Skip to content

පටුනට යන්න

ඔබේ විවාහය ආරක්ෂා කරගත හැකිද?

ඔබේ විවාහය ආරක්ෂා කරගත හැකිද?

තම නිවස අබලන් තත්වයක තිබුණත් එය අලුත්වැඩියා කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

ඔබේ විවාහය සම්බන්ධයෙනුත් එවැනි තීරණයක් ගැනීමට ඔබ කැමතිද? එසේනම් ඔබ ගත යුතු පියවර මොනවාද? ඒ සඳහා පහත සඳහන් යෝජනා අත්හදා බලන්න.

1 එකඟතාවයකට පැමිණෙන්න.

ඔබේ විවාහය තුළ නැවතත් සාමය ඇති කිරීම සඳහා ඔහු හෝ ඇය සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න. ඔබේ තීරණය කොළයක සටහන් කරන්න. විවාහය ආරක්ෂා කරගැනීම සඳහා ඔබ දෙදෙනාම කැප වී කටයුතු කරන විට එය සහයෝගයෙන් කරන කාර්යයක් බවට පත් වෙයි.—දේශනාකාරයා 4:9, 10.

2 ගැටලුව තේරුම්ගන්න.

ඔබ දෙදෙනාව ඈත් කිරීමට බලපා ඇති හේතුව කුමක්ද? එම තත්වය වෙනස් කිරීම සඳහා කළ යුත්තේ කුමක්ද කියා එක් වාක්‍යයකින් සටහන් කරන්න. (එෆීස 4:22-24) බොහෝවිට ඔබේ සහකරු හෝ සහකාරිය සඳහන් කර ඇත්තේ ඔබ සඳහන් කළ ගැටලුව නොවෙන්න පුළුවන්.

3 ඉලක්කයක් තබාගන්න.

දැන් සිට මාස හයක් ගත වූ පසු ඔබේ විවාහය තුළ කුමන දියුණුවක් දැකීමටද ඔබ කැමති? විශේෂයෙන්ම කුමන පැතිවලින්ද? ඔබේ ඉලක්ක සටහන් කරගන්න. ඔබේ විවාහය තුළ දියුණු කරගත යුතු පැති පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබෙනවා නම් එම ඉලක්ක අත් කරගැනීම ඉතා පහසුයි.—1 කොරින්ති 9:26.

4 බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් අදාළ කරගන්න.

ඔබේ විවාහය තුළ තිබෙන ගැටලු අවබෝධ කරගත් පසු ඒවා නිවැරදි කරගැනීම සඳහා බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් සොයා බලන්න. එම මඟ පෙන්වීම් හැමදාටම අදාළ වන අතර ඒවා ක්‍රියාත්මක කිරීමෙන් ඇත්තෙන්ම සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. (යෙසායා 48:17; 2 තිමෝති 3:17) උදාහරණයකට, එකිනෙකාට සමාව දෙන්න කියා බයිබලයේ දිරිගන්වා තිබෙන අතර ‘වරද අමතක කර දැමීම අලංකාර ගුණාංගයක්’ බවත් එහි සඳහන් වෙනවා.—හිතෝපදේශ 19:11; එෆීස 4:32.

ඔබේ මුල්ම වෑයමට ප්‍රතිඵල නොලැබුණා කියා උත්සාහය අත්හරින්න එපා! එක් සමීක්ෂණයකින් හෙළි වූ දේ එක් පොතක මෙසේ සඳහන් වුණා. “එය හිතාගන්නවත් බැහැ. විවාහය තුළ ප්‍රීතියක් අද්නොදුටු යුවළයන්ගෙන් සියයට 86ක්ම තම ගැටලු විසඳාගැනීමට අත් නෑර කටයුතු කළ නිසා ඊට අවුරුදු පහකට පමණ පසුව ඔවුන්ගේ විවාහය තුළ ප්‍රීතිය අද්දකින්න පටන්ගත්තා.” තමන් නිතරම සිටින්නේ අසතුටින් කියා පැවසූ විවාහක යුවළයන්ගේ තත්වය පවා වෙනස් වුණා.—එම පොත The Case for Marriage.

ඔබේ විවාහය තුළත් එය සත්‍යයක් විය හැකියි. බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් විවාහ ජීවිතය තුළ ක්‍රියාත්මක කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලබාගත හැකි බව මෙම සඟරාව ප්‍රකාශයට පත් කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අද්දැක තිබෙනවා. උදාහරණයකට, දෙදෙනාම කරුණාවන්ත, දයාවන්ත මෙන්ම නිතරම සමාව දීමට කැමති නම් විවාහය තුළ ප්‍රීතිය වැඩි කරගත හැකි බව ඔවුන් තේරුම්ගෙන තිබෙනවා. විවාහය තුළ ‘තැන්පත් මෘදු ස්වභාව’ පෙන්වීම කොතරම් වැදගත්ද කියා භාර්යාවන් ඉගෙනගෙන තිබෙනවා. ඒ වගේම ස්වාමිපුරුෂයන්ද තම භාර්යාවන් සමඟ අධික ලෙස කෝපයෙන් කටයුතු නොකිරීම මොන තරම් ප්‍රයෝජනවත්ද කියා අවබෝධ කරගෙන තිබෙනවා.—1 පේතෘස් 3:4; කොලොස්සි 3:19.

විවාහය සඳහා බයිබලයේ ඇති මඟ පෙන්වීම් මෙතරම් ප්‍රයෝජනවත් වීමට හේතුව කුමක්ද? විවාහය ආරම්භ කළ තැනැත්තා මෙන්ම බයිබලයේ කර්තෘ යෙහෝවා දෙවි වීමයි. ඔබේ විවාහය සාර්ථක කරගැනීමට බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න. *

^ 14 ඡේ. විවාහයන් සාර්ථක කරගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පිටු 192කින් සමන්විත පවුලේ සන්තෝෂයට රහස නමැති පොත ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම සඟරාවේ පස්වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න.