Skip to content

පටුනට යන්න

ළඟදීම දෙවියන් දුක් වේදනාවන් නැති කරනවා

ළඟදීම දෙවියන් දුක් වේදනාවන් නැති කරනවා

‘යෙහෝවා දෙවියනි, තව කොතරම් කාලයක් ඔබෙන් උපකාර ඉල්ලා අඬන්නද? දාමරිකයන්ගෙන් අපව බේරගන්න කියා කොතරම් කාලයක් අයැදින්නද? ඔබ පියවර ගන්නා තුරු කොපමණ කල් බලා සිටින්නද?’ (හබක්කුක් 1:2, 3) දෙවියන්ගේ සේවකයෙක් වුණු හබක්කුක් එහෙම කිව්වේ එයාගේ විශ්වාසය අඩු වෙලා නිසාද? නැහැ. දෙවියන් එයාට සහතික කළා නියමිත කාලයේදී දුක් වේදනාවලට නිමාවක් ගේනවා කියලා.—හබක්කුක් 2:2, 3.

දුක් වේදනාවලට මුහුණ දෙද්දී ඔයාට හිතෙයි මේ හැම දේටම නිමාවක් ගේන්න දෙවියන් මේ තරම් ප්‍රමාද ඇයි කියලා. බයිබලයේ මෙහෙම කියනවා. ‘සමහරුන් සිතන්නේ යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද බවය. නමුත් ඔහු ප්‍රමාද වන්නේ නැත. කිසිවෙකු විනාශ වෙනවාට ඔහු කැමති නැත. ඔහුගේ ආශාව පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමයි. එහෙයින් ඔහු ඔබ ගැන ඉවසන්නේය.’—2 පේතෘස් 3:9.

දෙවියන් ඒ දේ කරන්නේ කවදාද?

යේසුස් කිව්වා “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” හඳුනාගන්න තියෙන ලකුණ යම් නිශ්චිත පරම්පරාවක් දකිනවා කියලා. (මතෙව් 24:3-42) යේසුස් කියපු අනාවැකිය අපේ කාලේ ඉටු වෙන එකෙන් පැහැදිලියි දුක් වේදනාවල නිමාව අත ළඟයි කියලා. *

දුක් වේදනාවලට නිමාවක් ගේන්න දෙවියන්ට මොන තරම් බලයක් තියෙනවාද කියලා යේසුස් පෙන්නුවා. උදාහරණ කීපයක් බලමු.

ස්වාභාවික විපත්: යේසුස් නියෝජිතයන් එක්ක ගලීල මුහුදේ ඔරුවකින් යද්දී බිහිසුණු කුණාටුවක් ආපු නිසා ඒක ගිලෙන්න ගියා. ඒත් යේසුස් ඒ අවස්ථාවේදී පෙන්නුවා ස්වාභාවික විපත් වළක්වන්න තම පියාණන්ට බලය තියෙනවා කියලා. (කොලොස්සි 1:15, 16) ඔහු කිව්වේ “නිශ්ශබ්ද වන්න! නිශ්චල වන්න” කියලා විතරයි. එවෙලේම ‘සැඩ සුළං නතර වී, මහත් නිශ්චලතාවක් ඇති වුණා.’—මාක් 4:35-39.

අසනීප: අන්ධ, කොර අයව සුව කරන්නත් මීමැස්මොරය, ලාදුරු වගේ ඕනෙම ලෙඩක් සුව කරන්නත් යේසුස්ට පුළුවන් කියලා මිනිසුන් දැනගෙන හිටියා. ‘ඔහු අසනීපව සිටි සියල්ලන්ව සුව කළා.’—මතෙව් 4:23, 24; 8:16; 11:2-5.

ආහාර හිඟකම්: පියාණන් දීපු බලය යොදාගෙන යේසුස් කෑම ටිකකින් දහස් ගාණකට කන්න දීපු අවස්ථා 2ක් ගැන බයිබලයේ තියෙනවා.—මතෙව් 14:14-21; 15:32-38.

මරණය: යේසුස් මිය ගිය අයට ආයෙත් ජීවිතය දීපු අවස්ථා 3ක් ගැන බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. යේසුස් ඒ එක් කෙනෙක්ට ආයෙත් ජීවිතය දීලා තියෙන්නේ ඒ කෙනා මැරිලා දවස් 4ක් ගියාට පස්සෙයි. (මාක් 5:35-42; ලූක් 7:11-16; යොහන් 11:3-44) ඒ සිද්ධීන්වලින් පැහැදිලි වෙනවා මරණයට නිමාවක් ගේන්නත් යෙහෝවා දෙවියන්ට බලය තියෙනවා කියලා.

^ 5 ඡේ. අන්තිම කාලය ගැන දැනගන්න ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොතේ 32වෙනි පාඩම බලන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන එය www.ps8318.com/si වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.