Skip to content

පටුනට යන්න

දෙමාපියනි! ඔබ සතු වගකීම

දෙමාපියනි! ඔබ සතු වගකීම

ඔබේ කිරිකැටි බිලිඳාව මුල්ම වතාවට අතට ගත් දවස ඔබට මතකද?

එදා ඔබට සතුටක් දැනුණත් දරුවෙකුව හදා වඩා ගැනීම ලොකු වගකීමක් කියා වැඩි කල් යන්න කලින් ඔබ තේරුම්ගන්න ඇති.

දෙමාපියෙක් වීම වගකීමක්. අද ඒ වගකීම ඉටු කිරීම වෙන කවරදාටත් වඩා අභියෝගයක් වී තිබෙනවා. ඔබේ ළමා කාලයේ නොතිබූ බොහෝ දේවලට අද ඔබේ දරුවා නිරාවරණය වෙනවා. ඊට එක් උදාහරණයක් වන්නේ අන්තර්ජාලයයි.

දෙමාපියෙක් හැටියට ඔබේ දරුවාට හොඳ නරක කියා දීමට මෙම යෝජනා තුන ඔබට ප්‍රයෝජනවත් වෙයි.

1 පවුලේ ප්‍රතිපත්ති දරුවාට කියා දෙන්න.

දරුවන් ටිකෙන් ටික ලොකු වෙද්දී හොඳ නරක පිළිබඳව වැරදි තොරතුරු රාශියක් මාධ්‍යයෙන් සහ මිතුරන්ගෙන් ඔවුන්ට ලැබෙනවා. මෙම වැරදි තොරතුරුවලට වැඩි වශයෙන් නිරාවරණය වන්නේ යෞවන වියේ දරුවන්. නමුත් පර්යේෂණවලින් හෙළි වී තිබෙන්නේ යෞවනයන් ඔවුන්ගේ ජීවිතයේ වැදගත් තීරණ ගැනීමේදී මිතුරන්ගේ අදහස්වලට වඩා දෙමාපියන්ගේ උපදෙස්වලට මුල් තැන දෙන බවයි.

ඔබට කළ හැකි දේ. හොඳ නරක කුමක්ද කියා තම දරුවන්ගේ සිතට කාවදින ආකාරයෙන් කියා දීම පුරාණ ඊශ්‍රායෙලයේ සිටි දෙමාපියන්ගේ වගකීමක් වුණා. (ද්විතීය කතාව 6:6, 7) ඔබටත් ඒ දේ කළ හැකියි. උදාහරණයකට ඔබ බයිබල් ප්‍රතිපත්ති අනුව ජීවත් වෙනවා නම් එවැනි ජීවිතයක් ගත කිරීමෙන් ඔබේ ජීවිතය කොතරම් සාර්ථක වී තිබෙනවාද කියා දරුවාට පෙන්වා දෙන්න.

2 කරන සෑම දෙයකටම ප්‍රතිඵලයක් තිබෙන බව කියා දෙන්න.

බයිබලයේ සඳහන් වන ආකාරයට “කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.” (ගලාති 6:7) මෙය අපේ ජීවිතයේ සෑම කාරණයකටම අදාළ වෙයි. ඔබේ ළමා කාලය ගැන මොහොතකට සිතා බලන්න. ඔබ යම් අමතක නොවන පාඩම් ඉගෙනගන්න ඇත්තේ ඔබ කළ යම් දේවලට ලැබූ ප්‍රතිඵල නිසා විය හැකියි.

ඔබට කළ හැකි දේ. හරි දේ කිරීමෙන් ලැබූ හොඳ ප්‍රතිඵල ගැනත් වැරදි දේ කිරීමෙන් ලැබූ නරක ප්‍රතිඵල ගැනත් දරුවාට කියා දෙන්න. ඒ සඳහා සැබෑ ජීවිත අද්දැකීම් යොදාගන්න. (ලූක් 17:31, 32; හෙබ්‍රෙව් 13:7) ඒ වගේම දරුවා අතින් සිදු වන වැරදි සැහැල්ලුවට ගන්න එපා. උදාහරණයකට දරුවා අතින් වෙනත් දරුවෙකුගේ සෙල්ලම් බඩුවක් කැඩුණා නම් ඒ වෙනුවට දරුවාගේ සෙල්ලම් බඩුවක් දෙන්න කියා ඔහුට පවසන්න. එසේ කිරීමෙන් අනික් අයගේ බඩු පාවිච්චි කරනවා නම් ඒවා පරෙස්සමෙන් පාවිච්චි කිරීමේ අවශ්‍යතාව දරුවා ඉගෙනගනියි. එවැනි පාඩම් දරුවාගේ මතකයේ හොඳින් රැඳේ.

3 හොඳ ගතිගුණ වර්ධනය කරගැනීමට උපකාර කරන්න.

බයිබලයේ මෙසේ සඳහන් වෙයි. “ළමයෙකුගේ ක්‍රියාවලින් ඔහුගේ චරිතය හෙළි වේ. එයින් ඔහුගේ අවංකකමද පිරිසිදුකමද දැනගත හැකිය.” (හිතෝපදේශ 20:11, නව අනුවාදය) දරුවෙක් ටිකෙන් ටික ලොකු වෙද්දී ඔහු හැසිරෙන ආකාරයෙන් අනාගතයේදී ඔහු මොන වගේ පුද්ගලයෙක් වෙයිද කියා තේරුම්ගත හැකියි. සමහර දරුවන්ගේ නරක ගතිගුණ කුඩා කාලයේදීම දැකගත හැකියි. (ගීතාවලිය 58:3) තවත් සමහර දරුවන් ගුණ යහපත් දරුවන් හැටියට හොඳ නමක් දිනාගෙන තිබෙනවා. උදාහරණයකට බයිබල් ලේඛකයෙක් වූ පාවුල්, යෞවන තිමෝති ගැන පැවසුවේ මෙසේයි. “ඔහුට සමාන ගතිලක්ෂණ ඇති, ඔහු තරම් ඔබ ගැන සැලකිලිමත් වන පුද්ගලයෙකු තවත් මට නැති තරම්ය. ඔහු ඔබ වෙතට පැමිණ ඔබ ගැන අවංක සැලකිල්ලක් දක්වයි කියා මට විශ්වාසයි.”—ෆිලිප්පි 2:20.

ඔබට කළ හැකි දේ. තමන් කරන දේට ප්‍රතිඵල ලැබෙන බව දරුවන්ට අවබෝධ කර දීම අවශ්‍යයි. ඊට අමතරව අන් අය ඉදිරියේ මොන වගේ නමක් දිනාගැනීමටද දරුවා කැමති කියා සිතා බැලීමට දිරිගන්වන්න. දරුවෙක් යම් අභියෝගයකට මුහුණ දෙන විට හරි තීරණ ගැනීමට පහත සඳහන් ප්‍රශ්න ගැන කල්පනා කර බැලීම ඔහුට උපකාරවත් වෙයි.

තමන් ක්‍රියා කළ ආකාරයෙන් හොඳ නමක් හෝ නරක නමක් දිනාගත් පුද්ගලයන් ගැන බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 10:11; යාකොබ් 5:10, 11) එම අද්දැකීම් යොදාගෙන හොඳ ගතිගුණ වර්ධනය කරගැනීමට ඔබේ දරුවාට උපකාර කරන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනවලින් ඔබටත් ඔබේ දරුවන්ටත් බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති අදාළ කරගන්නා ආකාරය ගැන අවබෝධයක් ලබාගත හැකියි.