Skip to content

පටුනට යන්න

බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 6වෙනි කොටස

‘අවසාන කාලය’

බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 6වෙනි කොටස

පිබිදෙව්! සඟරාවේ පළ වන කොටස් අටකින් යුත් මෙම ලිපි පෙළෙන් සාකච්ඡා කරනු ලබන්නේ බයිබලයේ වැදගත් අංගයක් වන අනාවැකි පිළිබඳවයි. එමගින් මතු දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු ඔබට ලබාගත හැකියි. එනම් බයිබලයේ සඳහන් අනාවැකි ලියැවුණේ මිනිසුන්ගේ බුද්ධිමය හැකියාවට අනුවද? එසේත් නැත්නම් දෙවිගේ මඟ පෙන්වීමට අනුවද? මේ පිළිබඳව තිබෙන සාක්ෂි සලකා බලන මෙන් අපි ඔබට ආරාධනා කරමු.

අප ජීවත් වන්නේ දුෂ්කර කාලයකය. අද අපට වැඩි වශයෙන් අසන්න ලැබෙන්නේ ලොව පුරා සිදු වන ව්‍යසනකාරී සිද්ධීන් සහ සමාජයේ සිදු වන අර්බුදකාරී ගැටුම් පිළිබඳවයි. එවැනි දේවල් සිදු වීමට යම් විශේෂිත හේතුවක් තිබේද?

‘පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදයේදී’ ලෝකයේ තිබෙන දුෂ්කර තත්වය උග්‍ර වන බව මීට වසර 2,000කට පමණ පෙර බයිබලයේ පුරෝකථනය කර තිබුණි. (මතෙව් 24:3) මේ නිසා ලෝකය විනාශ වෙයි කියා මිනිසුන් සිතුවද ඔවුන් සිතන ආකාරයට එය සිදු නොවේ. “අවසාන කාලයේදී” යම් ව්‍යසනකාරී සිදුවීම් සහ මිනිසුන්ගේ ආකල්පවල වෙනසක් සිදු වන බව බයිබලයේ සඳහන් වේ. (2 තිමෝති 3:1) යේසුස් තම අනුගාමිකයන්ට පැවසුවේ “මේ දේවල් සිදු වෙනවා දකින විට” සහනයක් ළඟ බව දැනගන්න කියායි. (ලූක් 21:31) අප ජීවත් වන කාලයට අදාළ වන අනාවැකි කිහිපයක් සලකා බලමු.

1වෙනි අනාවැකිය:

‘ජාතියක් ජාතියකට විරුද්ධව නැඟී සිටියි.’—මතෙව් 24:7.

ඉටු වීම: විසිවන සියවසේ මුල් කාලයේදී බොහෝදෙනෙකු සිතුවේ සාමය දිගටම පවතියි කියායි. නමුත් පළමු ලෝක මහා යුද්ධයත් සමඟම ලෝකය උඩු යටිකුරු විය. එමගින් “පොළොවෙන් සාමය තුරන්” වන බවටද ‘මිනිස්සු එකිනෙකාව මරා දමනු ඇති’ බවටද බයිබලයේ සඳහන් අනාවැකිය ඉටු විය.—එළිදරව් 6:4.

සාක්ෂි:

  • “පළමු ලෝක මහා යුද්ධයත් සමඟම මුළු ලෝකයම වෙනස් මඟකට යොමු විය.”—වර්ෂ 1992දී ප්‍රකාශිත The Origins of the First World War.

  • පළමු ලෝක මහා යුද්ධයෙන් මිය ගිය සංඛ්‍යාව ස්ථිරව කිව නොහැකිය. එහෙත් මිය ගිය හමුදා භටයන්ගේ සංඛ්‍යාව පමණක් 85,00,000ක් වූ බව එක් විශ්වකෝෂයක සඳහන් විය.

  • දෙවෙනි ලෝක මහා යුද්ධය ඊටත් වඩා දරුණුය. ඉන් හමුදා භටයන් හා සිවිල් වැසියන් මිලියන 35ත් 60ත් අතර සංඛ්‍යාවකට ජීවිත අහිමි විය.

  • දෙවෙනි ලෝක මහා යුද්ධයේ අවසානයේ සිට 2010 අතර කාලය තුළ ලොව පුරා රටවල් 151ක යුද්ධ 246ක් ඇති වී තිබේ.

2වෙනි අනාවැකිය:

‘ආහාර හිඟකම් ඇති වෙයි.’—මතෙව් 24:7.

ඉටු වීම: විසිවන සියවසේදී සාගත නිසා මිලියන 70කට වඩා වැඩිදෙනෙකුට තම ජීවිත අහිමි වී ඇත. සාගතය තවමත් ලෝක ව්‍යාප්ත ගැටලුවකි.

සාක්ෂි:

  • එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමීක්ෂණයකට අනුව, මිනිසුන්ගේ ජීවිතවලට විශාල තර්ජනයක් වී තිබෙන්නේ ආහාර හිඟයයි. ඔවුන් කියා සිටින්නේ කුසට හරි හැටි ආහාරයක් නොමැතිකම නිසා ලෝක ජනගහනයෙන් හතෙන් එකක් දුක් විඳින බවයි.

  • “ආහාර හිඟයට හේතුව අස්වනු පාළු වීම නොවේ. ඊට විසඳිය නොහැකි හේතු හතරක් තිබේ. ඒවා නම් ශීඝ්‍රයෙන් ජනගහනය වර්ධනය වීම, පසේ සාරවත් බව නැති වීම, ජල හිඟය සහ ගෝලීය උණුසුම ඉහළ යෑමයි.”—Scientific American.

3වෙනි අනාවැකිය:

‘මහත් භූමිකම්පා ඇති වෙයි.’—ලූක් 21:11.

ඉටු වීම: භූමිකම්පා ඇති වන කලාපවල අද මිනිසුන් වැඩි පිරිසක් ජීවත් වන නිසා භූමිකම්පාවලින් මිය යන සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

සාක්ෂි:

  • “ලෝකයේ සිදු වන ව්‍යසනකාරී සිදුවීම් අතරින් මෑත කාලයේදී වැඩිදෙනෙකුගේ ජීවිතවලට හානි සිදු වී තිබෙන්නේ භූමිකම්පාවලිනුයි.”—World Disasters Report 2010.

  • වර්ෂ 1970 සිට 2001 දක්වා කාලය තුළ සෑම වසරකම භූමිකම්පා 19ක් සිදු වී තිබෙන අතර 19,547කගේ පමණ ජීවිත අහිමි වී තිබේ. * නමුත් 2002 සිට 2012 දක්වා කාලය තුළ සෑම වසරකම භූමිකම්පා 28ක් සිදු වී තිබෙන අතර අහිමි වූ ජීවිත සංඛ්‍යාව 67,954ක් පමණ වේ.

4වෙනි අනාවැකිය:

‘එක් තැනක් පාසා තවත් තැනක වසංගත ඇති වෙයි.’—ලූක් 21:11.

ඉටු වීම: අද වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු වී තිබුණත් බෝ වන රෝග නිසා සෑම වසරකම මිලියන ගණනක් මිය යයි. බෝ වන රෝග ශීඝ්‍රයෙන් පැතිරීමට හේතුව, පෙරට වඩා ජනයා රට රටවලට සංචාරය කිරීම සහ නගරවලට ජනයා ඇදී ඒමයි.

සාක්ෂි:

  • විසිවන සියවසේදී මිලියන 300ත් 500ත් අතර සංඛ්‍යාවක් වසූරිය නිසා මිය ගොස් ඇත.

  • වර්ල්ඩ්වොච් ආයතනය මෙවැනි වාර්තාවක් සපයයි. පසුගිය දශක තුන ඇතුළත “කලින් දැන නොසිටි රෝග 30කට වඩා වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන තිබේ. ඉන් සමහරක් නම් ඉබොලා, HIV, හන්ටාවයිරසය, සාස් වැනි රෝගයි.”

  • ප්‍රතිජීවක ඖෂධවලට ඔරොත්තු නොදෙන බැක්ටීරියා වැඩි වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. “ප්‍රතිජීවක ඖෂධවලින් කිසිම පලක් නැති කාලයක්” එන බව ඔවුන් තවදුරටත් පවසයි.

5වෙනි අනාවැකිය:

‘ඔවුන් එකිනෙකාව පාවා දෙයි. එකිනෙකාට වෛර කරයි. වැඩිදෙනාගේ ප්‍රේමයද හීන වී යයි.’—මතෙව් 24:10, 12.

ඉටු වීම: වෛරය නිසා මිලියන ගණනකගේ ජීවිත විනාශ වී තිබේ. රටවල් බොහොමයක සිදු වන යුද්ධ හා අපරාධ වැනි ක්‍රියා නිසා මිනිසුන් ජීවත් වන්නේ බියෙනුයි.

සාක්ෂි:

  • නාට්සි පාලන කාලයේදී යුදෙව්වන් හා වෙනත් ජාතීන් මිලියන හයකට ජීවිත අහිමි විය. මෙම අපරාධය සම්බන්ධයෙන් මහජනයා ක්‍රියා කළ ආකාරය ගැන සිග්මූන්ට් බැවුමන් නම් කර්තෘවරයා පැවසුවේ මෙයයි. “ඔවුන් කැලඹෙනවා වෙනුවට නිහඬව බලා සිටියා.”

  • BBC ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ මාස කිහිපයක් ඇතුළත ටුට්සි සහ හුටු ජාතිකයන් 8,00,000ක් පමණ ඝාතනයට ලක් වූ බවයි. එක් පර්යේෂකයෙක් පවසන්නේ මෙම ඝාතන සිදු කිරීමට 2,00,000ක් පමණ හවුල් වන්න ඇති කියායි.

  • සෑම වසරකම යුද්ධ හා අපරාධ හේතුවෙන් 7,40,000කට අධික සංඛ්‍යාවක් මිය යයි.

6වෙනි අනාවැකිය:

‘මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති’ අය වනු ඇත.—2 තිමෝති 3:2, 3.

ඉටු වීම: වර්තමානයේ සිටින මිනිසුන් කෑදරකමින් පිරී සිටින අතර ඔවුන් තුළ ගුණයහපත්කමක් දක්නට නැත. සමාජයේ බොහෝ ගැටලුවලට මුල මෙම නරක ගතිගුණයයි.

සාක්ෂි:

  • යුනිසෙෆ් ආයතනයේ වාර්තාවක සඳහන් වන්නේ එක්සත් රාජධානියේ දරුවන් හා දෙමාපියන් අතර එතරම් හොඳ බැඳීමක් නැති බවයි. ඒ නිසා එම අඩුව පිරවීමට දෙමාපියන් දරුවන්ට නවීනපන්නයේ උපකරණ ගෙනත් දීමට පෙලඹී තිබෙන බවත් එහි සඳහන් වේ.

  • ලොව පුරා මිලියන 275ක් පමණ දරුවෝ ගෘහස්ත හිංසනයට ලක් වෙති.

  • “ඇමරිකාවේ පමණක් මහලු වියේ පසුවන 5,00,000කට අධික ජනකායක් සෑම වසරකම කිසිවෙකුගේ හව්හරණක් නැති තත්වයකට පත් වේ.”—Centers for Disease Control and Prevention.

7වෙනි අනාවැකිය:

‘රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි.’—මතෙව් 24:14.

ඉටු වීම: බයිබලයේ සඳහන් වන්නේ දේවරාජ්‍යය ස්වර්ගයේ ස්ථාපිත කර තිබෙන සැබෑ ආණ්ඩුවක් කියායි. එහි රජ යේසුස් ක්‍රිස්තුස්ය. ඉදිරියේදී එම රාජ්‍යය “සියලු රාජ්‍යවල් [එනම් මිනිස් ආණ්ඩු] පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.”—දානියෙල් 2:44.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ ලොව පුරා දේශනා කරනු ලබන ශුභාරංචියේ ප්‍රධාන පණිවිඩය නම් දේවරාජ්‍යය සහ ඒ මගින් ඉටු කරන කාර්යයයි.

සාක්ෂි:

  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ මිලියන හතකට වඩා වැඩි සංඛ්‍යාවක් ලොව පුරා සිටිති. ඔවුහු රටවල් 230කට වඩා වැඩි සංඛ්‍යාවක දේවරාජ්‍යය ගැන අන් අයට කියා දෙති.

  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ භාෂා 500කට වඩා වැඩි ප්‍රමාණයකින් බයිබලයේ ඇති දැනුම මුද්‍රිතවත් විද්‍යුත් මාධ්‍යය හරහාත් බෙදාහරිති.

ඔබේ අනාගතය

බයිබලයේ අවසාන කාලය පිළිබඳව පළ කර ඇති අනාවැකි දැන් ඉටු වන බව මිලියන ගණන් ජනයා අවබෝධ කරගෙන සිටී. අප සලකා බැලූ ලිපි හයෙන්ම පැහැදිලි වන්නේ බයිබලයේ සඳහන් අනාවැකිවල නිරවද්‍යතාව ඉතිහාසයේ සාක්ෂිවලින් ඔප්පු වී ඇති ආකාරයයි.

එසේනම් අනාගතය ගැන බයිබලයේ සඳහන් අනාවැකි ඉටු වන බවට නිසැක විය හැකියි. අවසාන කාලයේ තිබෙන දුෂ්කර තත්වය නැති කර දමනවා කියා දෙවි පොරොන්දු වී තිබේ. එය අපේ ජීවිතයට ගෙන දෙන්නේ නව බලාපොරොත්තුවකි. ‘අවසාන කාලය’ නිමා වන්නේ කෙසේද කියාත් අපට උරුම වන ලස්සන අනාගතය ගැනත් ඊළඟ ලිපි දෙකෙන් සාකච්ඡා කරනු ලැබේ.

^ 22 ඡේ. භූමිකම්පාවක් ව්‍යසනයක් ලෙස ගණන්ගැනෙන්නේ පුද්ගලයන් දහයක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් මිය යෑම, පුද්ගලයන් 100ක් හෝ ඊට වැඩිදෙනෙකුට හානි වීම, රටේ හදිසි තත්වයක් ඇති වී තිබෙනවා කියා නිවේදනය කිරීම සහ ජාත්‍යන්තර සහනාධාර පැතීම වැනි කාරණා මතයි.—The Centre for Research on the Epidemiology of Disasters.