Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

“එක්සත් රාජධානියේ සෑම වසරකම පිළිකා රෝගීන් 1,30,000කටත් වඩා වැඩි සංඛ්‍යාවක් හඳුනාගනු ලබනවා. නමුත් දුම්පානය, මත්ද්‍රව්‍ය භාවිතය හා සෞඛ්‍යයට අහිතකර දේවල් ආහාරයට ගැනීම නතර කරනවා නම් එම සංඛ්‍යාව අඩක් දක්වා අඩු කරගත හැකියි.”—BBC NEWS, BRITAIN.

‘නීති විරෝධී ලෙස සංවිධානය වී ඇති විශාල කණ්ඩායම් නිසා වටිනා වනසතුන් බොහොමයක් විනාශ වෙනවා. මෙතරම් සතුන් ප්‍රමාණයක් මීට පෙර කිසිදා විනාශ වී නැහැ.’—WILDLIFE CONSERVATION SOCIETY, U.S.A.

රූපවාහිනිය නරඹන්නේ නැති අයට වඩා දිනපතා සාමාන්‍යයෙන් රූපවාහිනිය පැය හයක් නරඹන පුද්ගලයෙකුගේ ආයු කාලය වසර 4.8කින් අඩු වෙනවා. එය වෙනත් විදිහකින් පවසනවා නම් වැඩිහිටියෙක් රූපවාහිනිය නරඹන සෑම පැයකදීම ඔහුගේ ආයු කාලයෙන් විනාඩි 22ක් පමණ අඩු වෙනවා.—BRITISH JOURNAL OF SPORTS MEDICINE, BRITAIN.

පිළිසිඳගෙන සිටින දරුවා මන්දමානසික හෙවත් ඩවුන් සින්ඩ්‍රෝම තත්වයෙන් පෙළෙන බව දැනගන්නා මව්වරුන්ගෙන් සියයට 90කටත් වඩා එම කලල ගබ්සා කරන බව ජර්මනියෙන් වාර්තා වෙනවා.—DER TAGESSPIEGEL, GERMANY.

නාගරික ජීවිතයයි මානසික පීඩනයයි

“මානසික පීඩනය නිසා, ගම්වල ජීවත් වන අයට වඩා නගරවල ජීවත් වන අය ක්‍රියා කරන්නේ ඉතාමත් දරුණු ආකාරයෙනුයි” කියා එක් පෝලන්ත සඟරාවක සඳහන් වුණා. (Przekrój) මනෝ වෛද්‍යවරයෙක් මෙසේ පවසනවා. “ගම්වල ජීවත් වන අයට වඩා නගරවල ජීවත් වන අයට කාන්සාමය තත්වයක් ඇති වීමට ඇති ඉඩකඩ සියයට 21කින් වැඩියි. ඒ වගේම මානසික අක්‍රමිකතා ඇති වීමේ අවදානම සියයට 39කින් ඉහළයි.” මේ තත්වයෙන් ගොඩ ඒමට නගරවාසීන්ට කළ හැකි දෙයක් තිබෙනවාද? ඉහත සඳහන් කළ සඟරාවේ මෙවැනි යෝජනා කිහිපයක් දී තිබුණා. “ඔබට වෙනස් කරන්න බැරි දේවල් ගැන කරදර වෙන්න එපා,” “රැකියාවේ ප්‍රශ්න ගෙදර ගෙනියන්න එපා,” “ටිකක් ඇවිදින්න යන්න,” “නිවාඩුවක් ගන්න පසුබට වෙන්න එපා.”

ෆේස්බුක් එකේ කොතරම් තොරතුරු දමා තිබෙනවාද?

ඔස්ට්‍රියාවේ ජීවත් වන නීතිය හදාරන ශිෂ්‍යයෙකුට වසර තුනක් ඇතුළත තමන් කොතරම් තොරතුරු ප්‍රමාණයක් මිතුරු සමාජ වෙබ් අඩවියකට දමා තිබෙනවාද කියා දැනගැනීමට අවශ්‍ය වුණා. ඒ නිසා ඔහු අදාළ ආයතනයෙන් ඒ පිළිබඳ වාර්තාවක් ඉල්ලා සිටි විට තොරතුරු ඇතුළත් පිටු 1,222ක් ලැබුණා. ඒ ගැන ඔහු පැවසූ දෙයක් එක් ජර්මනියේ පුවත්පතක සඳහන් වුණේ මෙසේයි. “සෑම තොරතුරක්ම ඇතුළත් කර තිබුණා. උදාහරණයකට සෑම කෙටි පණිවිඩයක්ම, සෑම චැට් එකක්ම, යාළුවන්ගේ පෞද්ගලික තොරතුරුත් එහි තිබුණා.” (Der Tagesspiegel) ඒ වගේම ඔහු ඩිලීට් කළ ඒවාත් එහි සඳහන් වී තිබුණා.