Skip to content

පටුනට යන්න

මගේ ප්‍රශ්නවලට පිළිතුරු මට ලැබුණා

මගේ ප්‍රශ්නවලට පිළිතුරු මට ලැබුණා

මගේ ප්‍රශ්නවලට පිළිතුරු මට ලැබුණා

පැවසුවේ බර්ට් ටෝල්මන්

මම මගේ ළමා කාලය මතක් කරන්නේ ඉමහත් සතුටින්. අපි ජීවත් වුණේ කැනඩාවේ ඇල්බර්ටා ප්‍රදේශයේයි. මෙම ප්‍රදේශය පිහිටා තිබෙන්නේ කැනඩාවේ කඳු වළල්ලට හා රමණීය ලුවිස් විලට නුදුරුවයි. අපව බොහෝදෙනෙක් හැඳින්වූයේ රතු ඉන්දියානු ගෝත්‍රිකයන් ලෙසයි.

මම පවුලේ පස්වෙනියා. මට තව සහෝදරයන් හයදෙනෙකුත් සහෝදරියන් දෙදෙනෙකුත් ඉන්නවා. අපි වැඩි කාලයක් ජීවත් වුණේ ආච්චිගේ නිවසේයි. ඇය බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කරන කෙනෙක්. ඇය අපට අපේ ගෝත්‍රයේ පාරම්පරික ජීවන රටා ගැන කියා දුන්නා. අපි කැලෑවෙන් බෙරි පළතුරු එකතු කරන්නත් පාරම්පරික ආහාර හදන්නත් ගෙවතු වගාවත් ඉගෙනගත්තා. මගේ සීයයි තාත්තයි දඩයමේ යද්දීත් මාළු අල්ලන්න යද්දීත් මාව අරගෙන ගියා. අපි මස් සහ හම් ලබාගැනීමට ගෝන්නු, මුවන් වැනි සත්තු දඩයම් කළා. අපිට අවශ්‍ය දේවල් සපයන්න මගේ දෙමාපියන් උපරිමයෙන් මහන්සි වී වැඩ කළා. මම ගත කළ ගෝත්‍රික පරිසරයේ ජීවිතයට මම හුඟක් කැමතියි.

වර්ෂ 1963දී මගේ අච්චි මිය ගියාට පසුව අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒ වෙනකොට මට අවුරුදු පහයි. ඒත් ආච්චිගේ මරණය මට ලොකු ප්‍රෙහේලිකාවක් වුණා. මට ඒ මරණය ගැන තිබුණු ප්‍රශ්නවලට කාගෙන්වත් සැනසිලිදායක පිළිතුරක් ලැබුණේ නැහැ. මම පොඩි වුණත් මට මේ වගේ ප්‍රශ්න ඇති වුණා. ‘මේ සෑම දෙයක්ම නිර්මාණය කළ දෙවි කෙනෙක් ඉන්නවා නම් ඔහු කොහේද ඉන්නේ? මිනිස්සු මැරෙන්නේ ඇයි?’ සමහර අවස්ථාවලදී මට දැනුණු දුක හා වේදනාව නිසා මම හුඟක් ඇඬුවා. මම අඬන්නේ ඇයි කියලා මගේ දෙමාපියන් අහද්දී එක්කෝ මගේ බඩ රිදෙනවා නැත්නම් කකුළ රිදෙනවා කියලා මම එයාලට බොරුවක් කිව්වා.

සුදු ජාතිකයන්ව හමුවීම

ආච්චි මිය යන්න කලින් අපිට සුදු ජාතිකයන් එක්ක එතරම් සම්බන්ධයක් තිබුණේ නැහැ. අපිට ඔවුන්ව මුණ ගැසුණු හැම අවස්ථාවේදීම අපිට කිව්වේ ඒ අය “කිසිම හැඟීමක් නැති, නපුරු, ආශ්‍රය කරන්න හොඳ නැති මිනිස්සු” කියලයි. මට කියලා තිබුණේ සුදු ජාතිකයන් අතර අවංක මිනිස්සු ඉන්නේ අතළොස්සක් කියලයි. මම ඒ අයව දැන හඳුනාගන්න කැමති වුණත් ඒ අය අපව පහත් අය ලෙස සලකා අපිව විහිළුවට ගත් නිසා මම ඒකට භය වුණා.

ආච්චිගේ මරණයෙන් පසුව මගේ දෙමාපියන් මත්පැන්වලට ඇබ්බැහි වුණා. ඒ කාලය තමයි මගේ ජීවිතයේ දුක්බරම කාලය. ඊට ටික කාලයකට පසු මෝර්මන් ආගමේ දෙදෙනෙක් නිතර නිතර අපේ නිවසට එන්න පටන්ගත්තා. එතකොට මට අවුරුදු අටක් විතර ඇති. ඒ අය අපිට යෝජනාවක් ගෙනාවා. මට තේරුණු විදිහට ඒ යෝජනාව තමයි අපි වගේ ගෝත්‍රික දරුවන්ව සුදු ජාතික පවුල් එක්ක ජීවත් වෙන්න සැලැස්වීම. මෝර්මන් ආගමේ අය හොඳයි කියලා හිතුණු නිසාත් අපේ ගෙදර තිබුණු තත්වය නිසාත් මගේ දෙමාපියන් ඒ යෝජනාව පිළිගත්තා. මට ඒ ගැන පුදුම හිතුණා. මොකද දෙමාපියන්ම මට කලින් කියලා තිබුණා සුදු ජාතිකයන්ව විශ්වාස කරන්න බැහැයි කියලා. ඒ නිසා මම යන්න අකමැති වුණා. නමුත් අවසානයේදී මගේ අයියත් මාත් එක්ක එනවා කියලා දෙමාපියන් පැවසූ නිසා මම ඊට එකඟ වුණා.

කෙසේවෙතත් අයියයි මමයි කැනඩාවේ වැන්කුවර් නගරයට ගියාම අපි දෙන්නව වෙන් කළා. මාව තවත් කිලෝමීටර් 100ක් පමණ ඈත තැනකට රැගෙන ගියා. මට ඒ වෙලාවේ දැනුණු පාළුව තනිකම නම් කියා නිම කරන්න බැහැ. මාව බලාගත්ත සුදු ජාතික පවුලේ අය කරුණාවන්ත අය වුණත් මම එහේ හිටියේ එතරම් සතුටකින් නෙවෙයි. ඒ නිසා මාස දහයකින් මම නැවත ගෙදර ආවා.

නැවතත් දෙමාපියන් සමඟ

මම නැවතත් ගෙදර එන විට එහි තත්වය තිබුණු විදිහමයි. කිසිම වෙනසක් වෙලා නැහැ. නමුත් නැවත ගෙදර එන්න ලැබීම මට ලොකු සතුටක්. මට අවුරුදු 12දී විතර මගේ දෙමාපියන් මත්පැන් පානය නතර කළා. ඒක මට ලොකු සහනයක් වුණා. ඒත් ඒ කාලයේදී මම මත්පැන් හා මත්ද්‍රව්‍ය අත්හදා බලමින් මටම ආවේණික වූ ජීවිත රටාවක් ගත කරමිනුයි සිටියේ. මගේ මේ නරක පුරුදුවලින් මිදෙන්න වෙනත් ක්‍රියාකාරකම්වල නිරත වෙන්න කියා දෙමාපියන් මාව උනන්දු කළා. ඒ නිසා මම මෙල්ල කරන්න බැරි අශ්වයන් හා කුළු හරක් පිට නැඟලා යන ක්‍රීඩාවට පුරුදු වුණා. මේ ක්‍රීඩාව බියගුල්ලන්ට කරන්න බැහැ. මට දරුණු කුළු හරකෙකුගේ පිටේ වැටෙන්නේ නැතුව තත්පර අටක් විතර ඉන්න හැකි වුණා.

මගේ යෞවන කාලයේදී මට අපේ ගෝත්‍රික නායකයෝ ඔවුන්ගේ ආගම ඉගැන්වූවා. මම සුදු ජාතිකයන්ගේ ආගමට එතරම් කැමැත්තක් දැක්වූවේ නැහැ. නමුත් මම මගේ ගෝත්‍රයේ ආගමට වැඩි කැමැත්තක් දැක්වූවා. මගේ ගෝත්‍රයේ අය හරිම කරුණාවන්ත සහ යුක්තිසහගත අයයි. නමුත් ඒ වගේ ගුණාංග ක්‍රිස්තියානි ආගම් අදහන අය තුළ තිබුණේ නැහැ කියලයි මම හිතුවේ. මම මගේ ගෝත්‍රිකයන්ගේ විහිළු තහළුවලට හා නෑදෑයන් සහ මිතුරන් අතර තිබුණු බැඳීමට හුඟක් ආස කළා.

අපේ ගෝත්‍රික ජනතාව දශක ගණනාවක් පුරා විඳි දුක් ගැහැට මට මේ කාලයේදී දැනගන්නට ලැබුණා. අපි ප්‍රධාන වශයෙන් ආහාරයට ගත්තේ මී හරක් මස් බව දැන සිටි සුදු ජාතිකයන් මී හරක් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමෙන් අපේ ප්‍රධාන කෑම වේල නැති කරන්න උත්සාහ දරා තිබුණා. උදාහරණයකට එක්සත් ජනපදයේ හමුදා සේනාධිපතියෙක් වන ආර්. අයි. ඩෝඩ්ජ් මෙවැනි අණක් නිකුත් කර තිබුණා. “ඔබට මරන්න පුළුවන් සෑම මී හරකෙකුවම මරන්න. මී හරකෙකු මැරෙනවා කියන්නේ ඉන්දියානුවෙකු මැරෙනවා කියන එකයි.” මෙවැනි දේවල්වලින් අපේ ගෝත්‍රයේ අය දුකට පත් වුණත් ඔවුන්ගේ අසරණකම නිසා ඔවුන්ට කිසි දෙයක් කර කියාගැනීමට නොහැකි වූ බව මට දැනගන්න ලැබුණා.

අපේ ගෝත්‍රික අය කිසිම හැදියාවක් නැති අය ලෙස සලකා සමහර පාලකයන් ආගමික කණ්ඩායම් සමඟ එකතු වී අපේ ජීවිත වෙනස් කිරීමට තැත් කළා. සුදු ජාතිකයන්ගේ ක්‍රමයට අපවත් හැඩගැස්වීම සඳහා අපේ සංස්කෘතිය, භාෂාව, විශ්වාසයන් සහ හැසිරීම වෙනස් කළ යුතු බව ඔවුන් සිතුවා. මෙලෙස වෙනස් කිරීමට දැරූ උත්සාහයන්වලදී ආගමික පාසැල්වල නේවාසිකව සිටි ගෝත්‍රික දරුවන් අපචාරයට ලක් වී තිබුණා. සමහරුන් මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණා. තවත් සමහර අය සැහැසික ක්‍රියා කිරීමට පුරුදු වුණා. තවත් සමහරුන් සිය දිවි නසාගත්තා. මෙවැනි ප්‍රශ්න අදටත් ගෝත්‍රික සමාජවල දකින්න තිබෙනවා.

මෙවැනි තත්වයන්ගෙන් තමන්ගේ දරුවන්ව ආරක්ෂා කරගැනීම සඳහා ගෝත්‍රිකයන් සුදු ජාතිකයන්ගේ සංස්කෘතියට අනුව තමන්ගේ දරුවන්ව හැඩගැස්විය යුතු බව තීරණය කළා. ඔවුන් තම දරුවන් සමඟ ගෝත්‍රික භාෂාව කතා කරනවා වෙනුවට ඉංග්‍රීසි භාෂාව කතා කළා. ඒ වගේම ඔවුන් සුදු ජාතිකයන්ගේ හැසිරීම් රටා අනුගමනය කළා. නමුත් ඔවුන් කළ මේ වෙනස සුදු ජාතිකන්ගේ පමණක් නොව ගෝත්‍රිකයන්ගේද හාස්‍යට ලක් වුණා. ගෝත්‍රිකයන් ඔවුන්ව හැඳින්වූයේ ඇපල් ඉන්දියානුවන් කියායි. ඉන් අදහස් කළේ ඔවුන් පිටින් රතුයි ඇතුළතින් සුදු බවයි.

අපේ ජාතියේ අය මේ වගේ විවිධාකාර ලෙස දුක් විඳිනවා දකිද්දී මට හරි දුකක් දැනෙනවා. අපි ජීවත් වන කැනඩාවේ සහ එක්සත් ජනපදයේ සිටින අපේ ගෝත්‍රිකයන්ට හොඳ කාලයක් එනවා දකින්න මම හුඟක් කැමතියි.

මගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබෙන තුරු බලා සිටියා

යෞවනයෙකු හැටියට සමාජයේ පිළිගැනීමක් ලැබෙන එකක් නැහැයි කියන හැඟීම මා තුළ ලොකු වෛරයක් ඇති කළා. මම සුදු ජාතිකයන්ටද වෛර කළා. නමුත් අන් අයට වෛර කරනවා වෙනුවට ඒ අයට සමාව දෙන්නත් ප්‍රේම කරන්නත් මගේ දෙමාපියන් සහ නැන්දා මාව උනන්දු කළා. මම පසු කාලයකදී ඉගෙනගත්තා ඔවුන්ගේ ඒ උපදෙස් බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට එකඟ බව. කෙසේවෙතත් මට කුඩා කාලයේ ඇති වූ ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමට මා තුළ ඒ වනවිටත් ආසාවක් තිබුණා. ඒ වගේම ඇයි අපි මේ පොළොවේ ජීවත් වෙන්නේ? මෙතරම් අසාධාරණකම් සිදු වන්නේ ඇයි? අපි කෙටි කලකට ජීවත් වෙලා මැරිලා යනවා නම් මේ ජීවිතෙන් වැඩක් තියෙනවද? වැනි ප්‍රශ්න මගේ මනස තවත් අවුල් කළා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අපේ නිවසට එන හැම මොහොතකම ඒ අයව පිළිගත්තේ මමයි. ඒ අය අනික් අයව කවදාවත් පහත් කරලා නොසලකපු නිසා මම එයාලට ගරු කළා. එයාලත් එක්ක මම විවිධ විෂයන් ගැන කතා කළත් මට තිබුණු ප්‍රශ්න ඒ අයට කියාගන්න මට තේරුණේ නැහැ. අපේම ගෝත්‍රයට අයිති යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන ජෝන් බෲස්ටර් සහ හැරී කලෙහූ අපේ නිවසට ආවා මට මතකයි. අපි එයාලත් එක්ක දීර්ග සාකච්ඡාවක් කළා. මම එයාලගෙන් පොතක් ලබාගෙන ඒකෙන් භාගයක් විතර කියෙව්වා. පස්සේ ඒ පොත නැති වුණා.

වැඩි කාලයක් ක්‍රීඩාවේ

මම මගේ ගෝත්‍රික වැඩිහිටියන්ගෙන් උපදෙස් ඉල්ලුවා. ඒ අය දෙන උපදෙස් මම අගය කළත් ජීවිතය පිළිබඳ මට තිබුණු ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන පිළිතුරු මට ඔවුන්ගෙන් ලැබුණේ නැහැ. මම වයස අවුරුදු 16දී නිවසින් පිට වී මෙල්ල කරන්න බැරි කුළු හරක් සහ අශ්වයන් පැදවීමේ තරඟවල නියැලුණා. එවැනි තරඟවලින් පසුව පැවති සාදයන්වලදී මම මත්පැන් සහ මත්ද්‍රව්‍ය අධික ලෙස භාවිත කළා. ඒත් මම ඒ දේවල් කරද්දී මට මගේ සිත වද දුන්නා. මොකද මම දැනගෙන හිටියා මම මේ ගත කරන ජීවිතයට දෙවි කොහෙත්ම කැමති නැති බව. නිතරම හරි දේ කරන්න උපකාර කරන්න කියාත් මගේ සිතට වද දෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න කියාත් මම දෙවිට යාච්ඤා කළා.

වර්ෂ 1978දී මම කැල්ගරිවල සිටින විට මට රෝස් නැමැති කාන්තාව මුණ ගැසුණා. ඇයත් මම වගේම ගෝත්‍රික පවුලක හැදී වැඩුණු කෙනෙක්. අපි දෙන්නටම තිබුණු අදහස් එකයි. ඒ නිසා අපිට අදහස් හුවමාරු කරගැනීම පහසු වුණා. අපි දෙන්නා එකිනෙකාට ආදරය කළ අතර 1979දී විවාහ වුණා. පසුව අපේ පවුලට අපේ දුව කාර්මා පුතා ජෙරඩ් එකතු වුණා. රෝස් ගුණවත් භාර්යාවක් වු අතර ප්‍රේමණීය මවක්ද වුණා. දවසක් මගේ ලොකු අයියගේ නිවසට අපි ගිය වෙලාවේ පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක * යන පොත මට ලැබුණා. ඒ පොත හරිම ලස්සන, පිළිගත හැකි, අර්ථාන්විත කරුණු ඇතුළත් වී තිබුණා. නමුත් ඒ පොතේ භාගයක් පිටු නොතිබුණු නිසා මට සම්පුර්ණයෙන් එය කියවලා බයිබලයේ තිබෙන පණිවිඩය තේරුම්ගන්න බැරි වුණා. රෝස් සහ මම හුඟක් උත්සාහ ගත්තා එහි ඉතුරු පිටු ටික සොයාගන්න. නමුත් අපිට ඒ පිටු හම්බවුණේ නැහැ. මම දිගටම දෙවිගේ උපකාර ඉල්ලා යාච්ඤා කළා.

පූජකයා සමඟ කළ සාකච්ඡාව

වර්ෂ 1984දී රෝස් අපේ තුන්වන දරුවාව බිහි කළා. අපි අපේ මේ ලස්සන දුවට කේල කියන නම තැබුවා. ඒත් මාස දෙකකට පසුව උපතේදීම තිබුණු හෘද රෝගයක් නිසා ඇය මිය ගියා. අපිට ඒ වෙලාවේ දැනුණේ මුළු ලෝකයම කඩාගෙන වැටුණා වගෙයි. රෝස්ව සනසවන එක මට පහසු දෙයක් වුණේ නැහැ. නමුත් පසුව ඇය කතෝලික පූජකයෙකුව හමු වීමට මාව කැමති කරවාගත්තා. අපි ඔහුව හමු වීමට ගියේ අපිට යම් සහනයක් ලබාගැනීමේ හා අපේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමේ අරමුණිනුයි.

අපි ඔහුගෙන් ඇහුවා අපේ දුවට මේ වගේ දෙයක් වුණේ ඇයි සහ ඇය දැන් සිටින්නේ කොහේද කියලා. ඔහු පැවසුවේ දෙවිට තවත් දේවදූතයෙක් අවශ්‍ය නිසා දෙවි කේලව ගත්ත බවයි. ඒත් මම කල්පනා කළා දෙවි සියලු බලැති දෙවි නම් ඔහුට දේවදූතයෙක් අවශ්‍ය වුණහම ඇයි අපේ දුවවම ගත්තේ කියලා. අනික කිසි දෙයක් කර කියාගත නොහැකි ළදරුවෙකුව ගැනීමේ ඇති පලය මොකක්ද කියලා මම කල්පනා කළා. ඒත් ඒ කිසිම වේලාවකදී පූජකයා බයිබලය පාවිච්චි කළේ නැහැ. අපි බලාපොරොත්තු පොදි බැඳගෙන ගියත් ඒ කිසිදෙයක් සාර්ථක වුණේ නැහැ.

මහත් ශක්තියක් වූ යාච්ඤාව

වර්ෂ 1984 නොවැම්බර් මාසයේ අඟ මම එක් උදෑසනක දෙවිට මහත් ඕනෑකමින් යාච්ඤා කළා. මගේ ජීවිතය වෙනස් කරගන්නත් මේ දේවල් සිදු වන්නේ ඇයි කියාත් ජීවිතේ අරමුණ තේරුම්ගන්න උපකාර කරන්න කියාත් මම දෙවිගෙන් ඉල්ලුවා. එදිනම උදෑසන ඩයනා බෙලෙමි සහ කරන් ස්කොට් යන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අපේ නිවසට පැමිණියා. ඒ දෙන්නා හරිම කරුණාවන්ත අවංක අයයි. ඔවුන් බයිබලයේ ඇති පණිවිඩය ඉතා උනන්දුවෙන් අපිට පැවසුවා. මම එයට හොඳින් සවන් දී බයිබලයක් සහ පොතක් * ඔවුන්ගෙන් ලබාගත්තා. එම සතියේම ඩයනා ඇගේ ස්වාමිපුරුෂයා වන ඩැරල් සමඟ නැවත අපිව හමුවීමට පැමිණෙන බවටද පොරොන්දු වුණා.

ඔවුන් නිවසින් පිට වුණාට පස්සේ තමයි මම තේරුම්ගත්තේ ඔවුන්ගේ පැමිණීම මගේ යාච්ඤාවට ලැබුණු පිළිතුරක් බව. මම මගේ බිරිඳට මේ ගැන කියන්න ඇය එනකල් ඉස්පාසුවක් නැතුවයි හිටියේ. මම සිදු වූ දේ ඇයට පැවසු විට මට දැනගන්න ලැබුණේ ඇයත් පෙර දින රාත්‍රියේදී හරි ආගම සොයාගන්න උපකාර කරන්න කියා දෙවිට යාච්ඤා කර තිබුණු බවයි. ඒ සතියේම සිකුරාදා අපි අපේ පළමුවන බයිබල් පාඩම කළා. කිරන් සහ ඩයනා අපේ නිවසට පැමිණියේ ඔවුන් සේවය කළ ප්‍රදේශයේ නිවෙස් සොයාගැනීමට නොහැකි වූ නිසා බව අපි දැනගත්තේ පසුවයි.

මගේ ප්‍රශ්නවලට පිළිතුරු

අපි බයිබලය ඉගෙනගන්න පටන්ගනිද්දී අපේ පවුලේ අයට සහ මිත්‍රයන්ට අපව ප්‍රෙහේලිකාවක් වුණා. ඒ නිසා අපි ගැන හොඳ හැඟීමක් ඔවුන්ට තිබුණේ නැහැ. අපි අපේ ජීවිතයේ නිකරුණේ නාස්ති කරන බවටත් අපේ හැකියාවන් අපි උපරිමයෙන් භාවිත නොකරන බවටත් ඔවුන් අපට චෝදනා කළා. කෙසේවෙතත් අපි අලුතින් හඳුනාගත් අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිට පිටු නොපාන්න අපි තීරණය කළා. ඒ නිසා අපිට බෙහෙවින් වටිනා දේවල් ලැබී තිබෙනවා. එනම් මිල කළ නොහැකි අනගි සත්‍යයන් සහ බයිබලයේ සඳහන් ගැඹුරු කාරණා පවා අපට දැනගැනීමට හැකි වී තිබෙනවා. (මතෙව් 13:52) වර්ෂ 1985 දෙසැම්බර් මාසයේ රෝස් සහ මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෙස බව්තීස්ම වුණා. දැන් අපේ නෑදෑයන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ගරු කරන අතර දෙවිට කැපවීමෙන් පසුව අපේ ජීවිතවල වෙනස ඔවුන් දකිනවා.

මම මෙතෙක් කල් සොයන්න වෑයම් කළ ප්‍රශ්නවලට මට පිළිතුරු ලැබුණා. බයිබලයේ වැදගත් ප්‍රශ්නවලට සරලව හා තර්කානුකූලව පිළිතුරු දී තිබෙනවා. ජීවිතයේ අරමුණ කුමක්ද? අපි මිය යන්නේ ඇයි? යන ප්‍රශ්නවලට මට පිළිතුරු ලැබුණා. ඒ වගේම දෙවිගේ පොරොන්දු ඉටු වන කාලයේදී අපිට අපේ දුව කේල නැවත දැකගැනීමට හැකි බවත් ඇයට යහපත් පරිසරයක් තුළ හැදී වැඩීමට හැකි වන බවත් දැනගැනීමෙන් අපි මහත් ප්‍රීතියක් ලැබුවා. (යොහන් 5:28, 29; එළිදරව් 21:4) ඒ වගේම අපි අපේ ශරීර පවිත්‍රව තබාගත යුතු බවත් අපේ ජීවිතය අගය කළ යුතු බවත් තරඟ වැදීම නුසුදුසු බවත් මම තේරුම්ගත්තා. (ගලාති 5:26) මම ආස කළ ක්‍රීඩාව අතහැරීම මට පහසු දෙයක් වුණේ නැහැ. නමුත් එසේ කිරීමෙන් දෙවි සතුටු වන නිසා මම එය අත්හැරියා.

බයිබලයේ සඳහන් නිවැරදි දැනුම ලබාගැනීම නිසා අපට මිථ්‍යා විශ්වාස බොහෝමයකින් නිදහස් වීමට හැකි වී තිබෙනවා. උදාහරණයකට බස්සෙක් ගෙවත්තට පැමිණෙනවා නම් හෝ බල්ලෙක් උඩුබුරනවා නම් ඒ පවුලේ කෙනෙක් මිය යන බවට ගෝත්‍රිකයන් අතර විශ්වාසයක් තිබෙනවා. අපට නොපෙනෙන දුෂ්ට බලවේගවලට අපට හානි පමුණුවන්න නොහැකි බව අපි දැන් දන්නවා. (ගීතාවලිය 56:4; යොහන් 8:32) ඒ වගේම අපි දැන් දෙවිගේ පුදුමාකාර නිර්මාණයන් අගය කරන්න පෙළඹී තිබෙනවා. අපිට දැන් විවිධ ජාතීන්වලට අයත් බොහෝ මිත්‍රයන් සිටිනවා. අපි ඔවුන්ව සහෝදරයා සහ සහෝදරිය කියා හඳුන්වන අතර ඔවුන්ද අපව දෙවිගේ සේවකයන් හැටියට පිළිගන්නවා. (ක්‍රියා 10:34, 35) බොහෝ දෙනෙක් බයිබලයේ සඳහන් සත්‍යයන් ගෝත්‍රිකයන්ට බලපෑමෙන් යුක්තව කියා දීම සඳහා අපේ සංස්කෘතිය, විශ්වාසයන් හා අපේ භාෂාව ඉගෙනගැනීමට මහත් වෑයමක් දරනවා.

අපි ජීවත් වන්නේ ඇල්බර්ටා නගරයේ දකුණු ප්‍රදේශයේයි. අපිට එහි කුඩා ගොවිපළක් තිබෙනවා. අපේ පාරම්පරික කෑමවලට, සංගීතයට සහ නැටුම්වලට අපි තාමත් ප්‍රිය කරනවා. සමහර පාරම්පරික නැටුම්වලට අපි සහභාගි වන්නේ නැහැ. ඒවා සුදුසු නම් පමණක් අපි ඒවා නැරඹීමට යනවා. මගේ දරුවන්ට අපේ පාරම්පරික උරුමයන් ගැන වගේම සමහර ගෝත්‍රික භාෂාවන්ද ඉගැන්වීමට මම උත්සාහ කරනවා. බොහෝ ගෝත්‍රික ජනතාව තුළ කරුණාව, යටහත් පහත්කම, පවුලේ අයට හා මිතුරන්ට ප්‍රේමය පෙන්වීම වැනි යහපත් ගුණාංග තිබෙනවා. ඔවුන් අන් අයට සත්කාර කරන, ගරු කරන අය හැටියට ප්‍රසිද්ධයි. වෙනත් පසුබිමකින් පැමිණි අයට පවා ඔවුන් එසේ සලකනවා.

අපි යෙහෝවා දෙවි ගැන දැන් අනික් අයටත් උගන්වන නිසා අපේ සන්තෝෂය තවත් වැඩියි. මගේ පුතා ජෙරඩ් ටොරොන්ටෝ නගරය ආසන්නයේ පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ ස්වෙච්ඡා සේවකයෙක් ලෙස සේවය කරනවා. මම දැන් දෙවිට පුර්ණ කාලීනව සේවය කරන අතර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මක්ලවුඩ් සභාවේ අවේක්ෂකයෙක් ලෙසත් සේවය කරනවා. ඒ වගේම රෝස් සහ කාර්මාද දෙවිට පූර්ණ කාලීනව සේවය කරනවා. අපේම භාෂාවෙන් බයිබලයේ සඳහන් සත්‍යයන් අන් අයට කියන්න ලැබීම මට ලොකු සතුටක්. නිර්මාතෘ වන යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් දැනගැනීමට මිනිසුන් දක්වන උනන්දුව අපේ ප්‍රීතිය තවත් වැඩි කරනවා.

බයිබලයේ යෙහෝවා දෙවි ගැන කියන්නේ මෙසේයි. “ඔබ නිතරම ඔහුගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔහු ඔබට උපකාර කරන බව නිසැකයි.” (1 ලේකම් 28:9, නව ලොව පරිවර්තනය, NW) මටත් මගේ පවුලේ අයටත් සත්‍ය සෙවීමට උපකාර කිරීම ගැන මම යෙහෝවා දෙවිට අවංකවම ස්තුතිවන්ත වෙනවා.

[පාදසටහන්වල]

^ 22 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. දැන් මුද්‍රණය නොකෙරේ.

^ 27 ඡේ. එම පොත Survival Into a New Earth, (සිංහලෙන් නැත) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. දැන් මුද්‍රණය නොකෙරේ.

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘මේ සෑම දෙයක්ම නිර්මාණය කළ දෙවි කෙනෙක් ඉන්නවා නම් ඔහු කොහේද ඉන්නේ? මිනිස්සු මැරෙන්නේ ඇයි?’

[16වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘බොහෝ ගෝත්‍රික ජනතාව තුළ කරුණාව, යටහත් පහත්කම වැනි යහපත් ගුණාංග තිබෙනවා’

[12වන පිටුවේ පින්තූරය]

ගෝත්‍රික සිරිත් විරිත් කියා දුන් මගේ ආච්චි

[15වන පිටුවේ පින්තූරය]

මෙල්ල කරන්න බැරි කුළු හරකුන්ගේ පිටේ යෑමේ ක්‍රීඩාවේ නියැලෙමින්

[15වන පිටුවේ පින්තූරය]

ගෝත්‍රික භාෂාවෙන් සහ වෙනත් භාෂාවලින් ලබාගත හැකි විශේෂ පත්‍රිකාව

[15වන පිටුවේ පින්තූරය]

බයිබලයේ සඳහන් සත්‍යයන් අන් අයට පැවසීමෙන් මම මහත් සතුටක් ලබනවා

[15වන පිටුවේ පින්තූරය]

මගේ පවුලේ අය සමඟ