Skip to content

පටුනට යන්න

පවුලේ සමඟියට අත්වැලක්

ආබාධිත දරුවෙක් ඉන්නවා නම්

ආබාධිත දරුවෙක් ඉන්නවා නම්

කාලෝ: * “අපේ පුතා ඇන්ජලෝ උපතින්ම ආබාධිතයි. එයාව බලාගන්න එක ලේසි නෑ. සාමාන්‍ය දරුවෙක්ව බලාගන්න දෙමාපියන් හුඟක් වෙහෙසෙනවා. ඒත් ආබාධිත දරුවෙක්ව බලාගන්න ඒ වගේ සියගුණයක් වෙහෙසෙන්න ඕනේ. මහන්සියයි පීඩනයයි නිසා සමහර වෙලාවට අපේ විවාහ ජීවිතෙත් ප්‍රශ්න ඇති වෙනවා.”

මියුරි: “ඇන්ජලෝ මන්දමානසික දරුවෙක් නිසා පොඩි දෙයක් ඉගෙනගන්නත් සෑහෙන කාලයක් යනවා. එයාට දේවල් කියලා දෙද්දී හුඟක් ඉවසීම තියෙන්න ඕනේ. පුතා එක්ක දවස තිස්සේ ඔට්ටු වෙලා හෙම්බත් වුණාම මට මහත්තයා එක්කත් කේන්ති යනවා.”

තම දරුවා මෙලොව එළිය දකිද්දී ඕනම අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට දැනෙන්නේ පුදුමාකාර ප්‍රීතියක්. දරුවව දෝතින් තුරුළු කරගන්න එයාලා බලාගෙන ඉන්නේ නොඉවසිල්ලෙන්. ඒත් කාලෝ හා මියුරි වගේ දෙමාපියන්ගේ ඒ සතුටට දුකත් එකතු වෙලා තියෙනවා.

ඔයාටත් ආබාධිත දරුවෙක් ඉන්නවා නම් එයාව හොඳින් හදා වඩා ගන්න පුළුවන් කොහොමද කියලා ඔයා හිතනවා ඇති. ඒ ගැන හිතලා දුක් වෙන්න එපා. ඒ වගේ දරුවන් ඉන්න හුඟක් අය අභියෝගවලට සාර්ථකව මුහුණ දීලා තියෙනවා. අපි මේ ලිපියෙන් ආබාධිත දරුවෝ ඉන්න දෙමාපියන් මුහුණ දෙන අභියෝග තුනක් ගැනත් ඒවාට මුහුණ දෙන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙන්නේ කොහොමද කියලත් බලමු.

1වෙනි අභියෝගය: දරුවා ආබාධිතයි කියලා පිළිගන්න හිත ඉඩ නොදීම.

දරුවා ආබාධිතයි කියලා දැනගත්තම දෙමාපියන් මානසිකව ඇද වැටෙනවා. ඒ ගැන ජුලියානා මෙහෙම කිව්වා. “අපේ පුතාට මොළේ ආබාධයක් තියෙනවා කියලා දොස්තරලා කිව්වම මට ඒක අදහගන්න බැරි වුණා. මට දැනුණේ මගේ මුළු ලෝකෙම කඩා වැටුණා කියලයි.” තවත් සමහර අය දරුවගේ ආබාධය නිසා තමන්ටම දොස් නඟාගන්නවා. විලානා කියන මව මෙහෙම කිව්වා. “මගේ වයසේ අයට දරුවන් හම්බ වෙද්දී දරුවට අවදානමක් තියෙන්න පුළුවන් කියලා මං දැනගෙන හිටියා. ඒක දැන දැනත් මං දරුවෙක්ව හැදුවා. දැන් මගේ පුතා අසනීපෙන් ඉන්නවා දකිද්දී මගේ හිත මට වද දෙනවා.”

යෙහෝවා දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ අසනීප වෙලා දුක් විඳින්න නෙමෙයි. (උත්පත්ති 1:27, 28) ඒ නිසා කෙනෙක් ආබාධයකින් පෙළෙනවා දකිද්දී ඒක දරාගන්න අමාරුයි. විශේෂයෙන්ම දරුවෙක්ට ඒ වගේ දෙයක් වුණාම ඒක පිළිගන්න දෙමාපියන්ගේ හිත ඉඩ දෙන්නේ නෑ. ඒ දුක තුනී වෙන්න කාලයක් යයි.

දරුවගේ අසනීපේ නිසා ඔයාටම දොස් නඟාගන්න එපා. ජානවල සැකැස්ම, දරුවා කුසේ ඉන්න කාලේ අම්මා හිටිය පරිසරය හා වෙනත් දේවල් දරුවෙක්ගේ සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද කියලා තාම කවුරුත් හරියටම හොයාගෙන නැහැ. සමහරවිට ඔයා සහකරුට නැත්නම් සහකාරියට වරද පටවන්නත් ඉඩ තියෙනවා. එහෙම කරන එකෙනුත් කිසිම හොඳක් වෙන්නේ නැහැ. හොඳම දේ දරුවව බලාගන්න දෙන්නම සහයෝගයෙන් වැඩ කරන එකයි.—දේශනාකාරයා 4:9, 10.

යෝජනාවක්: “ප්‍රඥාවෙන් නිවසක් [හෝ පවුලක්] ගොඩනැඟෙයි. වටහාගැනීමේ හැකියාවෙන් එය ස්ථිරව පිහිටුවනු ලැබේ” කියලා බයිබලේ තියෙනවා. (හිතෝපදේශ 24:3) ඒ නිසා ඔයාගේ දරුවගේ අසනීපේ ගැන හොඳ අවබෝධයක් ලබාගන්න.

අසනීපේ ගැන ඔයාට වෛද්‍යවරුන්ගෙන් අහලා දැනගන්නත් නිවැරදි තොරතුරු තියෙන පොත් පත් කියවලා බලන්නත් පුළුවන්. දරුවගේ අසනීපේ ගැන දැනුවත් වෙන එක හරියට අලුතින් භාෂාවක් ඉගෙනගන්නවා වගේ වැඩක්. මුලින් අමාරුයි කියලා හිතුණට කාලයක් යද්දී අසනීපේ ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්.

මුලින් කතා කරපු කාලෝ හා මියුරිත් පුතාගේ අසනීපේ ගැන වෛද්‍යවරයාගෙන් අහලා දැනුවත් වුණා. මන්දමානසික රෝගීන් වෙනුවෙන්ම පිහිටුවා තිබුණු සංවිධානයකිනුත් තොරතුරු ලබාගත්තා. එයාලා මෙහෙම කියනවා. “ඉදිරියේදී මුහුණ දෙන්න වෙන ගැටලු ගැන විතරක් නෙමෙයි මන්දමානසික රෝගීන්ට කරන්න පුළුවන් මොන වගේ දේවල්ද කියලත් අපි දැනගත්තා. අපේ පුතාටත් ගොඩක් දුරට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා අපිට තේරුණේ එතකොටයි.”

මෙහෙම කරලා බලන්න: දරුවට කරන්න පුළුවන් දේවල් ගැන සතුටු වෙන්න. ඒ වගේම පවුලක් විදිහට එකතු වෙලා දේවල් කරන්න. දරුවා පොඩි දෙයක් හරි හොඳට කළොත් ඒක අගය කරන්න.

2වෙනි අභියෝගය: වෙහෙසක් දැනීම හා දුක බෙදාගන්න කවුරුත් නැහැ කියා සිතීම.

ලෙඩින් ඉන්න දරුවව බලාගද්දී ඔයාගේ මුළු ශක්තියම වැය වෙනවා කියලා හැඟෙන්න පුළුවන්. එක මවක් මෙහෙම කිව්වා. “මගේ පුතාට සුෂුම්නාවේ බරපතළ අසනීපයක් තියෙනවා. එයාගේ වැඩ කරන ගමන් ගෙදර දොරේ අමතර වැඩ කළාම මට පුදුම තෙහෙට්ටුවක් දැනුණා. මහන්සිය වැඩිකමට සමහර වෙලාවට මං ඇඬුවා.”

සමහරවිට ඔයාගේ දුක කාට හරි කියන්න ඕනේ කියලා හිතෙයි. ඒත් ඔයාගේ යාළුවන්ට ආබාධිත දරුවෝ නැති නිසා ඔයාව තේරුම්ගන්න බැරි වෙයි කියලා හිතලා කතා නොකර ඉන්න ඉඩ තියෙනවා. එක පියෙක් මෙහෙම කිව්වා. “ආබාධිත දරුවෝ ඉන්න අපි වගේ අයට තියෙන අභියෝග හුඟදෙනෙක්ට තේරෙන්නේ නැහැ.”

යෝජනාවක්: “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි” කියලා බයිබලේ කියනවා. (හිතෝපදේශ 17:17) ඒ නිසා අනිත් අයගෙන් උදව් ඉල්ලන්න ලැජ්ජා වෙන්න එපා. පවුලේ කෙනෙක් නැත්නම් කිට්ටු මිතුරෙක් ඔයාගේ දරුවව පොඩි වෙලාවකට හරි බලාගන්නම් කියලා කිව්වොත් ඒක පිළිගන්න. ජුලියානා මෙහෙම කියනවා. “අනිත් අයගෙන් උදව් ඉල්ලන්න මුලින් අපිට ලැජ්ජා හිතුණා තමයි. හැබැයි අපිට තේරුණා හැම දෙයක්ම තනියෙන් කරගන්න බැහැ කියලා. අනිත් අය උදව් කරද්දී අපි තනි වෙලා නැහැ කියලත් හැඟෙනවා.”

ඔයාගේ සෞඛ්‍යය ගැනත් සැලකිලිමත් වෙන්න. ඔයා නිරෝගිව හිටියොත් තමයි දරුවව හොඳින් බලාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පෝෂ්‍යදායි ආහාර ගන්නත් ව්‍යායාම් කරන්නත් ඇති තරම් විවේකයක් ගන්නත් අමතක කරන්න එපා. “මගේ පුතාට ඇවිදින්න බැරි නිසා එයාව එහෙට මෙහෙට ගෙනියන්නේ මමයි. මම හොඳට කාලා ශක්තිමත්ව හිටියොත් තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ” කියලා එක පියෙක් කිව්වා.

ඒත් ඔයාගේ සෞඛ්‍යය ගැන හිතන්න වෙලාවක් නැහැ කියලා සමහරවිට ඔයාට හිතෙයි. සමහර දෙමාපියන් අසනීපෙන් ඉන්න දරුවව බලාගන්නේ මාරුවෙන් මාරුවට. ඒ නිසා එක් කෙනෙක් දරුවව බලාගන්නකම් අනිත් කෙනාට විවේකයක් ගන්න පුළුවන්. අනවශ්‍ය දේවලට යොදවන කාලය අඩු කරන එකෙනුත් ඔයාගේ සෞඛ්‍යය ගැන හිතන්න කාලය ඉතුරු වෙයි.

ඔයාගේ යාළුවන්ට ආබාධිත දරුවෝ නැති වුණාට එයාලට ඔයාව තේරුම්ගන්න පුළුවන්. ඒ නිසා විශ්වාසවන්ත මිතුරෙක්ට ඔයාගේ හිතේ තියෙන දේවල් කියන්න. යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්නත් අමතක කරන්න එපා. බරපතළ රෝගයකින් පෙළෙන දරුවන් දෙන්නෙක් ඉන්න මවක් ඒ ගැන මෙහෙම කිව්වා. “සමහර වෙලාවට මගේ මනසට දැනෙන පීඩනය කොච්චරද කිව්වොත් මට හිතෙනවා හුස්ම හිර වෙලා මං මැරෙයි කියලා. හැබැයි මම යෙහෝවා දෙවියන්ට යාච්ඤා කළාම මට දැනෙන්නේ පුදුම ශක්තියක්. ඒ නිසා මගේ වැඩ ආයිත් කරගෙන යන්න මට පුළුවන් වෙනවා.”—ගීතාවලිය 145:18.

මෙහෙම කරලා බලන්න: ඔයා කන්නේ මොන වගේ කෑමද, කොච්චර ව්‍යායාම් කරනවද, ප්‍රමාණවත් නින්දක් ලැබෙනවද කියලා හිතලා බලන්න. ඒ තරම් වැදගත් නැති දේවලට යොදන කාලය අඩු කරලා නිරෝගී සෞඛ්‍යයකට දායක වන දෙයක් වෙනුවෙන් ඒ කාලය යොදවන්න පුළුවන්ද කියලා හිතන්න. දිනපතා කරන වැඩවල වෙනසක් කරන්න ඕන කියලා හිතුණොත් ඒ වෙනස කරන්න.

3වෙනි අභියෝගය: පවුලේ අනිත් අයට වඩා ආබාධිත දරුවට අවධානය දීම.

අසනීප දරුවෙක් ඉන්න කොට පවුලේ හැමෝටම ඒක බලපානවා. පවුලේ අය කන බොන දේවල්, යන එන තැන්, අනිත් දරුවන් එක්ක ගත කරන කාලය, මේ හැම දේම වෙනස් වෙනවා. එතකොට දෙමාපියන් අපිට ආදරේ නෑ කියලා අනිත් දරුවන්ට හිතෙයි. අසනීප දරුවා වෙනුවෙන් මුළු කාලයම වැය කරද්දී සැමියා හා බිරිඳ අතර තියෙන බැඳීමටත් ඒක බලපානවා. ඒ ගැන ලයනල් කියන පියා මේ වගේ දෙයක් කිව්වා. “මගේ නෝනා සමහර වෙලාවට මට කියනවා දරුවගේ හැම වැඩක්ම කරන්නේ එයා, මට දරුවා ගැන ගාණක්වත් නෑ කියලා. එහෙම කිව්වම මාත් එයාගේ හිත රිදෙන්න මොනවා හරි කියනවා.”

යෝජනාවක්: පවුලේ අනිත් දරුවන් කරන්න ආස දේවල් එයාලා එක්ක කරන්න. එතකොට එයාලටත් ඔයාගේ ආදරේ දැනෙයි. “සමහර වෙලාවට අපි ලොකු පුතත් එක්ක එයා ආසම රෙස්ටොරන්ට් එකට ගිහින් කෑම කනවා” කියලා ජෙනී කිව්වා.

හැම දරුවෙක්ටම එක වගේ ආදරේ පෙන්නන්න

ඔයාගේ විවාහ බැඳීම ශක්තිමත්ව තියාගන්න සහකරු එක්ක කතා කරන්න. එකට යාච්ඤා කරන්න. අසනීප දරුවෙක් ඉන්න එක පියෙක් මෙහෙම කියනවා. “මටයි මගේ නෝනටයි පුදුම තෙහෙට්ටුවක් දැනෙන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට අපි කලකිරෙනවා. ඒ වුණත් ටිකක් නිවිහැනහිල්ලේ කතා කරන්න අපි දෙන්නා වෙලාව හොයාගන්නවා. අපි එකට යාච්ඤා කරනවා. අපේ දරුවෝ ඇහැරෙන්න කලින් අපි දෙන්නා උදෙන්ම නැඟිටලා බයිබලේ තියෙන දෙයක් සාකච්ඡා කරනවා.” ඒ විදිහට හිතේ තියෙන දේවල් ගැන කතාබහ කරන එකෙනුත් එකට යාච්ඤා කරන එකෙනුත් දුෂ්කරතා මැද වුණත් විවාහ බැඳීම ශක්තිමත්ව තියාගන්න පුළුවන්. (හිතෝපදේශ 15:22) එක යුවළක් මෙහෙම කිව්වා. “අපිට හුඟක් අමාරු කාලවල් තිබිලා තියෙනවා. හැබැයි යුවළක් විදිහට අපි සතුටින්ම හිටියෙත් ඒ කාලෙයි.”

මෙහෙම කරලා බලන්න: ආබාධිත දරුවා වෙනුවෙන් පවුලේ අනිත් දරුවන් පොඩි උදව්වක් හරි කළොත් ඒක අගය කරන්න. දරුවන්ටත් සහකරුටත් ඔයා ආදරෙයි කියලත් ඒ අයව අගය කරනවා කියලත් නිතරම දැනෙන්න සලස්වන්න.

අනාගතය දිහා සතුටින් බලන්න

සියලුම ලෙඩ දුක්, ආබාධ ළඟදීම නැති කරලා දාන්න දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. (එළිදරව් 21:3, 4) එදාට ‘කිසිම කෙනෙක් මම ලෙඩින් කියලා කියන්නේ නැහැ.’ *යෙසායා 33:24.

ඔයාගේ දරුවා ආබාධිත වුණත් එයාව හොඳින් හදා වඩා ගන්න පුළුවන් කියන එක අමතක කරන්න එපා. අපි මේ ලිපියේ මුලින් කතා කරපු කාලෝ හා මියුරි මෙහෙම දෙයක් කිව්වා. “දරුවා වෙනුවෙන් ඔයා දරන උත්සාහය අසාර්ථකයි කියලා පෙනෙන්න තිබුණත් කලකිරෙන්න එපා. මොකද ඔයාගේ දරුවා ගැන සතුටු වෙන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා කියලත් මතක තියාගන්න.”

^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 29 ඡේ. දෙවියන් ලෙඩ දුක්වලට නිමාවක් ගෙනෙනවා කියලා බයිබලයේ තියෙන පොරොන්දුව ගැන වැඩි විස්තර දැනගන්න බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු කියන පොතේ 3වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

මේ ගැන හිතන්න

  • නිරෝගීව ඉන්නත් නොසැලී ඉන්නත් දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත්ව තියාගන්නත් මගේ පැත්තෙන් මං මොනවද කරන්නේ?

  • මගේ අනිත් දරුවන් කරන දේවල් මං අන්තිමට අගය කළේ කවද්ද?