Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතක පළ වූ මුරටැඹ සඟරා කියවීමෙන් ඔබ රස වින්දනයක් ලැබුවාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය හැකිදැයි බලන්න.

යේසුස්ට සහෝදර සහෝදරියන් සිටියා කියා අඟවන්නේ කුමකින්ද?

බයිබලයේ මතෙව් 13:55, 56හි සහ මාර්ක් 6:3හි ඒ පිළිබඳව සඳහන් වෙනවා. එම බයිබල් පදවල දැකිය හැකි ඇඩෙල්ෆොස් යන ග්‍රීක් වචනය “ශාරීරික හෝ නීත්‍යනුකූල සබඳතාවක් හැඳින්වීමට යොදා තිබෙන [අතර] ඉන් අදහස් වන්නේ පූර්ණ හෝ අර්ධ සහෝදරයෙකු මිස වෙන කිසිවක් නොවේ.” (කතෝලික බයිබල් ත්‍රෛමාසිකයේ 1992 ජනවාරි කලාපය [සිංහලෙන් නැත])—12/15, 3වන පිටුව.

යුද්ධයේ මුහුණුවර වෙනස් වී තිබෙන්නේ කොයි ආකාරයෙන්ද? මෙයට බොහෝවිට හේතු වී තිබෙන්නේ කුමන දේවල්ද?

මෑත කාලයේ යුද්ධ, විශේෂයෙන්ම සිවිල් යුද්ධ මිනිස් වර්ගයාට වසංගතයක් වී තිබෙනවා. මෙවන් යුද්ධවලදී එකම රටේ පුරවැසියන්ගෙන් සමන්විත ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතරයි සටන් සිදු වන්නේ. වාර්ගික හා ගෝත්‍රික වෛරය, ආගමික මතභේද, අයුක්තිය හා දේශපාලනික අර්බුද යනාදිය ප්‍රධාන හේතුකාරක වෙනවා. තවත් හේතුවක් වී තිබෙන්නේ බලයට හා මුදලට තිබෙන ගිජුකමයි.—1/1, 3 සහ4වෙනි පිටු.

ක්‍රිස්තියානීන් ආදර්ශ යාච්ඤාවේ වචන කටපාඩමෙන් කීම යේසුස් අදහස් නොකළ බව අප දන්නේ කොහොමද?

යේසුස් මෙම ආදර්ශ යාච්ඤාව දුන්නේ ඔහුගේ කන්ද උඩ දේශනයේදීයි. ඉන් මාස 18කට පමණ පසු යාච්ඤාව පිළිබඳ ඔහු කලින් දී තිබුණ උපදෙස්වල අත්‍යවශ්‍ය කරුණු ඔහු නැවත ප්‍රකාශ කළා. (මතෙව් 6:9-13; ලූක් 11:1-4) මෙහිදී සැලකිල්ලට ගත යුතු දෙයක් තිබෙනවා. එනම්, යේසුස් කලින් කියූ දේ වචනයෙන් වචනයට නැවත කීවේ නැති බව. කට පාඩම් කරගෙන අර්ථ විරහිත ලෙස යළි යළිත් කීම සඳහා යාච්ඤාවක් නොදුන් බව මින් ඇඟවෙනවා.—2/1, 8වන පිටුව.

ජලගැල්මට පසු පරෙවියා ඔලීව කොළයක් නැවට ගෙනාවේ කොහෙන්ද?

එම ජල කඳේ කොපමණ ලවණ ගතියක් හා උණුසුමක් තිබුණාද කියා අප දන්නේ නැහැ. නමුත් ඔලීව ගස් කපා දැමූ පසුත් දළුලන බව දන්නා කරුණක්. එමනිසා සමහර ශාක ජලගැල්මෙන් බේරී පසුව දළුලන්න ඇති.—2/15, 31වන පිටුව.

නයිජීරියාවේ සිවිල් යුධ සමයේ බයෆ්‍රා ප්‍රදේශයට දැමූ බාධක හමුවේ එම ප්‍රදේශයේ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන් ආත්මික ආහාර ලබාගත්තේ කොහොමද?

සිවිල් සේවකයෙකුට යුරෝපයට පත්වීමක් ලැබුණ අතර තවත් කෙනෙකුට බයෆ්‍රා ගුවන් ධාවන පථය පිහිටි තැනක සේවය කිරීමට ලැබුණා. මෙම දෙදෙනාම සාක්ෂිකරුවන්. ඔවුන් බයෆ්‍රා ප්‍රදේශයට ආත්මික ආහාර යැවීමේ භයානක කාර්යය භාරගත්තා. එමගින් 1970දී යුද්ධය අවසන් වන තුරු එහි සිටි සහෝදරයන්ගෙන් බොහෝදෙනෙකුට උපකාර කිරීමට ඔවුන්ට හැකි වුණා.—3/1 27වන පිටුව.

වෙස්ට්ෆේලියා සාම ගිවිසුම මගින් අත් කරගත්තේ කුමක්ද? එයට ආගම සම්බන්ධ වූයේ කොහොමද?

ප්‍රතිසංස්කරණය නිසා ශුද්ධ රෝම අධිරාජ්‍යය ආගම් තුනකට වෙන් කරනු ලැබුවා. ඒවා නම් කතෝලික, ලූතරන් සහ කැල්වින් ආගම්ය. රෙපරමාදු සංගමය සහ කතෝලික සංගමය බිහි වුණේ 17වන සියවසේදීයි. බොහීමියාහි ආගමික ගැටුමක් ලෙස පටන්ගත් දෙය අන්තර්ජාතික බලඅරගලයක් දක්වා තීව්‍ර වුණා. කතෝලික සහ රෙපරමාදු පාලකයන් ක්‍රියා කළේ දේශපාලනමය සහ වාණිජ්‍යමය වාසි ලබාගැනීම සඳහායි. අවසානයේදී සාම සාකච්ඡා වෙස්ට්ෆේලියා නමැති ජර්මන් ප්‍රාන්තයේ පැවැත්වුවා. වසර පහකට පමණ පසු 1648දී වෙස්ට්ෆේලියා ගිවිසුම අත්සන් කරනු ලැබුවා. ඒ හේතුවෙන් වසර තිහක් මුළුල්ලේ පැවති යුද්ධය නිම වූ අතර, ස්වාධීන රාජ්‍යයන්ගෙන් හෙබි මහද්වීපයක් වන නවීන දින යුරෝපය බිහි වුණා.—3/15, පිටු 20-3 දක්වා.

“වන මෘගයාගේ” සලකුණ හෙවත් නම වන 666 නමැති අංකයේ තේරුම කුමක්ද?

මෙම සංකේතය ගැන එළිදරව් 13:16-18හි සඳහන් කර තිබෙනවා. මෘගයාගෙන් නියෝජනය කරන්නේ මිනිස් පාලනයයි. මෘගයාට “මනුෂ්‍යයෙකුගේ අංකයක්” තිබීමෙන් අදහස් කරන්නේ දෙවිගේ මහිමයෙන් පහත වැටුණු මිනිසාට උරුම වී ඇති පාපය හා අසම්පූර්ණත්වය එම ආණ්ඩු මගින්ද පිළිබිඹු කරන බවයි. අංක 666 වශයෙන් හය එකවර තුන් වරක් ලිවීම මගින් මිනිස් ආණ්ඩු යෙහෝවාගේ ඇස් හමුවේ මුළුමනින්ම අසම්පූර්ණ නැත්නම් දෝෂසහගත බව ප්‍රකාශ කරනවා. මෙම සලකුණ දරන අය දේශපාලනික ආණ්ඩුවලට නමස්කාරය බඳු ගෞරවයක් ලබා දෙනවා. එසේ නැතහොත් ඔවුන්ගේ ගැලවීම සඳහා ඒවා මත රඳා සිටිනවා.—4/1, පිටු 4-7 දක්වා.