Skip to content

පටුනට යන්න

පරිවර්තනයට රුකුල් දුන් අතිවිශේෂ මෙවලමක් වූ—කොම්ප්ලුටෙන්සියන් පොලිග්ලොට් බයිබලය

පරිවර්තනයට රුකුල් දුන් අතිවිශේෂ මෙවලමක් වූ—කොම්ප්ලුටෙන්සියන් පොලිග්ලොට් බයිබලය

පරිවර්තනයට රුකුල් දුන් අතිවිශේෂ මෙවලමක් වූ—කොම්ප්ලුටෙන්සියන් පොලිග්ලොට් බයිබලය

වර්ෂ 1455දී පමණ බයිබල් ප්‍රකාශයට පත් කිරීමේ කාර්යයේ ඉමහත් වෙනසක් සිදු විය. අකුරු අතින් ඇමිණීමේ ක්‍රමයක් භාවිත කරමින් නිමවූ මුල්ම බයිබලය මුද්‍රණය කිරීමට යොහැනස් ගුටන්බර්ග් මුද්‍රණ යන්ත්‍රයක් උපයෝගී කරගත්තේය. මෙම පියවරත් සමඟ බයිබලය අතින් ලියන ලද පිටපත් අතළොස්සකට සීමා වී තිබූ යුගය අවසන් විය. ප්‍රතිඵලයක් ලෙස බයිබල් විශාල ප්‍රමාණවලින් හා අඩු වියදමින් එළිදැක්වීමට අවකාශ සැලසිණ. ඉන් වැඩි කලක් යන්නට මත්තෙන් බයිබලය ලෝකයේ වැඩියෙන්ම ප්‍රචලිත වූ පොත බවට පත් විය.

ගුටන්බර්ග් මුද්‍රණය කළේ ලතින් බයිබලයකි. එනමුත් බයිබලය ලියූ මුල් භාෂා වන හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාවලින් සම්පාදනය කළ විශ්වාස කළ හැකි මූලාශ්‍රයක් තිබීමේ අවශ්‍යතාව යුරෝපයේ විසූ විශාරදයෝ තේරුම්ගත්තෝය. පිළිගත හැකි එකම අනුවාදය ලෙස කතෝලික සභාව සැලකුවේ ලතින් වල්ගේට් අනුවාදයයි. එහෙත් එසේ සලකනු ලැබීම නිසා ප්‍රධාන වශයෙන් අවාසිසහගත තත්වයන් දෙකකට මුහුණ දීමට සිදු විය. දහසයවන සියවසේදී ජනයාගෙන් වැඩිදෙනාට ලතින් භාෂාව තේරුණේ නැත. ඒත් සමඟම අවුරුදු දහසක් වැනි කාල පරිච්ඡේදයක් පුරා වල්ගේට් අනුවාදය පිටපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, පිටපත් කරන්නන් අතින් නොයෙකුත් දෝෂ එම ලියවිල්ලට ඇතුළත් වී තිබිණ.

පරිවර්තකයන්ට මෙන්ම විශාරදයන්ටද මුල් භාෂාවලින් බයිබලයක් මෙන්ම වඩාත් නිවැරදි ලතින් පරිවර්තනයක්ද අවශ්‍ය විය. වර්ෂ 1502දී එකම ග්‍රන්ථයකින් මෙම අවශ්‍යතාව පිරිමැසීමේ අටියෙන් ස්පාඤ්ඤයේ පළමුවන ඉසබෙලා රැජිනගේ දේශපාලන මෙන්ම ආගමික උපදේශක වූ කාදිනල් හිමිනෙත් දේ තිස්නිරොස් පියවර ගත්තේය. අතිවිශේෂ වැදගත්කමකින් යුත් මෙම පරිවර්තන මෙවලම ප්‍රසිද්ධ වූයේ කොම්ප්ලුටෙන්සියන් පොලිග්ලොට් බයිබලය යන නමිනි. තිස්නිරොස්ගේ ඉලක්කය වූයේ හෙබ්‍රෙව්, ග්‍රීක සහ ලතින් භාෂාවලින් මෙන්ම ඇතැම් කොටස් සඳහා අරාමීය භාෂාවෙන් යුත් ඉස්තරම්ම ගණයේ ලියවිලි උපයෝගී කරගෙන පොලිග්ලොට් බයිබලයක්, එනම් බහුභාෂා බයිබලයක් පිළියෙළ කිරීමය. මුද්‍රණ ශිල්පය තවමත් එහි මුල් අවදියේ පැවතුණු බැවින් මෙම කෘතිය මුද්‍රණ ශිල්පයේ දියුණුවටද බෙහෙවින් දායක විය.

තිස්නිරොස් සිය භාරදූර කාර්යය ආරම්භ කළේ ස්පාඤ්ඤයේ සුලබව තිබුණු පුරාණ හෙබ්‍රෙව් අත්පිටපත් මිල දී ගැනීමෙනි. ඔහු නොයෙකුත් ග්‍රීක මෙන්ම ලතින් අත්පිටපත්ද එක් රැස් කළේය. පොලිග්ලොට් කෘතියෙහි අන්තර්ගතයට මූලාශ්‍රය වූයේ මෙම අත්පිටපත්ය. මෙම කෘතිය සම්පාදනය කිරීමේ කාර්යය තිස්නිරොස් භාර දුන්නේ විශාරද මඬුල්ලකටය. ඒ සඳහා ඔහු සංවිධානය කළ ස්ථානය වූයේ ස්පාඤ්ඤයේ අලුතින් විවෘත කර තිබූ එල්කේලේ දේ ඒනේරේස් සරසවියයි. මෙම කටයුත්තට අත හිත දීමට තිස්නිරොස් ආරාධනා කළ විශාරදයන් අතර, රොටර්ඩෑම්හි ඉරැස්මස්ද විය. එනමුත් මෙම සුප්‍රසිද්ධ භාෂාවේදියා එම ආරාධනය ප්‍රතික්ෂේප කළේය.

මෙම දැවැන්ත කෘතිය අවසන් කිරීමට විශාරද මඬුල්ලට දස අවුරුද්දක් ගත විය. ඉන් අනතුරුව මුද්‍රණ කටයුතුවලට තවත් වසර සතරක් ගත විය. ස්පාඤ්ඤයේ මුද්‍රණ ශිල්පීන්ට හෙබ්‍රෙව්, ග්‍රීක හෝ අරාමීය අකුරු කට්ටල නොතිබුණු නිසා නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු විය. එම නිසා මෙම භාෂාවලින් අවශ්‍ය අකුරු කට්ටල පිළියෙළ කිරීම සඳහා තිස්නිරොස් දක්ෂ මුද්‍රණ ශිල්පියෙකු වූ ඒර්නේල්දෝ ගියෙර්මෝ බ්‍රොකාර්ගේ උපකාරය ලබාගත්තේය. කෙසේ හෝ මුද්‍රණය කිරීම 1514දී ආරම්භ විය. වෙළුම් හයකින් යුත් මෙම කෘතියේ මුද්‍රණ කටයුතු නිමා කරන ලද්දේ 1517 ජූලි 10වන දාය. එනම්, තිස්නිරොස් කාදිනල්වරයාගේ මරණයට මාස සතරකට පෙරාතුවය. මෙම කෘතියේ පිටපත් හයසියයක් පමණ මුද්‍රණය කරන ලදි. පුදුමයකට මෙන් මෙම කටයුත්ත සිදු කරන ලද්දේ ස්පාඤ්ඤයේ මිථ්‍යා ලබ්ධිකයන්ට දඬුවම් කළ පූජක සභාව ක්‍රියාත්මක වූ දරුණුතම අවදියේදීය. *

මෙම කෘතියේ අංග ලක්ෂණ

පොලිග්ලොට් බයිබලයේ සෑම පිටුවකම තොරතුරු සම්භාරයක් අන්තර්ගත විය. හෙබ්‍රෙව් ලියවිල්ල ඇතුළත් වෙළුම් සතරෙහි වල්ගේට් අනුවාදය මුද්‍රණය කර තිබුණේ සෑම පිටුවකම මැද තීරුවේය. පිට තීරුවේ හෙබ්‍රෙව් භාෂා පිටපතද, ඇතුල් තීරුවේ ග්‍රීක භාෂා පිටපතද මුද්‍රණය කර තිබුණේය. ග්‍රීක භාෂා පිටපතේ සෑම පේළියක් අතරම එම ග්‍රීක වචන ලතින් භාෂාවට පරිවර්තනය කර තිබිණ. සෑම පිටුවකම අයින්වල හෙබ්‍රෙව් යෙදුම් බොහොමයක මූලික අරුත් දක්නට ලැබිණ. තවද, පංච පුස්තකය ලෙස හැඳින්වෙන, බයිබලයේ මුල් පොත් පහ අඩංගු කොටසේ සෑම පිටුවකම පහළ කොටසේ ටාගූම් ඔෆ් ආන්කලාස් යන අනුවාදය සහ ලතින් බසට කළ එහි පරිවර්තනයක් සංස්කාරකයන් විසින් ඇතුළත් කරන ලදි. (ටාගූම් ඔෆ් ආන්කලාස් යනු අරාමීය බසින් වූ බයිබලයේ මුල් පොත් පහේ සරල අදහස් දැක්වීමකි.)

පොලිග්ලොට් බයිබලයේ පස්වන වෙළුමේ තීරු දෙකකට සකස් කළ ග්‍රීක ලියවිල්ලක් අන්තර්ගත විය. එක් තීරුවක මුද්‍රණය කර තිබුණේ ග්‍රීක ලියවිල්ලෙන් කොටසකි. අනික් තීරුවේ තිබුණේ, එම පදම අඩංගු වල්ගේට් අනුවාදයෙන් රැගත් ලතින් භාෂාවෙන් වූ කොටසයි. භාෂා දෙකේ පද අතර සම්බන්ධය දැක්වීමට කුඩා අකුරු යොදාගනු ලැබූ අතර, ඒවා මගින් ප්‍රතිවිරුද්ධ තීරුවේ ඊට අදාළ වචනය කුමක්ද කියා සොයාගැනීමට පාඨකයාට මඟ පෙන්වීමක් දෙන ලදි. ග්‍රීක ලියවිල්ල හෙවත් “අලුත් ගිවිසුම” සම්පූර්ණ වශයෙන් මුද්‍රණය කළ මුල්ම අවස්ථාව මෙයයි. ඉන් වැඩි කලක් යන්නට මත්තෙන් ඉරැස්මස් පිළියෙළ කළාවූ සංස්කරණය මුද්‍රණය කරන ලදි.

පස්වන වෙළුමේ සෝදුපත් කියවීමේදී විශාරද මඬුල්ල ඉමහත් සැලකිල්ලක් දැක්වූහ. එම නිසා එහි දක්නට ලැබුණේ මුද්‍රණ දෝෂ 50ක් පමණි. මෙම විශාරදයන් මෙලෙස ඉතා කල්පනාකාරීව ක්‍රියා කළ නිසා නූතන විචාරකයන්ගේ මතය වන්නේ මෙම ග්‍රීක සංස්කරණය ඉරැස්මස්ගේ සුප්‍රසිද්ධ ග්‍රීක සංස්කරණයට වඩා ඉහළ තලයක තිබෙන බවය. තවද, මෙම පිටපතෙහි භාවිත කර ඇති ග්‍රීක අකුරුවල අලංකාරවත් පෙනුම, මීට වඩා පැරණි අත්පිටපත්වල දක්නට ලැබූ කැපිටල් අකුරුවල පෙනුමට සමානය. රොබට් ප්‍රොක්ටර් තමා ලියූ පොතක (The Printing of Greek in the Fifteenth Century) මෙසේ පවසයි. “මෙතෙක් නිමවූ හොඳම ගණයේ ග්‍රීක අකුරු කට්ටලය නිමවීම සඳහා අවිවාදයෙන්ම ගෞරවය හිමි විය යුත්තේ එම කටයුත්තට හා හා පුරා කියා අත තැබූ ස්පාඤ්ඤයටය.”

පොලිග්ලොට් බයිබලයේ හයවන වෙළුමෙහි බයිබල් අධ්‍යයනය සඳහා නොයෙකුත් ආධාරක ඇතුළත් කර තිබිණ. හෙබ්‍රෙව් සහ අරාමීය ශබ්දකෝෂයක්ද ග්‍රීක, හෙබ්‍රෙව් සහ අරාමීය නම්වල අර්ථ දැක්වීමක්ද හෙබ්‍රෙව් ව්‍යාකරණ පොතක් හා ශබ්දකෝෂය සඳහා ලතින් බසින් සකස් කරන ලද සූචියක්ද එම ආධාරක අතර විය. කොම්ප්ලුටෙන්සියන් පොලිග්ලොට් බයිබලය “මුද්‍රණ කලාවේ හා ශුද්ධ ලියවිලි අධ්‍යයනයේ සුවිශේෂ කෘතියක්” ලෙස පැසසුමට ලක් කිරීම පුදුමයට හේතුවක් නොවේ.

තිස්නිරොස්ගේ අභිප්‍රාය වූයේ “ඒ වන විට උදාසීන තත්වයට පත්ව තිබුණු බයිබලය අධ්‍යයනය කිරීමේ නැඹුරුවාව යළි පණගැන්වීමයි.” එහෙත් බයිබලය පොදු ජනයාට ලබා දීමට ඔහු තුළ කිසිදු කැමැත්තක් නොතිබිණ. ඔහු සිතුවේ “දේවවචනය පොදු ජනයාට තේරුම්ගත නොහැකි වන සේ නොයෙකුත් අභිරහස්වලින් පුරවා එය සූක්ෂ්ම ලෙස ඔවුන්ගෙන් ඈත් කළ යුතු බවය.” එමෙන්ම “කුරුසයේ ඇණ ගසන ලද දේවපුත්‍රයාණන්ගේ හිසට ඉහළින් ලියන ලද සටහන භාෂා තුනකින් පමණක් ලිවීමට දෙවියන් ඉඩ දුන් නිසා, ශුද්ධ ලියවිල්ලද ඒ ඉපැරණි භාෂා තුනට පමණක් සීමා කළ යුතු බවත්” ඔහු විශ්වාස කළේය. * මෙම හේතුව නිසාම කොම්ප්ලුටෙන්සියන් පොලිග්ලොට් බයිබලයට ස්පාඤ්ඤ බසින් කිසිදු පරිවර්තනයක් ඇතුළත් කර නොතිබිණ.

වල්ගේට් අනුවාදය—මුල් භාෂා හා සසඳමින්

පොලිග්ලොට් බයිබලයේ අංග ලක්ෂණ හේතුවෙන් ඊට දායක වූ විශාරදයන් අතර ඇතැම් මතභේද පැනනැඟිණ. මෙහි ඇතුළත් වල්ගේට් අනුවාදයේ අන්තර්ගතය සංශෝධනය කිරීමේ කාර්යය භාර දෙනු ලැබුවේ සුප්‍රසිද්ධ ස්පාඤ්ඤ විශාරද ආන්ටෝන්යෝ දේ නේබ්‍රිහේටයි. * කතෝලික සභාව ජෙරෝම්ගේ වල්ගේට් අනුවාදය එකම නිල ලත් අනුවාදය ලෙස සැලකුවද, වල්ගේට් අනුවාදය මුල් හෙබ්‍රෙව්, අරාමීය සහ ග්‍රීක පිටපත් හා සැසඳීමේ අවශ්‍යතාව නේබ්‍රිහේ දිටීය. වල්ගේට් අනුවාදයේ තිබුණු පිටපත්වලට යම් යම් කාලවලදී ඇතුල් වූ පැහැදිලි දෝෂ නිවැරදි කිරීම ඔහුගේ අභිප්‍රාය විය.

වල්ගේට් අනුවාදය සහ මුල් භාෂා අතර යම් වෙනස්කම් ඇතොත් ඒවා නිරවුල් කරගැනීමට නේබ්‍රිහේ තිස්නිරොස්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ මෙලෙසය. “අපගේ ආගම සම්බන්ධයෙන් ඥානාලෝකය සපයන, දැනට නිවුණු පන්දම් දෙකක් මෙන් වූ හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂා යළි දල්වන්න. එම කාර්යය ඉටු කිරීමට ඇප කැප වී වැඩ කරන අයට ප්‍රතිලාභ දෙන්න.” ඔහු මතු දැක්වෙන යෝජනාවද ඉදිරිපත් කළේය. “අලුත් ගිවිසුම අඩංගු ලතින් අත්පිටපත් අතර වෙනස්කමක් දකින සෑම අවස්ථාවකදීම අප ග්‍රීක අත්පිටපත් සමඟ එය සැසඳිය යුතුය. එමෙන්ම පැරණි ගිවිසුම අඩංගු නොයෙකුත් ලතින් අත්පිටපත් අතර හෝ ලතින් හා ග්‍රීක අත්පිටපත් අතර හෝ වෙනස්කමක් දක්නට ලැබෙන සෑම අවස්ථාවකදීම, නිවැරදි නිගමනයකට එළඹීම සඳහා අප විශ්වාස කළ හැකි හෙබ්‍රෙව් මූලාශ්‍රය උපයෝගී කරගෙන ගවේෂණය කළ යුතුය.”

තිස්නිරොස් මෙම යෝජනාවලට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? පොලිග්ලොට් බයිබලයේ පෙර වදනෙහි තිස්නිරොස් තම මතය ඉතා පැහැදිලිව මෙසේ දැක්වීය. “අප ශුද්ධ වූ ජෙරෝම් තුමාගේ ලතින් පරිවර්තනය තබා ඇත්තේ සිනගෝගය [හෙබ්‍රෙව් පාඨය] හා පෙරදිග සභාව [ග්‍රීක පාඨය] අතරය. එය හරියටම රෝමානු නොහොත් ලතින් සභාව නියෝජනය කරන ජේසු තුමා දෙපැත්තේ එල්ලා තැබුවාවූ සොරුන් දෙදෙනා මෙනි.” මෙයින් පෙනී යන්නේ තිස්නිරොස් ලතින් වල්ගේට් අනුවාදය මුල් භාෂාවලින් කරන ලද ලියවිල්ලට එකඟව නිවැරදි කිරීමට නේබ්‍රිහේට අවසර නුදුන් බවය. මෙවැනි දෝෂ සහිත අනුවාදයක් නිකුත් කිරීම සඳහා දායක වීමට නොකැමතිව නේබ්‍රිහේ මෙම ව්‍යාපෘතිය අත්හැරියේය.

කෝමා යෝහානේවුම්

එල්කේලේ දේ ඒනේරේස්හි නිමවූ පොලිග්ලොට් බයිබලය සම්පාදනය කිරීම, මුල් භාෂාවලින් වූ බයිබලයේ වඩාත් නිවැරදි පිටපතක් නිමවීමේ කාර්යයේ දැවැන්ත පියවරක් විය. එනමුත් විශාරදයන් සොයාගත් දේ අබිබවමින් සම්ප්‍රදාය විටින් විට බලපැවැත්වීය. වල්ගේට් අනුවාදය එතරම් ගරුබුහුමන් සහිතව සැලකූ නිසා, සංස්කාරකයන් කිහිප වතාවක්ම පෙලඹුණේ “අලුත් ගිවිසුම” අඩංගු ග්‍රීක ලියවිල්ල ලතින් අනුවාදයට අනුකූල වන ලෙස නිවැරදි කිරීමටයි. ඇත්තටම කළ යුතුව තිබුණේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයයි. මීට එක් උදාහරණයකි, කෝමා යෝහානේවුම් ලෙස හැඳින්වෙන අදහස විකෘති කර තිබෙන බවට සුප්‍රසිද්ධ වූ පදය. * මුල් කාලීන ග්‍රීක අත්පිටපත් කිසිවකවත් මෙම පදය මෙසේ දක්නට ලැබුණේ නැත. පෙනෙන ප්‍රකාරයට මෙය යොහන් සිය ලිපිය ලියා සියවස් කිහිපයක්ම ගත වූවායින් පසුව ඇතුළත් කරන ලද්දකි. මෙය වල්ගේට් අනුවාදයේ පැරණිම ලතින් අත්පිටපත්වලවත් දක්නට ලැබුණේ නැත. එබැවින් තම ග්‍රීක “අලුත් ගිවිසුමෙන්” ඉරැස්මස් එය ඉවත් කළේය.

සියවස් ගණනාවක් පුරා සම්ප්‍රදායික වල්ගේට් අනුවාදයේ ඇතුළත්ව තිබූ පදයක් ඉවත් කිරීමට පොලිග්ලොට් බයිබලයේ සංස්කාරකයෝ ඉතා අකමැති වූහ. එබැවින්, ඔවුහු මෙම පදය ලතින් පිටපතෙන් ඉවත් නොකළෝය. එපමණක්ද නොව, ග්‍රීක සහ ලතින් තීරු දෙක අතර කිසිදු වෙනසක් නොදක්වන අදහසින්, මේ පදය පරිවර්තනය කර ග්‍රීක ලියවිල්ලට ඇතුළත් කිරීමට තීරණය කළෝය.

නව බයිබල් පරිවර්තනවලට මූලාශ්‍රයක්

කොම්ප්ලුටෙන්සියන් පොලිග්ලොට් බයිබලය සමන්විත වූයේ සම්පූර්ණ ග්‍රීක ලියවිල්ලෙන් සහ සෙප්ටූඅජින්ට් අනුවාදයෙනි. මෙලෙස සංස්කරණය කර මුද්‍රණය කළ මුල්ම බයිබලය එය විය. එසේ වුවත් එහි වටිනාකම එම කාරණයට පමණක් සීමා වී නැත. ඉරැස්මස් ග්‍රීක බසින් කළ “අලුත් ගිවිසුම” ‘ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ සම්මත පාඨය’ බවට පත් වූවා සේම, පොලිග්ලොට් බයිබලයේ හෙබ්‍රෙව් කොටස, හෙබ්‍රෙව්-අරාමීය ශුද්ධ ලියවිල්ල සඳහා ප්‍රධාන මූලාශ්‍රයක් බවට පත් විය. (සම්මත පාඨයක් ලෙස හැඳින්වෙන්නේ, බයිබලය වෙනත් භාෂාවලට පරිවර්තනය කිරීම සඳහා භාවිත වන මූලාශ්‍රයකි.) * විලියම් ටින්ඩේල් බයිබලය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරද්දී, හෙබ්‍රෙව් ලියවිල්ල සඳහා පදනම් කරගත්තේ මෙම පොලිග්ලොට් බයිබලයයි.

මේ අනුව බලන කල කොම්ප්ලුටෙන්සියන් පොලිග්ලොට් බයිබලය නිම කළ විශාරද මඬුල්ල ශාස්ත්‍රීය වශයෙන් ඉටු කළ දේ ශුද්ධ ලියවිල්ල පිළිබඳව ලැබී ඇති අවබෝධයේ උන්නතියට බෙහෙවින් දායක විය. ඇත්තෙන්ම එය එළි දුටුවේ යුරෝපය පුරාම බයිබලය කෙරෙහි උනන්දුව ජනිත වූ අවදියකයි. මෙම උනන්දුවේ ප්‍රතිඵලයක් ලෙස පොදු ජනයාට හුරු භාෂාවකින් එය පරිවර්තනය කිරීමටද මඟ පෑදිණ. ග්‍රීක සහ හෙබ්‍රෙව් පාඨය වඩා නිර්මල තත්වයකට ගෙන ඒමට හා රක්ෂා කිරීමට උපකාරවත් වූ ක්‍රියාදාමයේ එක් පුරුකකි, පොලිග්ලොට් බයිබලය සම්පාදනය කිරීම. ඇත්තවශයෙන්ම, සිදු වූ සෑම දෙයක්ම සිදු වී ඇත්තේ, ‘යෙහෝවාගේ නිර්මල වචනය’ එනම් “අපේ දෙවිගේ වචනය සදාකාලේටම පවත්නේය” යන දිව්‍ය අරමුණට අනුකූලවය.—ගීතාවලිය 18:30; යෙසායා 40:8; 1 පේතෘස් 1:25.

[පාදසටහන්වල]

^ 6 ඡේ. පිටපත් 600ක් කඩදාසිවලින්ද පිටපත් හයක් පාච්මන්ට් කඩදාසිවලින්ද නිමවන ලදි. වර්ෂ 1984දී අලුතින් සීමිත පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කරන ලදි.

^ 12 ඡේ. හෙබ්‍රෙව්, ග්‍රීක සහ ලතින්.—යොහන් 19:20.

^ 14 ඡේ. ස්පාඤ්ඤයේ මානවවාදීන්ගේ (ලිබරල්වාදී විශාරදයන්ගේ) පුරෝගාමියා ලෙස සැලකෙන්නේ නේබ්‍රිහේය. වර්ෂ 1492දී ඔහු ග්‍රේමේටිකා කෙස්ටෙල්යේනේ (කැස්ටිලියානු භාෂාවේ ව්‍යාකරණය) යන කෘතිය මුල්ම වරට පළ කළේය. ඉන් වසර තුනකට පසුව තම ඉතිරි ජීවිත කාලය ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කිරීම සඳහා යොමු කිරීමට තීරණය කළේය.

^ 18 ඡේ. බයිබලයේ ඇතැම් පරිවර්තනවල 1 යොහන් 5:7හි අදහස මෙසේ විකෘති කර තිබේ: “ස්වර්ගයෙහි සාක්ෂි දරන තුන්දෙනක; එනම් පියාණන්වහන්සේය, වාක්‍යයාණන්වහන්සේ, ආත්මයාණන්වහන්සේය; මේ තුන්දෙනම ඒකත්වයක්ව සිටිනසේක.”

^ 21 ඡේ. ඉරැස්මස් ඉටු කළ දේ පිළිබඳ විස්තරයක් සඳහා, 1982 සැප්තැම්බර් 15 මුරටැඹ සඟරාවේ 8-11 දක්වා පිටු බලන්න.—සිංහලෙන් නැත.

[29වන පිටුවේ පින්තූරය]

කාදිනල් හිමිනෙත් දේ තිස්නිරොස්

[හිමිකම් විස්තර]

Biblioteca Histórica. Universidad Complutense de Madrid

[30වන පිටුවේ පින්තූරය]

ආන්ටෝන්යෝ දේ නේබ්‍රිහේ

[හිමිකම් විස්තර]

Biblioteca Histórica. Universidad Complutense de Madrid

[28වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Biblioteca Histórica. Universidad Complutense de Madrid