Skip to content

පටුනට යන්න

ඉගෙනගැනීමේ දුර්වලතාව ජය ගැනීම

ඉගෙනගැනීමේ දුර්වලතාව ජය ගැනීම

ඉගෙනගැනීමේ දුර්වලතාව ජය ගැනීම

මෙක්සිකෝවේ පිබිදෙව්! ලේඛක විසින්

ස්ටීවන්ට කියවීමේ දුර්වලතාවක් තිබුණා. පන්තියේ ශබ්ද නගා කියවීමට ලැබෙන සෑම අවස්ථාවකදීම උදරයේ අමාරුවක් තිබෙන බව කියා ඔහු එය මඟහැරියා.

මරියාට ගුරුවරිය කොතරම් උනන්දු කළත් පැහැදිලිව ලිවීමේ දුර්වලතාවක් ඇයට තිබුණා. ඒ නිසා ඇයට ගෙදර වැඩ කිරීමට පැය ගණනාවක් ගත වුණා.

නෝවාට පාසැලේ යම් පැවරුමක් ලැබුණු විට ඔහු එය නිතර නිතර කියෙව්වා. නමුත් ඔහුට කියවන දේ ඉක්මනින් අමතක වන නිසා පන්තියේ හොඳ ලකුණු ගන්න ඔහුට නොහැකි වුණා.

ස්ටීවන්, මරියා සහ නෝවා යන අයට ඉගෙනගැනීමේ යම් දුර්වලතාවන් තිබුණා. මේ අතර වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ කියවීමේ දුර්වලතාවයි. (ඩිස්ලෙක්සියා) මෙහිදී එක හා සමාන හැඩයෙන් යුත් අකුරු වෙන වෙනම හඳුනාගැනීම අපහසුයි. ඉගෙනගැනීමේ දුර්වලතාවට බලපාන තවත් හේතුවක් නම් ලිවීමේ දුර්වලතාවයි. (ඩිස්ග්‍රාෆියා) අනික් හේතුව වන්නේ ගණිතමය සංකල්ප අවබෝධ කරගැනීමේ දුර්වලතාවයි. (ඩිස්කැල්ක්‍යුලියා) ඉගෙනගැනීමේ දුර්වලතාවන් තිබෙන මෙවැනි දරුවන්ගෙන් බොහෝදෙනෙකුගේ බුද්ධි මට්ටම සාමාන්‍ය දරුවෙකුගේ බුද්ධි මට්ටමට සමාන හෝ ඊටත් වඩා වැඩි විය හැකියි.

ඉගෙනගැනීමේ දුර්වලතා තිබෙන දරුවන් තුළ එක හා සමාන ශබ්ද ඇති වචන ශබ්ද කිරීමට නොහැකි වීම, නිතරම වචන වැරදියට උච්චාරණය කිරීම සහ කතා කිරීමට නියමිත වයසේදී කතා නොකිරීම වැනි අංග ලක්ෂණද දැකිය හැකියි. එමෙන්ම ළදරු කාලයේ භාවිත කළ වචනම දිගටම භාවිත කිරීම, ඉලක්කම් සහ අකුරු මතක තබාගැනීම අපහසු වීම, අකුරු ශබ්ද කිරීමට නොහැකි වීම සහ දෙන උපදෙස් අනුගමනය කිරීමට අපහසු වීමද ඉන් සමහරක්. *

ඔබේ දරුවාට උපකාර කරන්න

ඔබේ දරුවා ඉගෙනීමේ කටයුතුවලට දක්ෂ නැත්නම් දෙමාපියන් හැටියට ඔබට කළ හැක්කේ කුමක්ද? මුලින්ම දරුවාගේ ඇසීම හා පෙනීම පරීක්ෂා කරන්න. යම් ආබාධිත තත්වයක් ඇති බව දැනගත්තොත් දරුවාට අවශ්‍ය වෛද්‍යම උපකාර සපයන්න. නමුත් ඔබේ දරුවාට ඇත්තේ අප කලින් සඳහන් කළ ඉගෙනගැනීමේ දුර්වලතාවක් නම් ඔබගේ උපකාරය ඔහුට අවශ්‍යයි. නමුත් මෙහිදී මතක තබා ගත යුතු වැදගත් දෙයක් වන්නේ මෙවැනි තත්වයක් ඇති වන්නේ ඔබේ දරුවාගේ බුද්ධියේ යම් අඩුවක් නිසා නෙවෙයි. *

මෙවැනි දුර්වලතාවක් තිබෙන දරුවන්ට පාසැලෙන් විශේෂ උපකාර ලබා දෙනවා නම් එයින් ප්‍රයෝජන ගන්න. ඔබ දරන වෑයමට ගුරුවරුන්ගේ සහයද ඉල්ලා සිටින්න. ඒ වගේම මෙවැනි දරුවන්ව පන්තියේ ඉදිරි ආසනවල අසුන්ගැනීමට සලස්වන මෙන්ද පැවරුම් නිම කිරීමට වැඩි පුර කාලයක් ලබා දෙන මෙන්ද ඉල්ලා සිටින්න. මෙවැනි දරුවන්ට වාචිකව හා ලිඛිතව උපදෙස් ලබා දිමට ගුරුවරුන්ට හැකි අතර විභාගවලදී වාචිකව පිළිතුරු දීමට ඉඩ හැරිය හැකියි. ඉගෙනගැනීමේ දුර්වලතාවෙන් පෙළෙන දරුවන්ට බොහෝවිට අමතක වන නිසාත් ඔවුන් අපිළිවෙලකට වැඩ කරන නිසාත් නිවසේ භාවිත කිරීමට වෙනමම අච්චු පොත් ලබා දිය හැකියි. ඒ වගේම මෙවැනි දරුවන්ට නිවසේදී හෝ පාසැලේදී භාවිත කිරීම සඳහා අක්ෂර වින්‍යාසය ඇතුළත් පරිගණකද ලබා දීමට කටයුතු කළ හැකියි.

කියවීමේ දුර්වලතාවන් තිබෙන දරුවන්ට දිනපතා ශබ්ද නගා කියවීමට කෙටි වේලාවක් වෙන් කරන්න. එසේ කරන විට දෙමාපියන්ට දරුවාගේ උච්චාරණය නිවැරදි කිරීමට හැකියි. මුලින්ම ඔබ දරුවාට ඇසෙන සේ ශබ්ද නගා කියවද්දී ඊට අවධානය දීමට දරුවාව උනන්දු කරන්න. පසුව දෙදෙනාම එකතු වී කියවන්න. අවසානයේදී ඔබට හැකියි දරුවාට එය තනිවම කියවීමට දෙන්න. එසේ කරද්දී කියවන කොටස යටින් රූලක් තැබීමටත් උච්චාරණය කිරීමට අපහසු වචන ලකුණු කරගැනීමටත් ඔහුට උනන්දු කරන්න. සෑම දවසකම මේ සඳහා වැය වන්නේ විනාඩි 15ක් වැනි කෙටි කාලයක් පමණයි.

ඔබේ දරුවා ගණිතයට දුර්වලතාවක් දක්වනවා නම් නිවසේදී ඒ සඳහා උපකාර කිරීමට ඔබට හැකියි. උදාහරණයකට යම් දේවල් කිරන්න, රූලකින් යම් දේවල් මනින්න, කඩේට යනවිට ඔහුවත් රැගෙන යෑමෙන් මුදල් පිළිබඳ යම් අවබෝධයක් ලබා දෙන්න දෙමාපියන්ට හැකියි. එමෙන්ම ප්‍රස්ථාර හා රූප සටහන් භාවිත කරමින් ගණිතමය හැකියාව දියුණු කරගැනීමට උපකාර කළ හැකියි. ඔබේ දරුවාට පැහදිලිව අත් අකුරු ලිවීමට යම් දුර්වලතාවක් තිබෙනවා නම් ඒ සඳහා තිබෙන විශේෂ පොත් ලබා දෙන්න. අකුරු හඳුනාගෙන කියවීම සඳහා දරුවාට පෙනෙන පරිදි සෑම තැනකම අකුරු ප්‍රදර්ශනය කිරීමටත් ඔබට හැකියි.

ADHD අක්‍රමිකතාවෙන් පෙළෙන දරුවෙකුට පවා උපකාර කිරීමට ක්‍රම තිබෙනවා. යමක් පවසන විට අවධානය දීමට අපහසු දරුවෙකු සමඟ කතා කරද්දී ඔහුගේ දෑස් දිහා බලාගෙන කතා කරන්න. ඒ වගේම ගෙදර වැඩ කිරීම සඳහා ඔහුට නිස්කලංක තැනක් ලබා දීමට හැකි අතර කඩින් කඩ විවේකයක්ද ලබා දිය හැකියි. එමෙන්ම එවැනි දරුවන් අධික්‍රියාශීලී නිසා නිවසේ සුළු සුළු වැඩ ඔවුන්ට පැවරිය හැකියි.

උත්සාහය අත් නොහරින්න

ඔබේ දරුවාගේ දක්ෂතාවන් හා හැකියාවන් අගය කර ඒවා තවත් වර්ධනය කරගැනීමට ඔහුට උපකාර කරන්න. ඔහු අත් කරගෙන තිබෙන්නේ කුඩා දෙයක් වුවත් එය අගය කරන්න. ඔහුට කිරීමට අපහසු වැඩ පවරනවා වෙනුවට කිරීමට හැකි කුඩා වැඩ පැවරීමෙන් හා ඒවා ඉටු කිරීමෙන් ඔහුට මහත් සතුටක් අද්දැකිය හැකියි. එමෙන්ම යම් පැවරුමක් ඔහුට භාර දෙන විට එය කළ යුතු ආකාරය දැක්වෙන පින්තූර හෝ සටහන් භාවිත කරන්න.

කෙසේනමුත් දරුවෙක් වයසින් වැඩෙත්ම ඔහුට කියවීමට, ලීවීමට හා ගණිතයට යම් දක්ෂතාවක් තිබීම අවශ්‍යයි. එසේ කිරීමට ඔබේ දරුවා වැඩි කාලයක් ගත්තත් අනික් දරුවන්ට වෙනස්ව කටයුතු කළත් ඔබගේ උපකාරය පිරිනැමීමෙන් ඔහුට සාර්ථක විය හැකියි.

[පාදසටහන්වල]

^ 7 ඡේ. බොහෝ අවස්ථාවලදී මෙම දුර්වලතාව තිබෙන දරුවෙකුට ඌන අවධාන අධික්‍රියාශීලී හෙවත් ADHD (Attention Deficit Hyperactivity Disorder) අක්‍රමිකතාවද ඇති විය හැකියි. එහි ලක්ෂණ කිහිපයක් නම් අවධානය නොදීම, ආවේගකර හැසිරීම සහ අධික්‍රියාශීලී වීමයි. වැඩි විස්තර දැනගැනීම සඳහා 1997 මාර්තු පිබිදෙව්! කලාපයේ 5 සිට 8 දක්වා පිටු බලන්න.

^ 9 ඡේ. ගැහැනු දරුවන්ට වඩා තුන් ගුණයකින් පිරිමි දරුවන් ඩිස්ලෙක්සියා සහ අධික්‍රියාශීලී වීම වැනි තත්වයන්ට ගොඳුරු වෙනවා.

[11වන පිටුවේ කොටුව]

දුර්වලතාව ආශීර්වාදයක් කරගත් ඔහු

“මම පොතක් අතට ගත්තම මම දැක්කේ නිකං අකුරු ගොඩක් විතරයි. ඒක හරියට වෙනත් භාෂාවකින් ලියලා තියෙන යමක් වගෙයි. කවුරු හරි කෙනෙක් ඒක කියවද්දී තමයි මට පැහැදිලි වුණේ. ගුරුවරුන් හිතුවේ මම පාඩම්වලට ඇහුම්කන් දෙන්නේ නැති, කම්මැලි, කිසි ගරු සරු නැති කෙනෙක් කියලයි. ඒත් මම ලියන්න කියවන්න කොච්චර උත්සාහ කළත් ඒක මට කරන්න බැරි වුණා. නමුත් ගණිතය වැනි විෂයන් නම් මට එතරම් අමාරු වුණේ නැහැ. හැබැයි මම කුඩා කාලයේ ඉඳලම ක්‍රීඩාවට දෑතේ වැඩවලට චිත්‍ර ඇදීමට වගේ දේවල්වලට උනන්දුවක් දැක්වුවා.

“පසු කාලයකදී මම දෑතේ වීර්යෙන් කරන රැකියාවකට හුරු වුණා. ඒ නිසා මට අවස්ථාවක් ලැබුණා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර ඉදිකිරීම් අංශයේ ව්‍යාපෘති පහකම සේවය කරන්න. මට කියවන්න ලොකු උත්සාහයක් දරන්න අවශ්‍ය වුණු නිසා මම කියවන දේවල් මතක තබා ගන්න ලොකු වෑයමක් දැරුවා. බයිබලය ඉගෙනගන්න කෙනෙක් හැටියට මෙය මට ලොකු උපකාරයක් වුණා. ඉගෙනගැනීමට තිබුණු දුර්වලතාව මම අවාසියක් ලෙස සිතනවා වෙනුවට ආශීර්වාදයක් ලෙස සැලකුවා.”— යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පුර්ණ කාලීන සේවකයෙක් වන පීටර්. ඔහු කියවීමේ දුර්වලතාවෙන් පෙළෙන කෙනෙක්.

[10වන පිටුවේ පින්තූරය]

දරුවන් සවන් දෙන දේ චිත්‍ර මාර්ගයෙන් සටහන් කර ගැනීමට ඔවුන් දක්ෂ විය හැකියි