෙක් ලෙසයි කියා ප්‍රවීණයන් පවසන බවත් එම පුවත් වාර්තාවල සඳහන් වුණා.

ඇත්තටම “යූදස්ගේ සුවිශේෂය” විශ්වාස කළ හැකිද? යූදස් ගැන, යේසුස් ක්‍රිස්තුස් ගැන හා මුල් ක්‍රිස්තියානි සභාව ගැන නොදත් තොරතුරු එහි තිබෙනවාද?

“යූදස්ගේ සුවිශේෂය” සොයාගැනීම

පෙනෙන විදිහට, ඊජිප්තුවේ පැරණි සොහොන් ගෙයක තිබී මෙම සුවිශේෂය සොයාගෙන තිබෙන්නේ 1978දියි. “යූදස්ගේ සුවිශේෂය” සමඟ තවත් අත්පිටපත් තුනක්ද සොයාගනු ලැබුවා. එම සොයාගැනීම කළේ කවුරුන්ද යන්න පිළිබඳව තවමත් හරි තොරතුරු ලැබී නැහැ. නමුත් ඒවා සොයාගෙන තිබෙන්නේ පුරාවිද්‍යාඥයන් නොවෙයි. කෙසේවෙතත් 70 දශකයේ අග භාගයේ හෝ 80 දශකයේ මුල් භාගයේදී මෙම අත්පිටපත් පෞරාණික භාණ්ඩ මිල දී ගන්නන් අතර හුවමාරු වී තිබෙනවා.

එම පැරණි අත්පිටපත්වලට නරක කලදසාවක් උදා වුණේ ඒ සමඟමයි. ඊජිප්තුවේ ඉතා වියළි කාලගුණයක් තිබෙන නිසා සියවස් ගණනාවක් පුරා ඒ අත්පිටපත් විනාශ නොවී තිබුණා. නමුත් එම අත්පිටපත් ඊජිප්තුවෙන් රැගෙන වෙනත් තැන්වලට ගෙන යෑමත් සමඟ ඒවා දිරාපත් වීමට පටන්ගත්තා. ඒ පිටපත්වලට ඉතා ඉහළ මිලක් නියම කර තිබූ නිසා ඒවා යන්තමින් හරි දැක බලා ගැනීමට විශාරදයන් කීපදෙනෙකුට පමණක් 1983දී අවස්ථාව ලැබුණා. වර්ෂ 2000දී පැරණි භාණ්ඩ මිල දී ගත් ස්විට්සර්ලන්ත ජාතික කාන්තාවක් ඒවා මිල දී ගත්තා. ඒ පැරණි පිටපත් ඒ දක්වා ඉතා අනාරක්ෂිත ලෙස ගබඩා කර තිබූ නිසා ඒවා කුඩා කැබලිවලට කැඩී යන්න පටන්ගෙන තිබුණා. එම පැරණි අත්පිටපත් නැවත පිළිසකර කිරීම සඳහා එම කාන්තාව ජාත්‍යන්තර ප්‍රවීණයන් කණ්ඩායමකට ඒවා භාර දුන්නා.

යූදස්ගේ සුවිශේෂය පරිවර්තනය කිරීමත් එය කොතරම් පැරණිද කියා සොයා බැලීමත් සිදු වුණේ ඒ ප්‍රවීණයන් අතින්. කාබන්-14 පරීක්ෂණයෙන් ඔප්පු වුණේ මේ පිටපත ක්‍රිස්තු වර්ෂ තුන්වෙනි හෝ හතරවෙනි සියවස්වලට අයත් විය හැකි බවයි. කොප්ටික් භාෂාවෙන් ලියා තිබෙන යූදස්ගේ සුවිශේෂය ඇත්තෙන්ම පරිවර්තනයක්. එහි මුල් පිටපත ලියා තිබෙන්නේ ග්‍රීක භාෂාවෙන්. එසේනම් ඒ මුල් ග්‍රීක පිටපත ලිව්වේ කොයි කාලයේද?

“යූදස්ගේ සුවිශේෂය” පිළිබඳ සත්‍යය

“යූදස්ගේ සුවිශේෂය” ගැන ඉතිහාසයේ මුල්ම වතාවට සඳහන් වෙන්නේ ක්‍රිස්තියානි කෙනෙක් ලෙස හඳුන්වන දෙවෙනි සියවසේ අග භාගයේ ජීවත් වූ අයිරීනියස් නම් ලේඛකයාගේ පොතකයි. ඒ කාලයේ තිබූ ක්‍රිස්තියානියයි කියාගත් නිකායක් විවේචනය කරමින් ඔහු පැවසූ දෙයක් එම පොතේ මෙසේ සඳහන් වෙනවා. “ඔවුන් කියා සිටින්නේ යූදස් නම් ද්‍රෝහියාට අනිත් ගෝලයන්ට වඩා සත්‍යය ගැන අවබෝධයක් තිබූ බවයි. ඒ නිසයි යූදස්, යේසුස්ව පාවා දීමෙන් ලොකු මෙහෙවරක් ඉටු කළා කියා ඔවුන් කියන්නේ. යූදස් නිසා දෙවියන්ගේ හා මිනිසුන්ගේ සැලසුම් අවුල් වුණා. යූදස් ගැන අසත්‍ය තොරතුරු තිබෙන පිටපතක් හදාගෙන ඔවුන් ඒක යූදස්ගේ සුවිශේෂය කියා හඳුන්වනවා.”—Against Heresies.

‘යූදස්ගේ සුවිශේෂය යූදස්ව දැන සිටි කෙනෙක් ලියූ එකක් නොවෙයි’

අයිරීනියස් පවසා තිබෙන ඒ දෙයින් පෙනී යන්නේ ඔහු එවකට තිබූ දර්ශනවාදී අදහස් දැරූ ක්‍රිස්තියානියයි කියාගත් නිකායන් හෙළා දුටු බවයි. එම නිකායන්වලට අයිති අය සිතුවේ අන් අයට හෙළි නොකළ තොරතුරු දෙවියන් තමන්ට හෙළි කර තිබෙන බවයි. එමනිසා ඔවුන් කැමති කැමති විදිහට ඉගැන්වීම් සාදාගෙන ඔවුන්ටම කියා වෙනම ලියවිලිද සාදාගත්තා. දෙවෙනි සියවසේදී එවැනි ලියවිලි බහුලව තිබුණා.

ඒ ලියවිලිවල තිබෙන්නේ මොන වගේ තොරතුරුද? යේසුස්ගේ කිට්ටුම ගෝලයන් ඔහුගේ පණිවිඩය හරි හැටි අවබෝධ කරගත්තේ නැති බවත් යේසුස් කාටවත් හෙළි නොකළ රහස් සීමිත දෙනෙකුට පමණක් හෙළි කළ බවත් ඒවායේ බොහෝවිට සඳහන් වෙනවා. * මුල් සියවස්වල තිබූ එවැනි නිකායන්වල අය විශ්වාස කළේ මේ ලෝකය හිරගෙයක් කියායි. ඒ නිසා එයින් නිදහස් වීමට ශරීරයෙන් ඉවත් විය යුතුයි කියා ඔවුන් සිතුවා. ඔවුන් විශ්වාස කළේ එය සත්‍යය දන්න කෙනෙකුට විතරක් තේරුම්ගත හැකි බවයි. ඒ වගේම ඔවුන් වෙනත් බලවත් දෙවිවරුන්වත් විශ්වාස කළ අතර හෙබ්‍රෙව් ලියවිල්ලේ (පැරණි ගිවිසුමේ) සඳහන් දෙවියන් ඒ දෙවිවරුන්ට විරුද්ධව සිටින, ඔවුන්ට වඩා බලයෙන් අඩු කෙනෙක් කියාත් ඔවුන් සිතුවා.

“යූදස්ගේ සුවිශේෂය” ලියා තිබෙන්නෙත් ඒ හා සමාන විශ්වාසයන් පදනම් කරගෙනයි. එම සුවිශේෂය ආරම්භ වෙන්නේ මේ වදන් සමඟින්. “පාස්කුව සමරන්න දින තුනකට කලින් යේසුස්, දින අටක් පුරා යූදස් ඉස්කාරියොත්ට හෙළි කළ රහස.”

යූදස් ගැන අසත්‍ය තොරතුරු තිබෙන සුවිශේෂයක් නිකායවාදීන් සාදාගෙන තිබෙනවා කියා අයිරීනියස් විවේචනය කළේ මේ සුවිශේෂය ගැනද? සොයාගත් කොප්ටික් පිටපත පරීක්ෂා කර එය පරිවර්තනය කිරීමට හවුල් වුණු මුල්ම කණ්ඩායමේ සාමාජිකයෙක් වුණු මාවන් මෙයර් පැවසුවේ මේ සුවිශේෂයේ තිබෙන තොරතුරු දිහා බලද්දී අයිරීනියස් පැවසූ සුවිශේෂය මෙය විය හැකි බවයි.

‘යූදස්ගේ සුවිශේෂයේ’ යූදස්ව විස්තර කර තිබෙන්නේ කෙසේද?

අයිරීනියස් ඔහුගේ පොතේ සඳහන් කළේ ‘යූදස්ගේ සුවිශේෂයේ’ යූදස්ව හොඳ කෙනෙකු ලෙස විස්තර කර තිබෙනවා කියායි. ඒ නිසා එම සුවිශේෂය පරිවර්තනය කිරීමට හවුල් වූ මුල්ම කණ්ඩායම එය පරිවර්තන කළේ එම මතයේ සිටිමිනුයි.

ඔවුන්ගේ පරිවර්තනයේ පෙන්නුම් කරන ආකාරයට ගෝලයන් යම් දේවල් හරි හැටි අවබෝධ කර නොගත් නිසා යේසුස් සමච්චලේට මෙන් ඔවුන්ට සිනාසුණා. ගෝලයන් 12දෙනා අතරින් යේසුස්ව හොඳින්ම තේරුම්ගත්තේ යූදස් බවත් ඒ නිසා යේසුස් දේවරාජ්‍යය ගැන සමහර රහස් ඔහුට පමණක් එළිදරව් කළ බවත් ඔවුන් පෙන්නුම් කරනවා. යේසුස්ව පාවා දීමෙන් යූදස් යේසුස්ට මේ ලෝකයෙන් නිදහස් වීමට මාර්ගය විවෘත කළත් එය හරි හැටි අවබෝධ කර නොගත් අනිකුත් ගෝලයන්, යූදස් වෙනුවට තවත් ගෝලයෙකුව පත් කරගත් බවත් එහි සඳහන් වෙනවා. නමුත් යූදස් “දහතුන්වෙනි කෙනා” විදිහට ඔවුන්ටත් වඩා උසස් තැනක් ලබාගෙන දේවරාජ්‍යයට ඇතුල් වන බව යේසුස් පැවසුවා කියාත් ඔවුන්ගේ පරිවර්තනයේ සඳහන් වෙනවා.

“යූදස්ගේ සුවිශේෂය” පරිවර්තනය කර වැඩි කල් යෑමට පෙර ප්‍රසිද්ධ ලේඛකයන් මෙන්ම දර්ශනවාදී අදහස් දැරූ ක්‍රිස්තියානියයි කියාගත් නිකායන් ගැන හදාරන බාට් අර්මන් හා ඉලේන් පෙගල්ස් එම සුවිශේෂය පරීක්ෂා කර ඒ ගැන ඔවුන්ගේ අදහස් පළ කළා. ඔවුන් පළ කළ අදහස් හා මුල් පරිවර්තකයන් ඉදිරිපත් කළ අදහස් අතර වෙනසක් නොතිබුණු තරම්. නමුත් තවත් විශාරදයන් දෙදෙනෙකු වන ඒප්‍රල් ඩකොනික් හා බර්යේ පියර්සන් කියා සිටියේ “යූදස්ගේ සුවිශේෂය” ඉක්මනින්ම එළිදැක්වීමට තිබූ වුවමනාව නිසා පරිවර්තකයන් ප්‍රමාණවත් කාලයක් ඒ වෙනුවෙන් නොදුන් බවයි. එමෙන්ම පැරණි ලියවිල්ලක් එළිදැක්වීමට කලින් එහි නිරවද්‍යතාව තහවුරු කිරීමට සාමාන්‍යයෙන් අනුගමනය කරන පියවර කිහිපයක්ම එම සුවිශේෂය එළිදැක්වීමට කලින් අනුගමනය කර නැති බවත් ඔවුන් කියා සිටියා.

යූදස්ගේ සුවිශේෂයේ ඉතිහාසය ගැන සඳහන් වන තොරතුරු නිවැරදියි කියා කිසිම විශාරදයෙක් පවසන්නේ නැහැ

ඩකොනික් හා පියර්සන් පැරණි පිටපත වෙන වෙනම අධ්‍යයනය කළ විට ඔවුන් දෙදෙනාටම පෙනී ගියේ එහි තිබෙන ඇතැම් වැදගත් අදහස් මුල් පරිවර්තකයන් විසින් වැරදි ලෙස පරිවර්තනය කර තිබෙන බවයි. ඩකොනික්ගේ පරිවර්තනයට අනුව යේසුස්, යූදස්ව හඳුන්වන්නේ “දහතුන්වෙනි කෙනා” ලෙස නොව “දහතුන්වෙනි භූතයා” ලෙසයි. * ඩකොනික් තවදුරටත් පවසා සිටියේ යූදස් යේසුස්ව පාවා දුන් නිසා යේසුස් පැවසුවේ ඔහු අනික් ගෝලයන්ට වඩා උසස් වන බව නොව අනික් ගෝලයන්ට වඩා දුෂ්ට දෙයක් කළ නිසා දේවරාජ්‍යයට ඇතුල් නොවන බවයි. “යූදස්ගේ සුවිශේෂය” ඇත්තටම නිකායවාදීන් විසින් ලියා තිබෙන්නේ යේසුස්ගේ ගෝලයන්ට අපහාස කිරීම සඳහායි කියා ඩකොනික් පවසනවා. ඩකොනික් හා පියර්සන් යන දෙදෙනාගේම අවසන් නිගමනය නම් “යූදස්ගේ සුවිශේෂයේ” යූදස්ව වීරයෙක් ලෙස විස්තර කර නැති බවයි.

යූදස්ගේ සුවිශේෂයෙන් ඇත්තටම ඔප්පු වන්නේ කුමක්ද?

‘යූදස්ගේ සුවිශේෂයේ’ යූදස්ව විස්තර කර තිබෙන ආකාරය ගැන විශාරදයන් දරන්නේ එකිනෙකට වෙනස් මත දෙකක්. නමුත් ඔවුන් දෙගොල්ලන්ම කියා සිටින්නේ ඉතිහාසය ගැන එහි සඳහන් වන තොරතුරු නිවැරදියි කියා පැවසිය නොහැකි බවයි. ලේඛක බාට් අර්මන් මෙවැනි දෙයක් පැවසුවා. “මෙය යූදස්වත් යූදස් කියා පවසා සිටි කෙනෙකුවත් ලියූ සුවිශේෂයක් නොවෙයි. . . . ඒ වගේම යූදස්ව දැන සිටි කෙනෙක් ලියූ එකක්වත් නොවෙයි. . . . ඒ නිසා යේසුස් ජීවත් වූ කාලයේ සිදු වූ දේවල් ගැන වැඩි විස්තර දැනගැනීමට මෙම සුවිශේෂය උපකාරවත් වෙන්නේ නැහැ.”

“යූදස්ගේ සුවිශේෂය” දෙවෙනි සියවසේ සිටි දර්ශනවාදී අදහස් දැරූ අය විසින් සකස් කළ පොතක්. අයිරීනියස් ඔහුගේ පොතේ විස්තර කළේ එම සුවිශේෂය ගැනමද කියා විශාරදයන් තවමත් ස්ථිරව පවසන්නේ නැහැ. නමුත් මෑතකදී සොයාගත් මේ ලියවිල්ලෙන් වැදගත් දෙයක් ඔප්පු වෙනවා. එනම් ක්‍රිස්තියානීන් ලෙස පෙනී සිටි සමහරු තමන්ගේ මත ඉදිරිපත් කරමින් විවිධ නිකායන්වලට බෙදී ගිය බවයි. එමනිසා “යූදස්ගේ සුවිශේෂය” බයිබලයේ තිබෙන තොරතුරු වැරදි බව පෙන්නුම් කරනවා වෙනුවට බයිබලයේ සඳහන් මෙම වදන් ඇත්තටම ඉටු වූ බවට ස්ථිර සාක්ෂියක්. “මම ඔබෙන් සමුගත් පසු . . . ඔබට උගන්වා ඇති හැම දෙයක්ම ඔබ අතරම සිටින සමහරුන් විකෘති කර පෙන්වයි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ගෝලයන්ව ඔවුන්ගේ පසුපස රැගෙන යෑමයි.”—ක්‍රියා 20:29, 30.

^ 11 ඡේ. අන් අයට වඩා හොඳින් යේසුස්ගේ ඉගැන්වීම් අවබෝධ කරගත්තා කියා සිතන අයගේ නම්වලින් ලියැවුණු සුවිශේෂ 30ක් පමණ මේ වන විට සොයාගෙන තිබෙනවා. “තෝමස්ගේ සුවිශේෂය” හා “මරියා මග්දලේනාගේ සුවිශේෂය” ඒ අතරින් දෙකක්.

^ 18 ඡේ. බයිබල් වාර්තාවලට අනුව භූතයන් යේසුස්ව හඳුනාගත් ආකාරය හා යූදස්ගේ සුවිශේෂයට අනුව යූදස් යේසුස්ව හොඳින් තේරුම්ගෙන සිටි ආකාරය අතර සමානකම් තිබෙන බව ඇතැම් විශාරදයන් පවසනවා.—මාක් 3:11; 5:7.