Skip to content

පටුනට යන්න

දේශගුණය තවත් නරක අතට හැරෙයිද?

දේශගුණය තවත් නරක අතට හැරෙයිද?

 “දේශගුණික වෙනස්කම් දැනටමත් මහා විනාශයක් කරලා ඉවරයි. තව කොච්චර කල් අපිට මේ පොළොවේ ඉන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ.”—The Guardian.

 ගෝලීය උණුසුම එන්න එන්නම වැඩි වෙන හින්දා දේශගුණයත් හොඳටම දරුණු වෙලා. ස්වාභාවික විපත් වැඩි වෙලා තියෙන්නේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට. හුඟක් විද්‍යාඥයන් කියන්නේ ඒකට වග කියන්න ඕනෙ මිනිස්සුමයි කියලා. ගෝලීය උණුසුම නිසා ලෝකෙට වෙලා තියෙන දේවල් කීපයක් බලන්න.

  •   උණුසුම් තාප තරංග, නියං සහ සුළිකුණාටු සිදු වෙන වාර ගණන වැඩි වෙලා විතරක් නෙමෙයි ඒවාවල බලපෑම තව දරුණු වෙලා. ඒ නිසා ජලගැලීම් සහ ළැව් ගිනිත් වැඩියි.

  •   ග්ලැසියර් සහ අයිස් කඳු වේගයෙන් දිය වෙනවා.

  •   මුහුදු මට්ටම බලන් ඉද්දි ඉහළ නඟිනවා.

 දේශගුණික බලපෑම් ලෝකයේ අස්සක් මුල්ලක් නෑර හැම තැනටම බලපානවා. එක පුවත්පතක් රටවල් 193ක සිදු වෙලා තියෙන පරිසර හානිය ගැන සඳහන් කරලා අන්තිමට කිව්වේ “මහා පොළොව ‘මාව බේරගන්න’ කියලා කෑගහනවා” කියලයි. (New York Times) ලෝක සෞඛ්‍ය සංවිධානය දේශගුණික වෙනස්කම් හැඳින්නුවේ “අද මිනිස්සු මුහුණ දෙන දරුණුම සතුරා” විදිහට. ඒ සංවිධානය ඒ නිගමනයට ආවේ දේශගුණික වෙනස්කම් නිසා මිනිස්සු විඳවන හැටිත් ජීවිත හානිත් ගැන හොයලා බැලුවාට පස්සේ.

 අද සිද්ධ වෙන දේවල් ගැන බයිබලයේ කලින්ම කියලා තිබුණාද? පරිසර විනාශය නවත්තන්න දෙවියන් පියවර ගන්නවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්ද? අපේ දරු මුණුපුරන්ගේ අනාගතය රැකගන්න දෙවියන් මොනවාද කරන්නේ? ඒ ප්‍රශ්නවලට උත්තර බයිබලයෙන් දැනගමු. ඒක අපිට උදව් වෙයි යහපත් හෙටක් ගැන බලාපොරොත්තු තියාගන්න.

දේශගුණික වෙනස්කම් බයිබලයේ තියෙන අනාවැකිවලට එකඟද?

 ඔව්. ගෝලීය උණුසුම නිසා ඇති වෙලා තියෙන දේශගුණික වෙනස්කම් බයිබලයේ කියලා තියෙන දේවල්වලට එකඟයි.

 අනාවැකිය: දෙවියන් “පොළොව විනාශ කර දමන අයව විනාශ කර දමනවා.”—එළිදරව් 11:18.

 මිනිස්සු කරන දේවල් නිසා පොළොව විනාශයේ කට ළඟටම එනවා කියලා බයිබලයේ කියලා තිබුණා. මිනිස්සු වෙන කවදාකටත් වඩා අද පොළොව විනාශ කරනවා. ඒකෙන් වෙලා තියෙන්නේ ගෝලීය උණුසුම තවත් වැඩි වෙන එකයි.

 මිනිස්සු මේ පොළොව බේරගනියි කියලා හිතන්න පුළුවන්ද? බැහැ. ඒ අනාවැකියේ කියන දේකින් ඒක තේරුම්ගන්න පුළුවන්. එතන කියනවා දෙවියන් මේ පොළොව බේරගන්න මැදිහත් වෙන්නේ මිනිස්සු පොළොව “විනාශ කර දමන” අවස්ථාවේ, ඒ කියන්නේ විනාශ කරමින් ඉන්න අතරතුරේදී කියලා. දේශගුණික වෙනස්කම් නිසා ඇති වෙන විනාශය වළක්වගන්න සමහර අය ඇත්තටම මහන්සි වුණත් ඒක නවත්තන්න එයාලට බැහැ. දෙවියන්ට මැදිහත් වෙන්න සිද්ධ වෙන්නේ ඒ නිසයි.

 අනාවැකිය: “මිනිස්සු බිහිසුණු දේවල් දකිනවා.”—ලූක් 21:11.

 අපි ජීවත් වෙන මේ කාලේ බිහිසුණු දේවල්, ඒ කියන්නේ භය හිතෙන දේවල් වෙනවා කියලා බයිබලේ කියලා තියෙනවා. දේශගුණික වෙනස්කම් නිසා ලෝකේ හැම තැනම භයානක විපත්ති සිද්ධ වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සමහර මිනිස්සු හැම වෙලේම ඉන්නේ බයෙන් ගැහි ගැහී. එයාලා හිතන්නේ පරිසරයට මොකක් හරි වෙලා කොයි මොහොතේ හරි මුළු ලෝකෙම විනාශ වෙයි කියලා.

 අනාවැකිය: ‘අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි. මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, ද්‍රෝහිකම් කරන, කිසිම දෙයක් ගැන එකඟ නොවන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර අය වනු ඇත.’—2 තිමෝති 3:1-4.

 ඒ අනාවැකියේ කතා කරන්නේ අපේ කාලේ ඉන්න මිනිස්සුන්ගේ ගතිලක්ෂණ ගැන. මේ තරම් දරුණු දේශගුණික වෙනස්කම් වෙන්න ඒ ආත්මාර්ථකාමී මිනිස්සු කරලා තියෙන දේවල් බලපාලා තියෙනවා. පාලකයන් සහ ව්‍යාපාරිකයන් මතු පරම්පරාව ගැන අබ ඇටයක් තරම්වත් හිතන්නේ නැහැ. එයාලා හිතන්නේ එයාලගේ ලාභය, එයාලගේ වාසිය ගැන විතරයි. එයාලා ගෝලීය උණුසුම ගැන එකට එකතු වෙලා සාකච්ඡා කෙරුවාට ඒක නවත්තන්න කරන්න ඕනෙ දේවල් ගැන එකඟ වෙන්නේ නැහැ.

 එයාලා හිතන විදිහ වෙනස් කරගෙන මේ පොළොව අපිට ආරක්ෂා කරලා දෙයිද? ඒකට උත්තරේ ඒ අනාවැකියෙම ඊළඟට කියනවා. එතන කියන්නේ ඒ මිනිස්සු “තව තවත් නරක අතට හැරෙනවා” කියලා. (2 තිමෝති 3:13) ඒකෙන් පේන්නේ එයාලා පොළොව ආරක්ෂා කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බැහැ කියන එකයි.

දෙවියන් පියවර ගන්නවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයි?

 බයිබලයේ කියනවා යෙහෝවා a කියන නමින් හඳුන්වන නිර්මාතෘ දෙවියන් මිනිස්සු ගැනත් සතා සිව්පාවුන් සහ ගහ කොළ ගැනත් කැක්කුමක් තියෙන දෙවි කෙනෙක් කියලා. පරිසර විනාශය නවත්තන්න අනිවාර්යෙන්ම පියවර ගන්නවා කියලා ඔහු පොරොන්දු වෙලා තියෙනවා. දැනට අපි පොරොන්දු තුනක් විතරක් බලමු.

  1.  1. දෙවියන් “පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහායි.”—යෙසායා 45:18.

     දෙවියන් පොළොව හදපු අරමුණ ඉටු කරනවාමයි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. (යෙසායා 55:11) පොළොව විනාශ කරලා ඒක පාළු තැනක් වෙන්න දෙවියන් කිසි කෙනෙක්ට ඉඩ දෙන්නේ නැහැ.

  2.  2. “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය. ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:11, 29.

     මිනිස්සු සාමයෙන් සදහටම ජීවත් වෙනවා කියලා දෙවියන් පොරොන්දු වෙනවා.

  3.  3. “දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කරනු ලබන්නේය.”—හිතෝපදේශ 2:22.

     පොළොව විනාශ කරන අයවත් කිසිම පසුතැවිල්ලක් නැතුව දිගටම දුෂ්ට වැඩ කරන අයවත් පොළොවෙන් අතුගාලා දානවා කියලා දෙවියන් පොරොන්දු වෙනවා.

දෙවියන් ඔහුගේ පොරොන්දු ඉටු කරන්නේ කොහොමද?

 ඒ පොරොන්දු ඉටු කරන්නේ දේවරාජ්‍යය කියලා හඳුන්වන මුළු පොළොවම පාලනය කරන ආණ්ඩුවකින්. (මතෙව් 6:10) ඒක පිහිටුවලා තියෙන්නේ ස්වර්ගයේ. මේ පොළොව ගැනවත් පරිසර පද්ධතිය ගැනවත් පොළොවේ ඉන්න පාලකයන් එක්ක ගිවිසුම් ගහගන්න දේවරාජ්‍යයේ පාලකයාට ඕනෙ වෙන්නේ නැහැ. මොකද ළඟදීම දේවරාජ්‍යය මගින් පොළොවේ තියෙන ආණ්ඩු නැත්තටම නැති කරලා දානවා.—දානියෙල් 2:44.

 දේවරාජ්‍යයෙන් මිනිස්සුන්ට විතරක් නෙමෙයි, හඬා වැලපෙන සොබාදහමටත් හොඳක් වෙනවා! (ගීතාවලිය 96:10-13) යෙහෝවා දෙවියන් ඒ රාජ්‍යය මගින් කරන දේවල් කීපයක් බලමුද?

  •  පරිසරය සුවපත් කරනවා

     බයිබලයේ මෙහෙම කියනවා. “වැලි කතරද වියළි දේශයද සතුටෙන් පිනා යන්නේය. පාළුකරය කෙතේ මලක් මෙන් පිබිදී ප්‍රීතියෙන් ඉපිල යන්නේය.”—යෙසායා 35:1.

     ඒක වෙන්නේ කොහොමද? මහා පොළොව හරියට නපුරු මිනිස්සු එකතු වෙලා හොඳටම ගහලා තුවාල කරපු මිනිහෙක් වගේ. යෙහෝවා දෙවියන් ළඟදීම දුක් විඳින මේ මහා පොළොව සුවපත් කරනවා.

  •   වියරු වැටෙන්න කාලගුණයට ඉඩ දෙන්නේ නැහැ

     බයිබලයේ මෙහෙම කියනවා. “ඔහු [යෙහෝවා දෙවියන්] කුණාටුව නතර කර මුහුද නිශ්චල කරන්නේය.”—ගීතාවලිය 107:29.

     ඒක වෙන්නේ කොහොමද? වතුර, හුළඟ වගේ ස්වාභාවික බලයන් පාලනය කරන්න යෙහෝවා දෙවියන්ට බලය තියෙනවා. ඒ නිසා කාලගුණය වියරු වැටිලා විනාශයක් කරයි කියලා කවුරුත් භය වෙන්න ඕනෙ නැහැ.

  •   පොළොව රැකබලා ගන්න කියලා දෙනවා

     බයිබලයේ මෙහෙම කියනවා. “ඔබ යා යුතු මාර්ගය ගැන මම ඔබට කියා දෙන්නෙමි. වටහාගැනීමේ හැකියාවද මම ඔබට ලබා දෙන්නෙමි.”—ගීතාවලිය 32:8.

     ඒක වෙන්නේ කොහොමද? පොළොව රැකබලා ගන්න වගකීම දෙවියන් භාර දුන්නේ මිනිස්සුන්ට. (උත්පත්ති 1:28; 2:15) පරිසරයට හානියක් වෙන්නේ නැතුව ඒක ආදරෙන් බලාගන්න, ඒකෙ හද ගැස්ම තේරුම්ගන්න දෙවියන් අපිට කියලා දෙයි. පරිසරයත් එක්ක එකට හුස්ම ගන්න එදාට හැමෝටම පුළුවන් වෙනවා.

a යෙහෝවා කියන්නේ දෙවියන්ගේ පෞද්ගලික නමයි. (ගීතාවලිය 83:18) “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.