Skip to content

පටුනට යන්න

වහල් සේවයට නිමාවක්

වහල් සේවයට නිමාවක්

වහල් සේවයට නිමාවක්

ෆීජි දූපතේ පිබිදෙව්! ලේඛක විසින්

ෆීජි දුපතේ වැසියන් තම දිවයිනට නැව් දෙකක් පැමිණෙන බව දුර තියා දකිද්දී ඔවුන්ට ඇති වුණේ මහත් සන්තෝෂයක්. මන්ද අවුරුදු ගණනාවකට කලින් මුහුදුබත් වූ නැවකින් ජීවිතය බේරාගත් කෙනෙක් ඔවුන්ගේ දිවයිනට පැමිණ ඔහුගේ බයිබලයෙන් ගැලවී තිබූ පිටු කිහිපයක් එම දිවයිනේ පවුල්වලට ලබා දී තිබුණා. එහි වැසියන් ඔවුන්ට ලැබුණු බයිබලයේ පිටු ඉතා උද්‍යෝගයෙන් කියෙවූ අතර ඔවුන්ට ක්‍රිස්තියානී ආගම කියා දීමට කවුරුන් හෝ පැමිණේවි කියා එදා සිට බලා සිටියා.

එම නැව් දෙකෙන් පැමිණි නාවිකයන් කිහිපදෙනෙක් දෙවි ගැන තවත් දැනගැනීමට හැකි ස්ථානයකට ඔවුන්ව ගෙන යන බවට පොරොන්දු වුණා. ඔවුන්ව විශ්වාස කළ ස්ත්‍රීන් හා පුරුෂයන් 250දෙනෙක් පමණ තමන්ට ලැබුණු බයිබලයේ පිටු අතැතිව දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙන නැව් නැග්ගා.

මේ අහිංසක මිනිසුන් කපටි නාවිකයන්ගේ ගොදුරු බවට පත් වුණා. නැව් නැග වැඩි වේලාවක් ගතවෙන්න කලින් ඔවුන්ව බැඳ නැවේ පහළ තට්ටුවට තල්ලු කර දැමුවා. ඔවුන්ගේ දිගු ගමන නිමා වූයේ දකුණු ඇමරිකාවේ කැල්ලාඔ වරායෙනුයි. මෙම ගමනේදී ඔවුන්ට හොඳ සනීපාරක්ෂක ක්‍රම නොතිබුණු නිසා බොහෝදෙනෙක් මිය ගියා. එමෙන්ම අතවරවලට ලක් වූ අයද එමටයි. එම පීඩා කරදර මැද දකුණු ඇමරිකාවට පැමිණි අය වතුවල, පතල්වල සහ නිවෙස්වල වැඩ කිරීම සඳහා වහලුන් හැටියට විකුණනු ලැබුවා. මේ අයට නැවත කවදාවත් තම මව් බිමට යන්න ලැබුණේ නැහැ.

වහල් සේවය පටන්ගත් ආකාරය

දකුණු පැසිෆික් සාගරයේ කුඩා දූපත්වල සිටි ජනයාව 19වන සහ 20වන සියවසේ මුල් භාගයේදී වහල් සේවයට ගෙන යනු ලැබුවා. මේ හේතුවෙන් 1860 මුල් භාගය වන විට දකුණු ඇමරිකාව දහස් ගණන් වහලුන්ගෙන් පිරුණා. නමුත් ඊළඟ දශකය වන විට බොහෝ වහලුන්ව ඕස්ට්‍රේලියාවට ගෙන යෑමට පටන්ගත්තා. වර්ෂ 1867 බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ සේවය කළ රොස් ලූඑන් නම් නිලධාරියෙක් උක් හා කපු වගා කිරීමට ‘ඉතා දක්ෂ අයව දූපත්වලින් ගෙන්වා දිය හැකි බවත් වහලෙක් සඳහා පවුම් හතක් ගෙවිය යුතු’ බවත් දැන්වුවා.

ඕස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබුණද ඕස්ට්‍රේලියාවට තමන්ගේම කියා රජයක් තිබුණු නිසා යම් යම් නීති පද්ධති අනුව ක්‍රියා කිරීමේ හැකියාව ඔවුන්ට තිබුණා. මේ නිසා බ්‍රිතාන්‍ය රජය වහලුන් ගෙන ඒම නතර කිරීමට වෑයම් කළත් ඉන් පලක් වූයේ නැහැ. ඒ වගේම වහල් සේවය ගැන එතරම් පුළුල් විස්තර බ්‍රිතාන්‍ය නීතියේ ඇතුළත් වුණේද නැහැ. මේ නිසා උසාවියේදී දූපත්වාසීන්ව වහලුන් ලෙස නොව රැකියා සඳහා රැගෙන එන බවටත් ඔවුන්ට ගෙවීමක් කරන බවටත් නැවතත් ඔවුන්ව මව් බිමට යවන බවටත් වංචනික ලෙස ඔවුන්ව රැගෙන එන අය තර්ක කළා. තවත් සමහරුන් කියා සිටියේ ම්ලේඡ දූපත්වාසීන්ට බ්‍රිතාන්‍ය නීතියට යටත් වී සේවය කිරීමට ඉගැන්වීමෙන් ඔවුන්ට යහපතක් කරන බවයි. මෙවැනි තර්ක විතර්ක නිසා දූපත්වාසීන්ව වහලුන් ලෙස ගෙන ඒම කාලයක් පුරා කෙරීගෙන ගියා.

තත්වය වෙනස් වෙයි

කරුණු කාරණා දෙස සාධාරණව බලන අය වහල් සේවය හෙළාදැකීමට පටන්ගත් විට තත්වය වෙනස් වුණා. සමහර දූපත්වාසීන් වෙනත් රටක සේවය කිරීම සඳහා කැමැත්තෙන්ම පැමිණීම අනුමත කළද එවැනි අයව බලෙන් ගෙන ඒම සම්පූර්ණයෙන්ම හෙළාදැක්කා. එමෙන්ම ඔවුන්ට තළා පෙළා වැඩ ගැනීම හා කිසිම පහසුකමක් නැතුව දුක්ඛිත ජීවිතයක් ගත කිරීමට සැලැස්වීමද අනුමත කළේ නැහැ.

වහල් සේවය හෙළාදැක ඒ වෙනුවෙන් කතා කළ කෙනෙක් වන්නේ ඇන්ග්ලිකන් බිෂොප්වරයෙක් වන ජේ. සී. පැටසන්. ඔහු අභාග්‍යසම්පන්න සිදුවීමකට මුහුණ දුන්නා. එම බිෂොප්වරයා දූපත්වාසීන්ව හමු වීමට පැමිණෙන්න පෙර එම දූපතට මිනිසුන්ව වහලුන් ලෙස ගෙන යන අය පැමිණියා. ඔවුන් පැටසන් බිෂොප්වරයාට සමාන කෙනෙක්ව නැවෙහි තබා ඔහුව හමු වීමට කැමති නම් නැවට ඇතුල් වෙන්න කියා දූපත්වාසීන්ට ආරාධනා කළා. එසේ නැවට ඇතුල් වූ අයව නැවත කිසිදාක දැකගන්න ලැබුණේ නැහැ. පසුව සැබෑ පැටසන් බිෂොප්වරයා එහි පැමිණි විට වරදවා වටහාගැනීම නිසා උරණ වී සිටි මිනිසුන් ඔහුව මරා දැමුවා. මෙය විශාල ආන්දෝලනයක් ඇති කළා. මේ නිසා බ්‍රිතාන්‍ය හා ප්‍රංශ නාවික හමුදා විසින් පැසිෆික් සාගරයේ තැනින් තැන නැව් යොදා රැකවල් කළා.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හා ක්වීන්ස්ලන්තය යන ප්‍රාන්ත දෙක බ්‍රිතාන්‍ය රජය සමඟ එකතු වී වහල් සේවය සහ වෙනත් දූෂිත ක්‍රියා නතර කිරීමට නව නීති සම්පාදනය කළා. මේ අනුව ඔවුන් රැකියා සඳහා මිනිසුන්ව පිටරටවලට රැගෙන යන නැව් ගැන සොයා බැලීම සඳහා නිලධාරීන්ව පත් කළා. එමගින් වංචනික ලෙස මිනිසුන්ව රැගෙන යන අයව කොටු කරගැනීම පහසු වුණා. නමුත් දූපත්වාසීන්ව වහලුන් ලෙස ගෙන යන බවට කළ චෝදනාවෙන් පලක් නොවුවද දූපත්වාසීන්ව පැහැරගෙන යෑම හා මරා දැමීම යන චෝදනා මත ඔවුන් වරදකරුවන් බවට පත් වුණා. මේ නිසා 19වන සියවසේ අවසාන භාගයේදී තත්වය බෙහෙවින් වෙනස් වුණා. දූපත්වාසීන්ව වහලුන් ලෙස ගෙන යෑම බොහෝදුරට අඩු වුණා. නමුත් 20වන ශතවර්ෂයේ මුලදී රැකියා සඳහා බොහෝ දූපත්වාසීන් කැමැත්තෙන්ම ඕස්ට්‍රේලියාවට පැමිණියා.

කෙසේවෙතත් 1901දී ඕස්ට්‍රේලියාවේ නව රජය පිහිටුවීමෙන් පසු එම රටට ඇතුල් වන සෑම කෙනෙක් ගැනම විමසිලිමත් වීමට පටන්ගත්තේ එහි ජනයාගේ අදහස්වලට ගරු කිරීමක් වශයෙනුයි කියා කිව හැකියි. පිටරටවලින් මිනිසුන් රැකියාවලට පැමිණෙන නිසා එම රටේ ජනයාට රැකියා නැති වෙයි යන බිය තිබුණා. මේ නිසා රැකියාවලට හෝ වෙනත් හේතු මත වුවද කිසිම දූපත්වාසියෙක් එහි පැමිණීම නතර කළා. එපමණක්ද නොව දහස් සංඛ්‍යාත දූපත්වාසීන්ව රටින් පිටමං කළා. මේ වන විට සමහර දූපත්වාසීන් එහි ස්ථිරව පදිංචි වී සිටි නිසා ඔවුන්ට තමන්ගේ ප්‍රේමණීයන්ව හැර යෑම මහත් දුකක් වුණා.

අගය කිරීම

වර්ෂ 2000 සැප්තැම්බර් මාසයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රජය වහලුන් ලෙස පැමිණි දූපත්වාසීන් කළ සේවය අගය කරමින් සියල්ලන්ට පෙනෙන පරිදි පුවරුවක් ප්‍රදර්ශනය කළා. එහි ක්වීස්ලන්තයේ ආර්ථිකය, සංස්කෘතිය හා සංවර්ධනය සඳහා දූපත්වාසීන් කළ මෙහෙවර අගය කර තිබෙනවා. ඒ වගේම වහලුන් හැටියට ඔවුන්ට විඳින්න සිදු වූ දුක් ගැහැට ගැන රජයේ ශෝකය ප්‍රකාශ කරන බවද එහි සඳහන් වෙනවා.

ඉතිහාසය පුරාම අපට අහන්න දකින්න ලැබී තිබෙන්නේ තමන්ගේ යහපත වෙනුවෙන් අන් අයගේ ජීවිත හා නිදහස නැති කර තිබෙන ආකාර ගැනයි. නමුත් දෙවිගේ පාලනය යටතේදී කිසිම කෙනෙකුට එවැනි අසාධාරණයක් සිදු නොවන බවට බයිබලයේ පොරොන්දු වෙනවා. දේවපාලනය යටතේ ජීවත් වන අය ‘තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුවසේ කල් ගෙවනු ඇත. කිසිවෙකු ඔවුන්ව බියගන්වන්නේද නැත.’—මීකා 4:4, නව ලොව පරිවර්තනය.

[24, 25වන පිටුවල රූප සටහන⁄සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ඕස්ට්‍රේලියාවට හා දකුණු ඇමරිකාවට වහලුන්ව රැගෙන ගිය ගමන් මාර්ගය

පැසිෆික් සාගරය

මයික්‍රෝනීසියා

මාෂල් දූපත්

නිව් ගිනියාව

සොලොමන් දූපත්

ටුවාලු

ඕස්ට්‍රේලියාව කිරිබාති

ක්වීන්ස්ලන්තය වානුආටු

නිව් සවුත් වේල්ස් නව කැලිඩෝනියාව දකුණු ඇමරිකාව

සිඩ්නි ← ෆීජි → කැල්ලාඔ

සමෝවා

ටොංගා

කුක් දූපත්

ප්‍රංශ පොලිනීසියාව

ඊස්ටර් දූපත්

[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

National Library of Australia, nla.pic-an11279871