Skip to content

පටුනට යන්න

දෙවි කෙනෙකු සිටින බව විශ්වාස කිරීමට සාක්ෂි තිබෙනවාද?

දෙවි කෙනෙකු සිටින බව විශ්වාස කිරීමට සාක්ෂි තිබෙනවාද?

දෙවි කෙනෙකු සිටින බව විශ්වාස කිරීමට සාක්ෂි තිබෙනවාද?

මිහි මත ඇති ජීවය ගැනත් එහි විවිධත්වය හා සංකීර්ණත්වය ගැනත් ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද? සමහරුන් විශ්වාස කරන්නේ විශ්වය හා ජීවය ආරම්භ වුණේ මහා පිපිරීමකින් හා පරිණාමයෙන් බවයි. අනික් අතට ඒවා දෙවි විසින් නිර්මාණය කළ බව පිළිගන්නා පිරිසක්ද සිටිනවා. ඒ ගැන ඔබ සිතන්නේ කුමක්ද?

ඉන් සත්‍යය කුමක්ද කියා අප දැනගන්නේ කෙසේද? ශුද්ධ බයිබලයේ සඳහන් ලෙස ‘කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැහැ.’ (යොහන් 1:18) ඒ හා සමානව මේ විශ්වය හා ජීවය ආරම්භ වෙනවා කිසිවෙක් දැක නැහැ. ඒ වගේම එක් සත්ව වර්ගයක් ඊට වඩා වෙනස් වර්ගයකට පරිණාමය වෙන ආකාරයද කිසිවෙක් දැක නැහැ. යම් සත්ව විශේෂයක් සම්පූර්ණයෙන්ම වෙනත් සත්ව විශේෂයක් දක්වා පරිවර්තනය වූ බවක් ෆොසිල වාර්තාවලින්වත් සොයාගෙන නැහැ. එසේනම් විශ්වය හා ජීවය ආරම්භ වුණේ පරිණාමයෙන්ද නැත්නම් දෙවි විසින් කළ නිර්මාණයකින්ද කියා විශ්වාස කිරීමට අපට පැහැදිලි සාක්ෂි තිබෙනවාද? *

ඔබේ විශ්වාසය පදනම් වී ඇත්තේ ස්ථිර සාක්ෂි මතද?

අපේ ඇසට නොපෙනුණත් පවතිනවා කියා අප විශ්වාස කරන බොහොමයක් දේවල් තිබෙනවා. ඒවා අප විශ්වාස කරන්නේ ඒ සඳහා අපට ස්ථිර සාක්ෂි තිබෙන නිසයි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වී තිබෙනවා. “විශ්වාසය යනු තමන් බලාපොරොත්තු වන දේවල් ඉටු වන බව කිසි ලෙසකින්වත් සැක නොකිරීමයි. එසේම තමන් විශ්වාස කරන දේ ඇසට නොපෙනුණත් ඒවා සැබෑ බවට ස්ථිර සාක්ෂි ඇති නිසා ඒවා නිසැකව පිළිගැනීමයි.”—හෙබ්‍රෙව් 11:1.

ඒ ගැන අපි මෙසේ සිතමු. මහ ඇලෙක්සැන්ඩර්, ජූලියස් සීසර් හා යේසුස් ක්‍රිස්තුස් වැනි පුද්ගලයන් ඉතිහාසයේ ජීවත් වූ බව ඉහළ පෙළේ ඉතිහාසඥයන් බොහෝදෙනෙක් විශ්වාස කරනවා. ඔවුන්ට එම පුද්ගලයන්ව කෙදිනකවත් මුණගැසී නොතිබුණත් එවැනි පුද්ගලයන් සිටි බවට ඔවුන් විශ්වාස කරන්නේ ඒ සම්බන්ධයෙන් ඉතිහාසයේ පැහැදිලි සාක්ෂි තිබෙන නිසයි.

විද්‍යාඥයන්ද සමහර දේවල් දැක නැති නමුත් ඒවා පවතින බව විශ්වාස කරනවා. ඔවුන් එසේ කරන්නේ ඒ සඳහා ඔවුන්ට පැහැදිලි සාක්ෂි තිබෙන නිසයි. උදාහරණයකට 19වන ශතවර්ෂයේ සිටි රුසියානු රසායන විද්‍යාඥ ඩිමිට්රි ඉවානව්ච් මෙන්ඩලේයෆ් විශ්වය නිර්මාණය වී ඇති ප්‍රධාන මූලද්‍රව්‍යයන් ගැන අධ්‍යයනය කිරීමට දැඩි ඇල්මක් දැක්වූවා. එම මූලද්‍රව්‍යයන් එකිනෙකට සම්බන්ධ වී තිබෙන නිශ්චිත පිළිවෙළ ඔහුගේ සිත්ගත්තා. එම මූලද්‍රව්‍යයන් අතර සිත්ගන්නාසුලු සම්බන්ධයක් තිබෙන බවත් ඒවායෙහි පරමාණුක ස්කන්ධය හා රසායනික සංයුතිය (අනිකුත් මූලද්‍රව්‍යයන් සමඟ ප්‍රතික්‍රියා කරන ආකාරය) අනුව වගුවක් සැකසිය හැකි බවත් ඔහු විශ්වාස කළා. ඒ අනුව එවකට හඳුනාගෙන තිබූ මූලද්‍රව්‍ය සමඟින් ඔහු ආවර්තිතා වගුව නිර්මාණය කළා. එපමණක් නොව එම වගුවේ ඇති මූලද්‍රව්‍යයන්වල තිබෙන අනුපිළිවෙළ නිරීක්ෂණය කරමින් ඔහු පැවසුවේ තවත් හඳුනා නොගත් එවැනි මූලද්‍රව්‍යයන් තිබිය යුතු බවයි. පසු කාලයේදී ඔහු පැවසූ දේ සත්‍යයක් බව තහවුරු වුණා.

පුරාවිද්‍යාඥයන් විසින්ද අවුරුදු දහස් ගණනක් පැරණි වස්තූන් සොයාගෙන ඇති බව අප කොතෙකුත් අසා ඇති. එවැනි පිරිසකට එක හා සමාන හැඩයන්ගෙන් යුත් එක මත එක තැබූ ගල් කුට්ටි හමු වුණා කියා සිතන්න. එමෙන්ම ඒවා යම් කිසි සැලැස්මකට අනුව අතුරා ඇති බවත් කැණීම්වලදී ඔවුන්ට දකින්න ලැබෙනවා. ඔබ සිතන්නේ එයින් ඔවුන් පැමිණෙන නිගමනය කුමක් කියාද? ඒවා එතැනට අහම්බෙන් ආවා කියා ඔවුන් සිතයිද? කොහෙත්ම නැහැ. ඒවා මිනිසුන් පිරිසකගේ නිර්මාණයක් බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා.

මේ විශ්වයත් ජීවයත් ආරම්භ වුණේ කෙසේද යන්න නිගමනය කිරීමේදී විද්‍යාඥයන් ඇතුළු බොහෝදෙනෙක් සිතන්න පෙලඹී ඇත්තේද ඒ ආකාරයටමයි. ඒ අනුව විශ්වයත් ජීවයත් නිර්මාණය වී ඇති ආකාරය නිරීක්ෂණය කිරීමෙන් ඔවුන් පැමිණ ඇති තර්කානුකූල නිගමනය වන්නේ ඒවා පිටුපස බුද්ධිමත් නිර්මාණකරුවෙක් සිටිය යුතු බවයි.

අහඹු සිදුවීමක්ද අරමුණක් සහිත නිර්මාණයක්ද?

විශ්වයේ ආරම්භය ගැන සමහර විද්‍යාඥයන් පවසන්නේ කුමක්ද? මීට අවුරුදු ගණනාවකට පෙර සිටි බ්‍රිතාන්‍ය ජාතික ගණිතාඥයෙක්, භෞතික විද්‍යාඥයෙක් සහ තාරකා විද්‍යාඥයෙක් වන ශ්‍රීමත් ජේම්ස් ජීන්ස් පැවසුවේ විද්‍යාවේ දියුණුවත් සමඟම ‘විශ්වය නිර්මාණය වී ඇති ආකාරය දකිද්දී එය ඉතාමත් ශ්‍රේෂ්ඨ බලවේගයක් විසින් නිර්මාණය කර ඇති බවක් පෙනෙන්න තිබෙනවා. ඉන් පැහැදිලි වන්නේ එය අතිදක්ෂ ගණිතාඥයෙක් විසින් නිර්මාණය කර ඇති’ බවයි.

ඔහුට පසුව සිටි සමහර විද්‍යාඥයන්ද එම නිගමනයටම පැමිණ තිබෙනවා. උදාහරණයකට පෝල් ඩේවිස් නමැති භෞතික විද්‍යාඥයා මෑතකදී මෙවන් දෙයක් පැවසුවා. “මේ විශ්වයේ ඇති මනා සංවිධානාත්මක බව නිසා බොහෝදෙනෙක් තේරුම්ගෙන ඇත්තේ එය යම් නිර්මාණයක ප්‍රතිඵලයක් බවයි.” තවත් බොහෝදෙනෙක් පෘථිවිය හා එහි ඇති ජීවය දකින්නේ ඉතාමත් ආශ්චර්යයක් හැටියටයි. සුප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයෙක් හා ගණිතාඥයෙක් වන ඇල්බට් අයින්ස්ටයින් වරක් පැවසුවේ “අවට ලෝකයේ තිබෙන ඒකජීවී සෛලයක සිට මිනිස් මොළයේ පුදුමාකාර ක්‍රියාකාරීත්වය දක්වා තොරතුරු තේරුම්ගැනීමට අපට හැකි වීමත් ඇත්තෙන්ම ආශ්චර්යයක්.”

DNA අණු සහ මිනිස් මොළය

ජීවයට නිර්මාණකරුවෙක් සිටින බවට විද්‍යාව විසින් සොයාගෙන ඇති තවත් තොරතුරු මොනවාද? උදාහරණයකට DNA අණුවක් ගැන සලකා බලන්න. * අප කවුද යන්න පිළිබඳව බොහෝ තොරතුරු එහි ගැබ් වී තිබෙනවා. එමෙන්ම පුද්ගලයන්ගේ ශරීර ලක්ෂණ හා ගතිලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන්නේ එම DNA නිසයි. අපගේ එක DNA අණුවක ඇතුළත් තොරතුරු සටහන් කිරීමට පිටු මිලියනයකට වඩා තිබෙන පොතක් අවශ්‍ය බව වාර්තා වෙනවා.

එම සියලු තොරතුරු අඩංගු DNA පිහිටා තිබෙන්නේ සෑම සෛලයකම න්‍යෂ්ටියේයි. එය මොන තරම් කුඩාද කිවහොත් එය දැකගැනීමට හැකි වන්නේ ප්‍රබල අණ්වීක්ෂයකින් පමණයි. තොරතුරු ගබඩා කළ හැකි චිපයන් පරිගණකයේද තිබෙන බව ඇත්තයි. නමුත් ඒවායෙහි ගබඩා කළ හැකි තොරතුරු DNA අණුවක ගබඩා කළ හැකි තොරතුරු ප්‍රමාණය සමඟ සසඳන විට එම චිපයන් කිසිත් නැති තරම්! එක් විද්‍යාඥයෙක් ඒ ගැන පැවසුවේ තොරතුරු ගබඩා කිරීමේ හා ඒවා නැවත ලබාගැනීමේ විශිෂ්ට හැකියාවක් ඇත්තේ ජීවීන්ට බවයි. ඒ වුණත් DNA පිළිබඳව මිනිසා විසින් මෙතෙක් අවබෝධ කර නොගත් තොරතුරු රාශියක් තිබෙනවා. එක් සඟරාවක ඒ ගැන මෙසේ පළ වුණා. “අප ඒ ගැන අලුතින් යමක් අවබෝධ කරගන්නා විට එය තව තවත් සංකීර්ණ බව අපට වැටහෙනවා.”—New Scientist magazine. *

එසේනම් එතරම් සංකීර්ණ හා නිවැරදි සැකැස්මක් ඇති DNA අණුවක් ඉබේ පහළ වුණා කියා විශ්වාස කරන්න පුළුවන්ද? උදාහරණයකට මිලියන ගණනකින් යුත් පිටු සහිත ඉතා සංකීර්ණ තොරතුරු අඩංගු පොතක් ඔබට හමු වුණා කියා සිතන්න. එම පොත කවුරුන් විසින් හෝ නොලියූ, ඉබේ ඇති වූ පොතක් කියා ඔබ සිතනවාද? කොටස් මිලියන ගණනකින් සමන්විත, ස්වයංක්‍රීයව අලුත්වැඩියා වෙමින් තමන් හා සමාන තවත් පිටපත් බිහි කිරීමේ හැකියාවක් ඇති යන්ත්‍රයක් සකසන ආකාරය ගැන තොරතුරු එම පොතේ අඩංගු වෙනවා කියාද සිතන්න. ඒ පොත කවුරුන් විසින් හෝ ලියා ඇති බව ඔබ නිගමනය කරනවා නොඅනුමානයි. එසේනම් එම පොතට වඩා සංකීර්ණ DNA අණුවක් අහම්බෙන් ඇති වුණා කියා සමහරුන් විශ්වාස කරන්නේ ඇයි?

බ්‍රිතාන්‍ය ජාතික දර්ශනවාදියෙක් වූ ඇන්තනි ෆ්ලූ, දෙවි කෙනෙකු සිටින බව කොහෙත්ම විශ්වාස කළේ නැහැ. නමුත් ඔහු DNA අණුවක් මොන තරම් සංකීර්ණද කියා අධ්‍යයනය කිරීමෙන් පසු මෙවැනි නිගමනයකට පැමිණියා. “මෙවැනි දෙයක් නිර්මාණය වීමට නම් ඒ පිටුපස විශාල බුද්ධියක් තිබිය යුතුයි කියා අපට පිළිගන්න සිදු වෙනවා.” එම බුද්ධිය සතු දෙය හෝ පුද්ගලයා කුමක් වුණත් ඒ පිළිබඳ සාක්ෂි සොයා බලන්න ඔහු සතුටු වුණා. ඒ අනුව ඔහුගේ අවසන් නිගමනය වුණේ එම නිර්මාණය පිටුපස දෙවි කෙනෙකු සිටිය යුතු බවයි.

විද්‍යාඥයන්ගේ මවිතයට එන්න එන්නම හේතු වී ඇති තවත් දෙයක් වන්නේ මිනිස් මොළයයි. එය විස්තර කර තිබෙන්නේ “විශ්වයේ ඇති සංකීර්ණතම වස්තුව ලෙසයි.” නවීන සුපිරි පරිගණක පද්ධතියකට වඩා හැකියාවක් එය සතුයි. ඒ ගැන එක් විද්‍යාඥයෙක් පැවසුවේ ඔවුන් මොළය ගැන අධ්‍යයනය කරන තරමටම “ඒ ගැන අවබෝධ කර නොගත් දේවල් මොන තරම් තිබෙනවාද කියා ඔවුන් පුදුමයට පත් වෙනවා” කියායි.

අප සතු මොළය නිසා අපට සිනාසීමට, හැඬීමට, ප්‍රහේලිකා විසඳීමට, සංකීර්ණ පරිගණක නිර්මාණය කිරීමට, පාපැදියක් පැද යෑමට, අලංකාර කාව්‍යන් රචනා කිරීමට, සතුට භුක්ති විඳීමට, රාත්‍රී අහස දෙස බලා එය මොන තරම් පුදුමාකාරද කියා කල්පනා කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ සියල්ලෙන් අපට තහවුරු වන්නේ කුමක්ද? මිනිසා බිහි වුණේ අහම්බෙන් කියාද?

සාක්ෂි මත පදනම් වූ විශ්වාසය

සමහරුන් විශ්වාස කරන ආකාරයට අප පැවත එන්නේ පරිණාමයෙන්ද? නැත්නම් දෙවි කෙනෙකු විසින් අපව නිර්මාණය කළාද? වානරයන් හා සමානව අපත් කන බොන බව නිදාගන්නා බව හා තම වර්ගයාව බෝ කරන බව ඇත්තයි. නමුත් මිනිසුන් වන අප උන්ට වඩා බොහෝ ආකාරවලින් අද්විතීයයි. බයිබලයේ සඳහන් ලෙස දෙවි අපව නිර්මාණය කර ඇත්තේ ඔහුගේ “ගතිලක්ෂණ ඇතුවයි.” (උත්පත්ති 1:27) එම ගතිලක්ෂණවලින් සමහරක් ගැන දැනගැනීම සඳහා මෙම බයිබල් වගන්ති කියවීමට ඔබට හැකියි. ද්විතීය කතාව 32:4; යාකොබ් 3:17, 18; 1 යොහන් 4:7, 8.

අපව නිර්මාණය කළ දෙවි, අප අවට ලෝකයේ ඇති දේවල් ගවේෂණය කිරීමටත් අපට පැනනඟින ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන පිළිතුරු සොයාගැනීමටත් අපට “වටහාගැනීමේ හැකියාව” දී තිබෙනවා. (1 යොහන් 5:20) ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥ විලියම්. ඩී. ෆිලිප්ස් මෙසේ වාර්තා කළා. “අපගේ විශ්වයේ ඇති මනා සංවිධානාත්මක බව එහි ඇති අලංකාරය හා අපට එය වටහාගත හැකි බව සහ එහි ඇති දෙස බලද්දී එය ශ්‍රේෂ්ඨ බුද්ධියකින් බිහි වූ නිර්මාණයක් බව මට පැහැදිලි වෙනවා. විද්‍යාඥයෙක් හැටියට භෞතික දේවල් තුළ දකින්න ලැබෙන පුදුමාකාර අන්තර් සම්බන්ධය හා ඒවායෙහි ඇති සරල භාවය තේරුම්ගන්නා විට දෙවි කෙනෙක් සිටිනවා යන මගේ විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා.”

එමෙන්ම මීට අවුරුදු 2,000කට පමණ පෙර සිටි අවට ලෝකය ගැන හොඳින් නිරීක්ෂණය කළ පුද්ගලයෙක් මෙවැනි නිගමනයකට පැමිණියා. “දෙවිව නොපෙනුණත් ලෝකය සෑදූ දා පටන් ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙනි. එමගින් ඔහුගේ සදාතනික බලය හා ඔහු සැබවින්ම දෙවි බවට වූ කාරණය සියල්ලන්ටම පැහැදිලි වේ.” (රෝම 1:20) එම වදන් ලියූ පාවුල් නමැති දෙවිගේ සේවකයා ඉහළ අධ්‍යාපනයක් ලැබූ පුද්ගලයෙක්. දෙවි සැබෑ පුද්ගලයෙක් බව විශ්වාස කිරීමට ඔහුට හොඳ සාක්ෂි තිබූ අතර දෙවිගේ ශ්‍රේෂ්ඨ නිර්මාණ සම්බන්ධයෙන් දෙවිට ප්‍රශංසා කිරීමට ඔහු පෙලඹුණා.

අප අවට ඇති සියලු දේ නිර්මාණය කළේ දෙවි බව අවබෝධ කරගැනීමට ඔබටත් හැකි වේවි යන්න අපගේ අවංක බලාපොරොත්තුවයි. එමෙන්ම පාවුල් සහ තවත් මිලියන ගණන්දෙනා මෙන් යෙහෝවා දෙවිගේ අනර්ඝ ගුණාංග දැන හඳුනා ගෙන ඔහුට ළං වීමට ඔබටත් හැකි වේවා යන්න අපගේ පැතුමයි.—ගීතාවලිය 83:18; යොහන් 6:44; යාකොබ් 4:8.

[පාදසටහන්වල]

^ 3 ඡේ. වර්ෂ 2006 සැප්තැම්බර් පිබිදෙව්! කලාපයේ පළ වූ “පරිණාමය සත්‍යයක්ද” යන ලිපිය බලන්න.

^ 14 ඡේ. DNA යනු ඩිඔක්සිරයිබොනියුක්ලෙයික් අම්ලයයි.

^ 15 ඡේ. චාල්ස් ඩාවින් විසින් පරිණාමය නමැති සංකල්පය හඳුන්වා දෙන විට ජීව සෛලවල ඇති සංකීර්ණත්වය ගැන ඔහුට කිසිම අවබෝධයක් තිබුණේ නැහැ.

[24වන පිටුවේ කොටුව]

දෙවිගේ නාමයෙන් කර ඇති දුෂ්ටකම් නිසා දෙවි කෙනෙක් නැහැ කියා පැවසීම සාධාරණද?

ඉතිහාසයේ සිටි සමහරුන් දෙවිගේ නාමයෙන් කර ඇති දුෂ්ටකම් හා දූෂිත දේවල් නිසා දෙවි කෙනෙකු සිටින බව විශ්වාස නොකිරීමට බොහෝදෙනෙක් එය හේතුවක් කරගෙන තිබෙනවා. එය සාධාරණද? කොහෙත්ම නැහැ. ඇන්තනී ෆ්ලූ විසින් රචිත දෙවි කෙනෙක් සිටිනවා යන කෘතියේ පෙරවදනෙහි රෝයි ඒබ්‍රහම් වාර්ගීස් මෙවැනි දෙයක් සඳහන් කළා. “ආගමේ නාමයෙන් මිනිසුන් කර තිබෙන අති දරුණු ක්‍රියා නිසා දෙවි කෙනෙක් නැහැ කියා තර්ක කිරීම හරියට E=mc2 * නමැති සූත්‍රය යොදාගෙන විනාශකාරී න්‍යෂ්ටික අවි නිපදවා ඇති නිසා එවැනි සූත්‍රයක් නැහැයි කියා තර්ක කරනවා හා සමානයි.”

[පාදසටහන]

^ 31 ඡේ. ශක්තිය සමානයි ස්කන්ධය වැඩි කිරීම ආලෝකයේ වේගයේ වර්ගය.

[23වන පිටුවේ පින්තූර]

පුරාණ නටබුන් මිනිසුන්ගේ නිර්මාණ නම් අප අවට ලෝකයේ ඇති දේවල් කාගේ නිර්මාණයන්ද?

[23වන පිටුවේ පින්තූරය]

ඇල්බට් අයින්ස්ටයින්

[24, 25වන පිටුවේ පින්තූරය]

DNA අණුවක්, අණ්වීක්ෂයකින් බැලිය යුතු ප්‍රමාණයේ පොතකට සමානයි. ජීවයේ පැවැත්මට අවශ්‍ය සියලු තොරතුරු එහි ගබඩා කර තිබෙනවා

[25වන පිටුවේ පින්තූරය]

මිනිස් මොළය විස්තර කර තිබෙන්නේ “විශ්වයේ ඇති සංකීර්ණතම වස්තුව ලෙසයි”

[22වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© The Print Collector/age fotostock