Skip to content

පටුනට යන්න

යොවුන් සිතේ ගැටලු

විවාහයෙන් මං බලාපොරොත්තු වෙන්නේ මොනවද? 2වෙනි කොටස

විවාහයෙන් මං බලාපොරොත්තු වෙන්නේ මොනවද? 2වෙනි කොටස

කලින් ලිපියෙන් අපි සාකච්ඡා කළේ විවාහයෙන් ලැබෙන ආශීර්වාද සහ අභියෝග ගැනයි.

මේ ලිපියෙන් අපි සාකච්ඡා කරන්නේ විවාහය තුළ නොසිතූ දේවල් සිදු වෙනකොට ඊට මුහුණ දෙන්නේ කොහොමද කියලයි.

මෙහි ඇති කාරණාවලින් ඔයා වැදගත් කියලා හිතන කාරණා ඉදිරියෙන් ✔ ලකුණ දාන්න. ඒක ඔයාට වැදගත් වෙන අනුපිළිවෙළට අංක කරන්න.

මම විවාහ වෙන්න බලාපොරොත්තු වෙන කෙනා . . .

  • ලස්සන වෙන්න ඕනේ

  • මාව සතුටින් තියන්න ඕනේ

  • මට තියෙන ඉලක්කම තියෙන්න ඕනේ

  • මම විනෝදයට කරන දේවලට එයත් ආස වෙන්න ඕනේ

ඔයා විවාහ වෙන්න ඉන්න කෙනාගෙන් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන එක වැරදි නැහැ. ඒත් ඒ වගේ කෙනෙක්ව හමු වෙන්නේ කලාතුරකින්. කොහොමවුණත් කාලයත් එක්ක හැම කෙනෙක්ම වගේ වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි, තත්වයනුත් වෙනස් වෙනවා.

නිගමනය: විවාහයක් සාර්ථක වෙන්න නම් නොසිතූ දේවල් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න ඕනේ.

සතුටුදායක දේවල්. බලාපොරොත්තු නොවුණු සතුටුදායක දේවල්ද අද්දකින්න පුළුවන්.

“මම බඳින්න ඉන්න කාලේ හිතුවේ නැහැ මරියා මේ තරම් විහිළුතහළුවලට කැමතියි කියලා. * ප්‍රශ්න ගැන වුණත් අපි එච්චර ලොකුවට හිතන්නේ නැහැ. ජීවිතයත් සතුටින් ගෙවෙනවා.”මාක්.

අසතුටුදායක දේවල්. සමහරවිට නොසිතූ දුෂ්කර තත්වයකට මුහුණ දෙන්න සිදු වෙයි.

මෙහෙම හිතන්න. ඔයත් ඔයා විවාහ වෙන්න බලාපොරොත්තු වෙන කෙනාත්, වෙනත් ප්‍රදේශයකට ගිහින් දෙවිට සේවය කරන්න හිතාගෙන ඉන්නවා. ඒත් විවාහ වුණාට පස්සේ විවාහ වුණු කෙනා බරපතළ විදිහට අසනීප වුණොත් හිතාගෙන හිටපු දේ කරන්න බැරි වෙනවා. ‘නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් සියලුදෙනාටම සිදු වෙන්න පුළුවන්’ කියලා බයිබලයෙත් සඳහන් වෙනවා. (දේශනාකාරයා 9:11) ඒ වගේ අවස්ථාවක ඔයා කලකිරෙන්න පුළුවන්. ඒත් තත්වයට අනුව හැඩගැහෙන්න ඔයාට සිදු වෙයි. ඔයාගේ විවාහ ජීවිතයේ වැදගත්ම ස්ථානය හිමි වෙන්න ඕනේ ඔයා කරන්න හිතාගෙන හිටපු දේට නෙවෙයි ඔයා විවාහ වුණු කෙනාටයි.

නිගමනය: විවාහ වුණු අය “දුෂ්කරතාවලට” මුහුණ දෙනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 7:28) සමහරවිට ඒ දුෂ්කරතා පැමිණෙන්නේ නොසිතූ විදිහටයි.

නොසිතූ දෙයක් සිදු වුණාම ඊට මුහුණ දෙන්නේ කොහොමද? මේ කාරණා දෙක උපකාරවත් වෙයි.

1. සැබෑ තත්වය තේරුම්ගන්න

ඔයත් ඔයා විවාහ වෙන්න බලාපොරොත්තු වෙන කෙනාත් කොච්චර හොඳින් ගැළපුණත් . . .

  • හැම කාරණයකදීම එකඟ වෙන්නේ නැහැ

  • දෙන්නම මුල් තැන දෙන්නේ එකම දේට නෙවෙයි

  • ඔය දෙන්නම සතුටු වෙන්නේ එකම දෙයකින් නෙවෙයි

  • මුලින් තිබුණු ආදරය හැමදාම ඒ විදිහටම තියෙන්නේ නැහැ

ඒ වගේ දේවල් සාමාන්‍යයි. ඒත් විවාහයක් දෙකඩ වෙන්නේ ඔයා ඒ දේවල්වලට ඉඩ දුන්නොත් විතරයි. ප්‍රේමය ‘සියල්ල විඳදරාගනියි. ප්‍රේමය සදාතනිකයි’ කියලා බයිබලයේ සඳහන් වෙනවා.—1 කොරින්ති 13:4, 7, 8.

ඇත්ත තත්වය: ඔයාගේ විවාහය රැකෙනවාද නැත්නම් දෙකඩ වෙනවාද කියලා තීරණය වෙන්නේ ඔයා ප්‍රශ්න විසඳන විදිහෙනුයි.—කොලොස්සි 3:13.

2. විවාහය බැඳීමක්

දෙන්නා අතර ශක්තිමත් බැඳීමක් තියෙනවා නම් මොන ප්‍රශ්න ආවත් ඊට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්.—මතෙව් 19:6.

සමහර අය බැඳීම් සලකන්නේ බරක් හැටියටයි. ඒත් ඇත්තටම විවාහයක් ශක්තිමත් වෙන්නේ බැඳීම් නිසයි. ශක්තිමත් බැඳීමක් තියෙනවා නම් නොසිතූ තත්වයකට මුහුණ දෙන්න වෙනකොට ඒකෙන් ගොඩ එන්න උත්සාහ කරනවා මිසක් විවාහය කෙළවර කරන්න ඉක්මන් වෙන්නේ නැහැ.

විවාහ බැඳීම ශක්තිමත් කරගන්න නම් සුරංගනා සිතුවිලිවලින් මිදී විවාහය ගැන යථාර්ථවාදීව හිතන්න ඕනේ. ඒ කාරණය තේරුම්ගන්න පහත සඳහන් ක්‍රියාකාරකම කරන්න.

1. හිතන්න ඔයාට ලෝකේ ඕනෑම රටකට යන්න නොමිලේ ගුවන් ටිකට්පතක් ලැබුණා කියලා. ඔයා කොයි රටට යන්නද කැමති? ඒ ඇයි?

රට:

හේතු:

  • ලස්සන තැන්

  • සංස්කෘතිය

  • දේශගුණය

  • විනෝද වීමට හැකි

  • වෙනත්

2. දැන් හිතන්න ඔයාට ලැබෙන ගුවන් ටිකට්පත යන්න විතරයි කියලා. ඔයා ගියොත් ඒ රටේ පදිංචි වෙන්න සිදු වෙනවා.

දැන් ඔයා යන්න කැමති මොන රටටද?

  • රට:

  • නැත්නම්

    යන්නේ නැහැ.

ඔයා යන්න තීරණය කරපු රටවල් දෙක වෙනස් වෙන්න පුළුවන්. ඒ අවස්ථා දෙකේදීම ඔයා යන්න තීරණය කළේ එකම රටට වුණත් ඔයාගේ දෙවෙනි තේරීම ගැන වෙනස් විදිහකට හිතන්න වෙනවා. ඊට හේතුව පළවෙනි තේරීමේදී ඔයාට නිවාඩුවකට ගිහින් ලස්සන තැන් බලලා සතුටු වෙලා එන්න පුළුවන්. ඒත් දෙවෙනි තේරීමේදී ඔයා යන්නේ ස්ථිර පදිංචිකරුවෙක් හැටියට නිසා ඔයාට ලැබෙන ප්‍රයෝජන ගැන වගේම මුහුණ දෙන්න වෙන අභියෝග ගැනත් හිතන්න වෙනවා.

විවාහය ගැන හිතන්න ඕනෙත් ඒ විදිහටයි. කාලයත් එක්කම තත්වයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔය දෙන්නත් වෙනස් වෙන්න පුළුවන්. ඔයාගේ විවාහ ජීවිතය කොච්චර දුරට සාර්ථක වෙනවාද කියලා තීරණය වෙන්නේ නොසිතූ තත්වයන් ඇති වෙනකොට ඊට මුහුණ දෙන ආකාරය අනුවයි.

සිතා බලන්න: ඔයා තනිකඩ කෙනෙක් හැටියට දැන් ඔයාගේ ජීවිතයේ නොසිතූ තත්වයන් ඇති වෙනකොට ඒවාට මුහුණ දෙන්නේ කොහොමද?

 

^ 15 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

දෙමාපියන්ගෙන් අසන්න

අම්මයි තාත්තයි බැඳපු අලුත මුහුණ දුන්නේ මොන වගේ නොසිතූ දේවල්වලටද? මොන වගේ ආශීර්වාද ලැබුණද? මොන වගේ ප්‍රශ්න ඇති වුණාද? මම විවාහ වුණ දවසක නොසිතූ තත්වයන් ඇති වුණොත් මම මොනවද කරන්න ඕනේ?