Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

“වර්තමානයේ ලෝක ජනගහනයෙන් සියයට 60ක් තරම් විශාල සංඛ්‍යාවක් ජංගම දුරකථන භාවිත කරනවා. මීට අවුරුදු හයක් තරම් කෙටි කාලයකට පෙර ඒවා භාවිත කළේ සියයට 15කටත් වඩා අඩු පිරිසක්. සිදු වී ඇති වර්ධනය ඇත්තෙන්ම පුදුමාකාරයි!”—MACLEAN’S, CANADA.

පසුගිය දශකය ඇතුළත ගිනිකොනදිග ආසියාවේ මීකොං ප්‍රදේශයෙන් අලුත් ජීවී විශේෂ 1,068ක් සොයාගෙන තිබෙනවා.—WORLD WILDLIFE FUND, UNITED STATES.

ලෝක ජනගහනයෙන් ඇමරිකාවේ ජීවත් වන්නේ සියයට පහකටත් වඩා අඩු පිරිසක්. නමුත් එහි සිටින ජනගහනයෙන් සියයට 25ක්ම සිරකරුවන්. එනම් එහි සෑම වැසියන් 1,00,000ගෙන් 756ක්ම සිරකරුවන්. ලෝකයේ අනිකුත් රටවල සිටින සිරකරුවන්ගේ සාමාන්‍ය සමඟ සසඳන විට ඇමරිකාවේ සිටින සිරකරුවන්ගේ සංඛ්‍යාව පස් ගුණයකින් වැඩියි.—THE ECONOMIST, BRITAIN.

මතකය අමතක කරන බාධා

අදහස් හුවමාරු කරගැනීමේ සමහරක් තාක්ෂණික ක්‍රම බොහෝදෙනාට බාධාවක් වී ඇති බව වාර්තා වෙනවා. පර්යේෂකයන් පවසන්නේ ක්ෂණික පණිවිඩ, යම් කාර්යයන් පිළිබඳ හා ඊ-මේල් පණිවිඩ පිළිබඳ සිහිගැන්වීම් වැනි දෑ නිසා එක් කාර්යයකට සම්පූර්ණ අවධානය දීමට බොහෝදෙනෙකුට බාධාවක් වී ඇති බවයි. එක් සඟරාවක ඒ ගැන වාර්තා වුණේ නිතර නිතර සිදු වන එවැනි බාධා නිසා “එක් දෙයක් ගැන සම්පූර්ණ අවධානය දීමට හෝ යම් කාර්යයක් ආරම්භයේ සිට අවසානය දක්වා කිරීමට නොහැකි වීම එහි ප්‍රතිඵලයක් විය හැකි” බවයි. එමෙන්ම “මතක ශක්තිය අඩු වීමද” එහි තවත් අනිසි ප්‍රතිඵලයක් විය හැකියි. එමෙන්ම බරපතළ මෙන්ම සමහරවිට මාරාන්තික අනතුරු ගෙන දෙන වැරදි සිදු වීමටද ඉඩකඩ තිබෙනවා.—එම සඟරාව Newsweek.

පරිවර්තකයන් අවශ්‍යයි

ඇමරිකාවේ උසාවි, නීති ආයතන හා රෝහල් වැනි සේවාවන් සපයන ආයතනවල බොහෝවිට භාෂා පරිවර්තකයන්ගේ අවශ්‍යතාවක් තිබෙනවා. එක් ප්‍රවෘත්ති වාර්තාවක ඒ ගැන මෙවැනි අදහසක් පළ වුණා. “විවිධ භාෂාවලින් සමන්විත ලෝකයක” එම අවශ්‍යතාව ඉටු කිරීම සඳහා පරිවර්තකයන් සපයන ආයතන තිබෙනවා. කැලිෆෝනියාවේ තිබෙන එවැනි ආයතනයක විවිධ භාෂා 176ක් කතා කරන පරිවර්තකයන් 5,200ක් සේවය කරනවා. ඔවුන්ට චීන, රුසියානු සහ ස්පාඤ්ඤ වැනි ප්‍රධාන භාෂා මෙන්ම අප්‍රිකාවේ හා මෙක්සිකෝවේ විවිධ ප්‍රදේශවල භාවිත වන භාෂාවන්ද පරිවර්තනය කිරීමට හැකියි. විනාඩියකටත් වඩා අඩු කාලයක් තුළදී “කෙනෙකුගේ භාෂාව හඳුනාගෙන” ඔහුට සරිලන පරිවර්තකයෙකු සම්බන්ධ කර දීමට එම ආයතන කටයුතු කරනවා.

කුණු කානුවේත් රත්තරන්

ටෝකියෝ නගරයේ වයඹ දෙසට වෙන්න තිබෙන නගානෝ ප්‍රදේශයේ අපද්‍රව්‍යවලින් රත්තරන් ලබාගැනීමට හැකි වී තිබෙන බව ජපානයේ පුවත්පත් වාර්තාවක සඳහන් වුණා. එහි සඳහන් තොරතුරුවලට අනුව එයින් ලබාගත් අපද්‍රව්‍ය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට ලක් කිරීමෙන් පසු එහි රත්තරන් යම් ප්‍රමාණයක් අඩංගු වී ඇති බව සොයාගත්තා. එය ජපානයේ අනිකුත් නිධිවලින් ලබාගන්නා පස්වල අඩංගු රත්තරන් ප්‍රතිශතයට වඩා වැඩියි. ඒ අනුව ඉහත කී එම අපද්‍රව්‍ය පිරිසිදු කිරීමෙන් ලබාගන්නා රත්තරන්වලින් වාර්ෂිකව යෙන් මිලියන 15ක පමණ (රුපියල් 1,92,00,000ක් පමණ) ආදායමක් ලබාගැනීමට ඔවුන් අපේක්ෂා කරනවා. ඔවුන් එම රත්තරන් ලබාගන්නේ ඒ අවට ඇති රත්තරන්වලින් යම් නිෂ්පාදන කරන කර්මාන්ත ශාලාවලින් බැහැර කරන අපද්‍රව්‍යවලිනුයි.