Skip to content

පටුනට යන්න

ටිම්ගෑඩ් - වැලිකතරේ සැඟවුණු නගරයක්

ටිම්ගෑඩ් - වැලිකතරේ සැඟවුණු නගරයක්

ඇල්ජීරියාවේ වැලිකතරේ කැණීම් කරපු ගවේෂකයෙක්ට ඔහුගේ ඇස් අදහාගන්න බැරි වුණා. ඔහුට දකින්න ලැබුණේ රෝමවරුන්ගේ ජයග්‍රහණය සනිටුහන් කරපු ආරුක්කුවක්. ස්කොට්ලන්ත ජාතික ජේම්ස් බෲස් 1765දී ඒක හොයාගනිද්දී තමන් මේ හිටගෙන ඉන්නේ උතුරු අප්‍රිකාවේ රෝමවරුන් ඉදි කරපු විශාලම නගරයක කියලා ඔහු කොහොමටවත් හිතුවේ නැහැ. කලින් ඒ නගරයට කිව්වේ තැමගේඩි කියලයි.

1881දී, ප්‍රංශ ජාතික පුරාවිද්‍යාඥයන් ටිම්ගෑඩ්වල වැලිකතරේ සැඟවී තිබුණු නටබුන් ගොඩගත්තා. ඔවුන්ගේ නිගමනය වුණේ අවට ප්‍රදේශ දුෂ්කර වුණත් ඒ නගරයේ ජීවත් වුණ අය සැප පහසු ජීවිතයක් ගත කරන්න ඇති කියලයි. රෝමවරුන් ඒ වගේ තැනකට ඇවිත් සමෘද්ධිමත් ජනාවාසයක් පිහිටෙව්වේ ඇයි? ඒ පැරණි නගරයෙනුත් එහේ ජීවත් වෙලා හිටිය මිනිසුන්ගෙනුත් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

දේශපාලනික යටි අරමුණක්

රෝමවරුන් ක්‍රිස්තු පූර්ව 1වෙනි සියවසේ, උතුරු අප්‍රිකාවේ සමහර ප්‍රදේශ යටත් කරගනිද්දී අප්‍රිකාවේ ගෝත්‍රික වැසියන්ගෙන් දැඩි විරෝධතා එල්ල වුණා. රෝමවරුන් ඔවුන්ව නම්මගත්තේ කොහොමද? මුලින්ම, 3වෙනි ඔගස්ටස් බළඇණියේ සෙබළුන් ඒ කඳුයායේ ආරක්ෂිත කඳවුරු සහ මුරටැඹවල් ඉදි කළා. ඒත් ඔවුන් ටිම්ගෑඩ් නගරය ඉදි කළේ වෙනත් අරමුණක් ඇතුවයි.

රෝමවරුන් ටිම්ගෑඩ් නගරය ඉදි කළේ ඔවුන්ගේ හමුදාවෙන් විශ්‍රාම ගිය අයටයි. හැබැයි ඔවුන්ගේ යටි අරමුණ වුණේ ගෝත්‍රික වැසියන්ව නම්මගන්නයි. ටිම්ගෑඩ් නගරයට බඩු විකුණන්න ආව අවට ප්‍රදේශයේ ජනයාගේ හිත් ඒ නගරයේ සැප පහසු ජීවන රටාවට ඇදිලා ගිය නිසා ඔවුන්ගේ සැලසුම් සාර්ථක වුණා. ටිම්ගෑඩ්වල ජීවත් වෙන්න අවසර තිබුණේ රෝම පුරවැසියන්ට විතරයි. අප්‍රිකාවේ ගෝත්‍රිකයන්ගෙන් හුඟදෙනෙක්ට ආස හිතුණා රෝම පුරවැසියන් වෙන්න. ඒ නිසා රෝම හමුදාවට බැඳිලා අවුරුදු 25ක් සේවය කරන්න ඔවුන් එකඟ වුණා. ඒ අය එහෙම කළේ තමන්ටත් තමන්ගේ පුතාලටත් රෝම පුරවැසිභාවය ලබාගැනීමේ අරමුණින්.

ඒකෙන් විතරක් සෑහීමට පත් නොවුණ අප්‍රිකානු ජනයා ටිම්ගෑඩ් නගරයෙත් ඒ අවට තිබුණු ජනාවාස නගරවලත් උසස් තනතුරු ලබාගන්න ආස වුණා. රෝමවරුන්ගේ කූට උපක්‍රමය කොච්චර සාර්ථක වුණාද කියනවා නම් ටිම්ගෑඩ් නගරය ඉදි කරලා අවුරුදු 50ක් යන්නත් කලින් ඒ නගරයේ වැඩිපුරම ජීවත් වුණේ උතුරු අප්‍රිකානු ජනයා.

රෝමවරුන් මිනිසුන්ව නම්මගත්තේ කොහොමද?

විශාල කුළුණු තිබුණු වෙළඳපොළක්

රෝමවරුන් ඒ මුල් පදිංචිකරුවන්ව එච්චර ඉක්මනට නම්මගත්තේ කොහොමද? රෝමයේ හිටපු නායකයෙක් වන සිසෙරෝ, පුරවැසියන් හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙනවා කියලා උගන්වපු ප්‍රතිපත්තිය ඒ නගරෙත් ක්‍රියාත්මක කළා. රෝම හමුදාවෙන් විශ්‍රාම ගිය අයටයි රෝම පුරවැසිභාවය ලබාගත්ත අප්‍රිකානුවන්ටයි වර්ග මීටර් 20 බිම් කැබලි සමානව වෙන් කරලා දුන්නා. ඒවා වෙන් වෙලා තිබුණේ කුඩා පාරවල්වලින්. ඒ විදිහට පිළිවෙළකට එක සමානව හැම දේම බෙදලා දුන්න එක ගැන අප්‍රිකානුවන් සතුටු වෙන්න ඇති.

රෝමයේ හුඟක් නගරවල වගේ ටිම්ගෑඩ් නගරයේ පුරවැසියන්ටත් අලුත්ම පුවත් දැනගන්න හැකිකම තිබුණා. වෙළඳ කටයුතු වැඩිපුර සිද්ධ වුණ දවස්වලදී නගරයේ සෙනඟ ගැවසුණ නිසා ඔවුන්ට ඒ තොරතුරු දැනගන්න ලැබුණා විතරක් නෙමෙයි ක්‍රීඩාවල යෙදෙන්නත් අවස්ථාව ලැබුණා. නිසරු කඳුකරයේ ජීවත් වුණ අය මෙහෙම සිහින මවන්න ඇති. තද අව්ව තියෙන දවසක සෙවණ ගෙන දෙන විශාල කුළුණු අතරින් ගමන් කරන්න තියෙනවා නම්! පොදු නාන තටාකයක සුව පහසුවේ හිතේ හැටියට නාන්න තියෙනවා නම්! නගරයේ ඉදි කරලා තිබුණ වතුර මල්වලින් ගලා හැළෙන වතුර දිහා බලාගෙන ඉන්න පුළුවන් නම්! ඒ වගේම යාළුවෝ එක්ක වාඩි වෙලා කතා කරකර ඉන්න තියෙනවා නම් කියලත් හිතන්න ඇති. නගරයේ තිබුණ හැම දෙයක්ම ඔවුන්ට සිහින ලෝකයක් වෙන්න ඇති.

මියගිය කෙනෙක් වෙනුවෙන් හදපු, දෙවිවරුන්ගේ රූප කොටලා තිබුණ ස්මාරකයක්

එළිමහන් රංග භූමිය මගිනුත් මිනිසුන්ව ආකර්ෂණය කරගත්තා. ආසන 3,500කට වඩා තිබුණ ඒ රංග භූමියට ටිම්ගෑඩ් සහ අවට නගරවල නොහික්මුණු ජනයා එක්රැස් වුණා. නළු නිළියන් රෝමයේ ප්‍රසිද්ධ වෙලා තිබුණ දුරාචාරය හා ප්‍රචණ්ඩත්වය පිළිබිඹු කරන රංගනවල යෙදුණා.

රෝමයේ තිබුණ මිථ්‍යා විශ්වාසයන්වලිනුත් මිනිසුන්ව නම්මවාගත්තා. බලන බලන හැම තැනම දකින්න තිබුණේ රෝම දෙවිවරුන්ගේ සිතුවම්. ඒවා පොදු නාන තටාක වටේ තියෙන බිම්වලත්, බිත්තිවලත් විචිත්‍රවත්ව දක්වලා තිබුණා. මිනිසුන් නිතරම නාන්න එනකොට ඒවා නිතර නෙත ගැටුණ නිසා ජනයා ටිකෙන් ටික රෝමවරුන්ගේ විශ්වාසයන්ට හුරු වුණා. අප්‍රිකානුවන්ව රෝම සංස්කෘතියට ඇදගන්න දැරුව වෑයම කොච්චර සාර්ථක වුණාද කියනවා නම් මියගිය අය වෙනුවෙන් සෑදූ ස්මාරකවල ගෝත්‍රිකයන්ගේ හා රෝමවරුන්ගේ දෙවිවරුන්ගේ රූප කොටලා තිබුණා.

අලංකාර නගරය මතකයෙන් ගිලිහී යයි

ට්රේජන් අධිරාජ්‍යයා ක්‍රි.ව. 100දී ටිම්ගෑඩ් නගරය ඉදි කළාට පස්සේ රෝමවරුන් උතුරු අප්‍රිකාව පුරා ධාන්‍ය වර්ග වගා කරන්නත් ඔලිව් තෙල් හා වයින් නිෂ්පාදනය කරන්නත් එහි ජනයාට දිරිගැන්නුවා. වැඩි කල් නොගොස් මේ ප්‍රදේශය රෝම අධිරාජ්‍යයට අත්‍යවශ්‍ය වෙළඳ භාණ්ඩ සපයන තැනක් වුණා. රෝම පාලනය යටතේ තිබුණ අනිත් නගර වගේම ටිම්ගෑඩ් නගරයත් දියුණු නගරයක් වුණා. කාලයක් යද්දී එහි ජනගහනය වැඩි වුණ නිසා නගරයේ මායිම් පුළුල් වුණා.

රෝමය එක්ක කරගෙන ගිය වෙළඳ කටයුතු නිසා ටිම්ගෑඩ් නගරයේ ජනයා හා ඉඩම් හිමිකරුවන් දියුණු වුණත් ගොවියන්ට නම් කිසිම වාසියක් වුණේ නැහැ. අසාධාරණය සහ දරාගන්න බැරි බදු මිල නිසා ක්‍රි.ව. 3වෙනි සියවසේදී සුළු ගොවියන් රෝම පාලකයන්ට විරුද්ධව කැරලිගැහුවා. කතෝලික ආගම වැලඳගෙන හිටිය ඔවුන්ගෙන් සමහරු කතෝලික සභාවේ තිබුණු දූෂිත තත්වයට විරුද්ධව නැඟී සිටි ඩොනටිස්ට් නිකායට බැඳුණා.—“ ඩොනටිස්ට් නිකාය ‘පවිත්‍ර සභාවක්ද?’” කියන කොටුව බලන්න.

ආගමික ගැටුම්, සිවිල් යුද්ධ සහ ගෝත්‍රිකයන්ගේ ආක්‍රමණය සියවස් ගණනාවක් පුරා තිබුණාට පස්සේ උතුරු අප්‍රිකාවේ පැවතුණු රෝම පාලනය බිඳ වැටුණා. ක්‍රිස්තු වර්ෂ 6වෙනි සියවස වෙද්දී අවට හිටපු අරාබි ගෝත්‍රිකයන් ටිම්ගෑඩ් නගරය මුළුමනින්ම ගිනිබත් කරලා දැම්මා. කාලයත් එක්කම ඒ නගරය මිනිසුන්ගේ මතකයෙන් ගිලිහී ගියා.

“නියම ජීවිතේ!”

කැටයමක ලතින් අකුරින් “දඩයම් කරලා, නාලා, සෙල්ලම් කරලා, හිනා වෙලා ඉන්න පුළුවන් මේක තමයි නියම ජීවිතේ!” කියලා කොටලා තිබුණා

ටිම්ගෑඩ් නගරයේ කැණීම් කරපු පුරාවිද්‍යාඥයන්ට ලතින් අකුරින් කැටයම් කරලා තිබුණ දෙයක් දැකලා හිනා ගියා. ඒක හොයාගත්තේ සෙනඟ නිතර ගැවසුණ තැනකින්. “දඩයම් කරලා, නාලා, සෙල්ලම් කරලා, හිනා වෙලා ඉන්න පුළුවන් මේක තමයි නියම ජීවිතේ!” කියලා ඒකේ කොටලා තිබුණා. ප්‍රංශ ඉතිහාසඥයෙක් මෙහෙම කිව්වා. “රෝමවරු අරමුණක් නැති ජීවිතයක් තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඒක නැණවත් ඔවදනක් කියලා සමහරු හිතන්නත් ඇති.”

ඇත්තෙන්ම, රෝමවරුන් කාලයක් පුරා ගත කළේ ඒ වගේ ජීවිතයක් තමයි. මුල් සියවසේ හිටිය බයිබල් ලේඛකයෙක් වුණ පාවුල් ඔවුන් හිතුව විදිහ ගැන සඳහන් කළේ මේ විදිහටයි. “අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු.” රෝමවරුන් ආගම දහමට ළැදි අය වුණත් ජීවිතේ හරය මොකක්ද කියලා හිතනවාට වඩා තාවකාලික සතුට ගැන විතරයි හිතුවේ. ඒ වගේ අයගෙන් ඈත් වෙන්න කියලා පාවුල් ක්‍රිස්තියානීන්ට මේ විදිහට අවවාද කළා. “මුළා නොවන්න. නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි.”—1 කොරින්ති 15:32, 33.

ටිම්ගෑඩ්වල හිටිය අය ජීවත් වුණේ මීට අවුරුදු 1,500කට විතර කලින් වුණත් අදත් මිනිස්සු ජීවිතය ගැන හිතන්නේ ඒ විදිහටයි. අද ඉන්න හුඟදෙනෙක් ජීවත් වෙන්නේ අද ගැන විතරක් හිතලයි. ප්‍රතිඵලය මොකක් වුණත්, ඔවුන් ජීවිතය ගැන හිතන්නේ රෝමවරුන් හිතපු විදිහටමයි. කොහොමවුණත් බයිබලයේ කෙටියෙන්ම කියන්නේ මේ ටිකයි. “මේ ලෝකයේ තිබෙන වාතාවරණය වෙනස් වෙමින් පවතී.” ඒ නිසා අපෙන් ඉල්ලන්නේ ‘මේ ලෝකයේ තිබෙන දේවල් උපරිම ලෙස භුක්ති විඳින්න එපා’ කියලයි.—1 කොරින්ති 7:31.

ප්‍රීතිමත් අර්ථවත් ජීවිතයකට රහස අප්‍රිකාවේ වැලිකතරේ සැඟවී තිබුණ කැටයමේ සඳහන් වෙලා තියෙන දේ නෙමෙයි කියන එකට ටිම්ගෑඩ් නගරයේ නටබුන් හොඳම සාක්ෂියක්. බයිබලයේ කියන විදිහට, නියම සතුට ලැබෙන්නේ මේ දේ කරන අයටයි. “මේ ලෝකයත් එහි පවතින ආශාවනුත් නැති වී යන්නේය. නමුත් සදහටම පවතින්නේ දෙවිගේ කැමැත්ත කරන පුද්ගලයාය.”—1 යොහන් 2:17.