Skip to content

පටුනට යන්න

අපි දුක් විඳින්නේ දෙවියන් අපිට දඬුවම් කරන නිසාද?

අපි දුක් විඳින්නේ දෙවියන් අපිට දඬුවම් කරන නිසාද?

ලුසියාගේ එක කකුලක් කොරයි. පුංචි කාලේදී එයාට පෝලියෝ හැදුණා. ඒක ස්නායු පද්ධතිය දුර්වල කරන ලෙඩක්. අවුරුදු 16දී ලුසියා කාන්තාවක් යටතේ වැඩ කරනකොට ඒ කෙනා මෙහෙම කියලා තියෙනවා. “ඔයාට පෝලියෝ හැදිලා තියෙන්නේ ඔයා අම්මාට අකීකරු දඩබ්බර ළමයෙක් නිසා. දෙයියෝ ඔයාට දඬුවම් කරලා.” ඒ වෙලාවේ දැනුණු වේදනාව එයාට අදටත් මතකයි.

ඩැමරිස්ට මොළයේ පිළිකාවක් හැදිලා තියෙනවා කියලා දැනගත්තාම එයාගේ තාත්තා මෙහෙම කියලා තියෙනවා. “මෙහෙම දෙයක් වෙන්න ඔයා ලොකු වරදක් කරලා ඇති. ඒකයි දෙවියන් ඔයාට දඬුවම් කරන්නේ.” ඒ වෙලාවේ එයාගේ හිතට ලොකු වේදනාවක් දැනුණා.

ලෙඩ හැදෙන්නේ දෙවියන් දඬුවම් කරන නිසයි කියලා මිනිසුන් හිතන්න පටන්ගත්තේ අද ඊයේ නෙවෙයි. එක පොතක මෙහෙම තියෙනවා. ‘කෙනෙක් ලෙඩ වෙන්නේ එයා හරි පවුලේ අය හරි කරපු පාපයකට දෙවියන් දඬුවම් කරන නිසයි’ කියලා යේසුස් මේ පොළොවේ හිටිය කාලෙත් හුඟක් අය විශ්වාස කළා. (Manners and Customs of Bible Lands) සඟරාවක මෙහෙම කියනවා. “දෙවියන් මිනිසුන්ට දඬුවම් කරන්න වසංගත හැදෙන්න සලස්වනවා” කියලා මධ්‍යතන යුගයේදී මිනිසුන් විශ්වාස කළා. (Medieval Medicine and the Plague) 14වෙනි සියවසේදී යුරෝපයේ මිනිසුන් මිලියන ගාණක් වසංගතයකින් මැරුණේ දෙවියන් එයාලට දඬුවම් කරපු නිසාද? නැත්නම් වෛද්‍යවරුන් හොයාගෙන තියෙන විදිහට බැක්ටීරියා ආසාදනයක් නිසාද? මිනිසුන් ලෙඩ වෙන්නේ දෙවියන් දඬුවම් කරන නිසා කියලා සමහර අයට හිතෙන්න පුළුවන්. *

මේ ගැන හිතන්න. ලෙඩ හැදෙන්නේ දෙවියන්ගෙන් ලැබෙන දඬුවමක් නිසා නම් දෙවියන්ගේ පුතා වුණු යේසුස් ලෙඩුන්ව සුව කළේ ඇයි? එහෙම කරලා ඔහු දෙවියන්ගේ තීන්දුවට පිටින් යයිද? (මතෙව් 4:23, 24) යේසුස් කවදාවත් එහෙම කරන්නේ නැහැ. “මගේ එකම ආශාව ඔහුට ප්‍රසන්න දේවල් කිරීමයි” කියලත් මම කරන්නේ “පියාණන් මට අණ කර ඇති දේවල්” කියලත් ඔහු කිව්වා.—යොහන් 8:29; 14:31.

යෙහෝවා දෙවියන් අතින් ‘කිසිම අසාධාරණයක් සිදු නොවෙයි’ කියලා බයිබලයේ කියනවා. (ද්විතීය කතාව 32:4) උදාහරණෙකට ප්ලේන් එකක ඉන්න එක් කෙනෙක්ට දඬුවම් කරන්න දෙවියන් ඒ ප්ලේන් එක වැටෙන්න සලස්වලා මිනිසුන් සිය ගාණකගේ ජීවිත අහිමි වෙන්න සලස්වන්නේ නැහැ. දෙවියන් ධර්මිෂ්ඨයි කියලා තේරුම්ගත්ත ආබ්‍රහම් මෙහෙම කිව්වා. දෙවියන් කවදාවත් “දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන්ව” නැති කරන්නේ නැහැ, ඒ වගේ දෙයක් ඔහු කරයි කියලා ‘හිතන්නවත් බැහැ.’ (උත්පත්ති 18:23, 25) බයිබලයේ මෙහෙමත් කියනවා. ‘දෙවි කවදා හෝ දුෂ්ට ලෙස ක්‍රියා කරයිද? දෙවි අයුක්තියක් කරයි කියා සිතිය හැකිද?’—යෝබ් 34:10-12.

බයිබලයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

අපි දුක් විඳින්නේ දෙවියන් අපේ පව්වලට දඬුවම් කරන නිසා නෙවෙයි කියලා යේසුස් ගෝලයන්ට පැහැදිලි කළා. දවසක් අන්ධ මිනිසෙක්ව දැක්කාම ගෝලයන් ඔහුගෙන් මෙහෙම ඇහුවා. “මේ මිනිසා අන්ධ වී ඉපදුණේ කවුරු කළ පාපයක් නිසාද? පව් කළේ ඔහුද නැත්නම් ඔහුගේ දෙමාපියන්ද?” යේසුස් මෙහෙම උත්තර දුන්නා. ‘මේ මිනිසාවත් ඔහුගේ දෙමාපියන්වත් පව් කළේ නැහැ. මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ දෙවිට කළ හැකි දේ ඔහු තුළින් දැකගැනීමටයි.’—යොහන් 9:1-3.

ඒ මිනිසා අන්ධ වෙලා තියෙන්නේ එයාවත් දෙමාපියන්වත් කරපු පව් නිසා නෙවෙයි කියලා යේසුස් කිව්වාම ගෝලයන් පුදුම වෙන්න ඇති. එහෙම කිව්වාට පස්සේ යේසුස් ඒ මිනිසාව සුව කළා. ඔහු ඒකෙන් පැහැදිලිවම පෙන්නුවා දුක් වේදනාවන් දෙවියන්ගෙන් ලැබෙන දඬුවමක් නෙවෙයි කියලා. (යොහන් 9:6, 7) ලෙඩ හැදෙන්නේ දෙවියන් දඬුවම් කරන නිසා නෙවෙයි කියලා දැනන් ඉන්න එක බරපතළ අසනීප නිසා දුක් විඳින අයට මොන තරම් සහනයක්ද!

ලෙඩ හැදෙන්නේ දෙවියන්ගෙන් ලැබෙන දඬුවමක් නිසා නම් යේසුස් අසනීප අයව සුව කළේ ඇයි?

බයිබලයේ මෙහෙම කියනවා

  • “නපුරු දේ කරන්න ඔහුව පෙලඹවීමට කාටවත් බැරිය. ඔහුද නපුරු දේ කරන්න කිසි කෙනෙකුව පොලඹවන්නේ නැත.” (යාකොබ් 1:13) සියවස් ගාණක් පුරා මිනිසුන්ගේ දුකට හේතු වෙලා තියෙන අසනීප, වේදනාවන් සහ මරණය වගේ ‘නපුරු දේවල්’ ළඟදීම නැති වෙනවා.

  • යේසුස් ක්‍රිස්තුස් ‘අසනීපව සිටි සියල්ලන්ව සුව කළා.’ (මතෙව් 8:16) තමන් ළඟට ආපු අසනීප හැමෝවම සුව කරපු එකෙන් යේසුස් පෙන්නුවේ අනාගතයේදී ලෝකේ පුරාම ඉන්න අයට දේවරාජ්‍යයෙන් කරන්න යන දෙයක් ගැනයි.

  • “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:3-5.

දුක් වේදනාවලට වග කියන්න ඕනෙ කවුද?

එහෙනම් මිනිසුන් මේ තරම් දුක් වේදනාවන් අද්දකින්නේ ඇයි? මිනිසුන් ඒ ගැන සියවස් ගාණක් තිස්සේ කල්පනා කරනවා. ඒ දේවලට වග කියන්න ඕනෙ දෙවියන් නෙවෙයි නම් ඒවාට වග කියන්න ඕනෙ කවුද? උත්තර ඊළඟ ලිපියෙන් බලමු.

^ 4 ඡේ. අතීතයේදී මිනිසුන් පව් කරද්දී යෙහෝවා දෙවියන් දඬුවම් කරලා තියෙනවා. හැබැයි මේ කාලේදී ඔහු අසනීප, විපත්ති වගේ දේවලින් මිනිසුන්ට දඬුවම් කරනවා කියලා බයිබලයේ කොහේවත් සඳහන් වෙලා නැහැ.