Skip to content

පටුනට යන්න

රෙබෙකා—යුහුසුලුව කටයුතු කළ දේවභයැති කාන්තාවක්

රෙබෙකා—යුහුසුලුව කටයුතු කළ දේවභයැති කාන්තාවක්

රෙබෙකා—යුහුසුලුව කටයුතු කළ දේවභයැති කාන්තාවක්

හිතන්න ඔබ ඔබේ පුතාට භාර්යාවක් සොයනවා කියලා. කොයි වගේ කෙනෙක්වද ඔබ තෝරගන්නේ? ඇයට තිබිය යුත්තේ කිනම් සුදුසුකම්ද? ඔබ සොයන්නේ මනා රූ සපුවකින් හෙබි, බුද්ධිමත්, කරුණාවන්ත සහ කඩිසර තැනැත්තියක්වද? නැත්නම් ඔබ වෙන යමක් මූලික වශයෙන් බලාපොරොත්තු වෙනවාද?

ආබ්‍රහම් මෙම ප්‍රශ්නයට මුහුණ දුන්නා. ඔහුගෙන් පැවත එන්නන්ට ඔහුගේ පුත් ඊසාක් තුළින් ආශීර්වාද ලැබෙන බවට යෙහෝවා ඔහුට පොරොන්දුවක් දී තිබුණා. අප ආබ්‍රහම්ගේ වාර්තාව සලකා බලන්න යන්නේ ඔහු මහලු වයසේ සහ ඔහුගේ පුත් තවමත් අවිවාහකයෙකුව සිටින අවස්ථාවේ සිටයි. (උත්පත්ති 12:1-3, 7; 17:19; 22:17, 18; 24:1) ඊසාක්ට ලැබෙන්නට යන ආශීර්වාද ඔහුගේ භාර්යාව වීමට යන තැනැත්තිය සහ ඔවුන්ට ලැබෙන්නාවූ දරු මුනුපුරන් සමඟ බෙදාගැනීමට තිබෙන නිසා ආබ්‍රහම් ඊසාක්ට සුදුසු භාර්යාවක් සොයාගැනීමට සැලසුම් යොදනවා. ඇයට තිබිය යුතු මූලිකම සුදුසුකම ඇය යෙහෝවාගේ සේවිකාවක් වීමයි. ආබ්‍රහම් ජීවත් වන කානාන් දේශයේ එවැනි කාන්තාවක් සොයාගැනීමට නැහැ. ඔහුට වෙනත් දේශයකින් තමයි සොයාගැනීමට සිදු වෙන්නේ. අන්තිමේදී තෝරාගත්තේ රෙබෙකාවයි. ඇයව සොයාගත්තේ කොහොමද? ඇය ආත්මික දේවල්වලට ලැදි කාන්තාවක්ද? ඇගේ ආදර්ශය සලකා බැලීමෙන් අපට මොනවාද ඉගෙනගන්න පුළුවන්?

සුදුසුකම් ඇති කාන්තාවක් සෙවීම

ආබ්‍රහම්ගේ නෑදෑයින් වන යෙහෝවාගේ සෙසු නමස්කාරකයින්ගෙන් ඊසාක්ට මනමාලියක් රැගෙන ඒමට ආබ්‍රහම් තම වැඩිමහල්ම සේවකයාව, පෙනෙනාකාරයට එලියාසර්ව දුර ඈත ප්‍රදේශයක් වන මෙසපොතේමියාවට යවනවා. මෙය ඉතාමත් බාරදූර රාජකාරියක්. ඊසාක්ට කානානිවරුන්ගෙන් මනාලියක් රැගෙන නොඑන බවට කියා එලියාසර් විසින් ආබ්‍රහම්ට දිවුරා කියන්න සිදු වෙනවා. මෙම කාරණය ආබ්‍රහම් මහත් උවමනාවකින් අවධාරණය කිරීම සැලකිල්ලට ගත යුත්තක්.—උත්පත්ති 24:2-10.

එලියාසර් ආබ්‍රහම්ගේ නෑදෑයින් සිටි නගරයට ගිය පසු ඔහුගේ ඔටුවන් දසදෙනාව ළිඳක් අසලට ගෙන එනවා. සිද්ධිය සිතෙන් මවාගන්න! වේලාව සවස් කාලය. එලියාසර් දැන් යාච්ඤා කරනවා. “බැලුව මැනව, මම දිය උල්පත ළඟ සිටිමි. නුවර මනුෂ්‍යයන්ගේ දූවරු වතුර අදින පිණිස නික්ම එති. මට බොන පිණිස ඔබේ කළය පහත් කරන්නැයි මම යම් තරුණියකට කීවාම; බොන්න, ඔබේ ඔටුවන්ටත් බොන්ට දෙමියි කියන්නාවූ තරුණිය ඔබගේ මෙහෙකරු වූ ඊසාක්ට ඔබ නියම කළ තැනැත්තී වේවා.”—උත්පත්ති 24:11-14.

එම දේශයේ හැම කාන්තාවක්ම පාහේ දන්නවා පිපාසිත ඔටුවෙකුට වතුර විශාල ප්‍රමාණයක් (ගැලුම් 25ක් පමණ) බීමට හැකි බව. එමනිසා ඔටුවෝ දසදෙනෙකුට වතුර ඇද දීමට ඉදිරිපත් වන යම් කාන්තාවක් ඉතාමත් වෙහෙසකර වැඩකට සූදානම්ව සිටිය යුතුයි. අනෙක් අය උපකාරයක් කිරීමට ඉදිරිපත් නොවී බලා සිටියදී ඇය විසින් එම කාර්යය කිරීම මගින් ඇගේ ශක්තිය, ඉවසීම, නිහතමානිකම සහ මනුෂ්‍යයාත් තිරිසනාත් කෙරෙහි ඇයට තිබූ කරුණාව පිළිබඳ පැහැදිලි සාක්ෂියක් ලබා දෙයි.

කුමක්ද සිදු වෙන්නේ? “ඔහු කතා කොට නිම වන්ට පළමුවෙන්, මෙන්න, ආබ්‍රහම්ගේ සහෝදර නාහොර්ගේ භාර්යාව වූ මිල්කාගේ පුත්‍ර වූ බෙතුයෙල් නිසා උපන්නාවූ රෙබෙකා ඇගේ කරේ කළය තබාගෙන පිටතට ආවාය. ඒ තරුණි ඉතා ශෝභන පෙනුමක් ඇත්තියක්ය, කන්‍යාවක්ය, . . . ඈ උල්පත ළඟට බැස කළය පුරවාගෙන ගොඩට ආවාය. මෙහෙකරුවා ඈ ඉදිරියට දිව ගොස්: ඔබේ කළයෙන් වතුර ටිකක් බොන්නට දෙන්නැයි කීය. ඈද: මාගේ ස්වාමිනි, බිව මැනවියි කියා ඇගේ කළය ඉක්මනින් අත පිටට ගෙන ඔහුට බොන්ට දුන්නාය.”—උත්පත්ති 24:15-18.

රෙබෙකාට සුදුසුකම් තිබෙනවාද?

රෙබෙකා ආබ්‍රහම්ගේ ඥාති මිනිබිරියක්. ඇගේ රූමත් බවට අමතරව ඇය ගුණවත් කාන්තාවක්. ඇය නාඳුනන කෙනෙකු සමඟ කතා කිරීමට මැළි වුණේ නැහැ. ඒ වගේම ඇය අනවශ්‍ය ලෙස මිත්‍රශීලී වුණෙත් නැහැ. එලියාසර් ඇගෙන් වතුර ඉල්ලා සිටි විට ඇය ඔහුට උපකාර කළා. එය ආචාරශීලීකමේ අංගයක් නිසා එවැන්නක් බලාපොරොත්තු විය හැකියි. එහෙත් එලියාසර් යාච්ඤාවේ සඳහන් කළ අනෙක් කාරණය ගැන කුමක් කිව හැකිද?

“ස්වාමිනි, බිව මැනවියි” කියා රෙබෙකා පවසනවා. නමුත් ඇය එතැනින් නතර වුණේ නැහැ. ඈ “ඔබගේ ඔටුවන්ටද බී නිම වන තෙක් උන්ටත් දෙන්නෙමියි කීවාය.” ඇය සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන දෙයට වඩා කිරීමට ඉදිරිපත් වුණා. ඉතා උනන්දුවෙන්. ‘ඈ ලහි ලහියේ ඇගේ වතුර කළය ඔරුවේ වත් කොට අදින පිණිස නැවත නැවත ළිඳට දිව ගොස් ඔහුගේ සියලු ඔටුවන්ට වතුර ඇද්දා.’ ඇය වැඩ කරන්නේ ඉතාමත් කඩිසර ලීලාවෙන්. ‘ඒ මනුෂ්‍යයා ඈ දෙස පුදුමයෙන් බලා සිටිනවා’ කියා වාර්තාවේ සඳහන් වෙනවා.—උත්පත්ති 24:19-21.

කාන්තාව ආබ්‍රහම්ගේ නෑදෑයෙක් කියා දැනගත් විට එලියාසර් මුණින් වැටී යෙහෝවාට ස්තුති කරනවා. ඔහු තමන්ටත් තමන් සමඟ සිටින අයටත් රාත්‍රියේ නැවතීමට ඇගේ නිවසේ ඉඩ තිබෙනවාද කියා ඇගෙන් අසනවා. ඇය ඔහුට යහපත් ප්‍රතිචාරයක් දක්වා අමුත්තන් ගැන පැවසීමට නිවසට දිව යනවා.—උත්පත්ති 24:22-28.

එලියාසර්ගේ කතාව ඇසූ පසු රෙබෙකාගේ සහෝදරයා වන ලාබන් සහ ඇගේ පියා වන බෙතුයෙල් වටහාගන්නවා දෙවිගේ මඟ පෙන්වීම මෙයට තිබෙන බව. රෙබෙකාව ඊසාක්ගේ භාර්යාව වීමට තෝරාගෙන තිබෙන බව නිසැකයි. “ඈ කැඳවාගෙන යන්න. යෙහෝවා කී ලෙස ඈ ඔබේ ස්වාමියාගේ පුත්‍රයාගේ භාර්යාව වේවයි” කියා ඔවුන් පවසනවා. මේ කාරණය ගැන රෙබෙකාට හැඟෙන්නේ කොහොමද? ඇගෙන් ඉක්මනින්ම වෙන් වී යන්න කැමතිද කියා ඇසූ විට, ‘මා යන්න කැමතියි’ යන අරුත ඇති හෙබ්‍රෙව් වචනයකින් ඇය පිළිතුරු දුන්නා. ඇයට මෙම යෝජනාව පිළිගන්න කියා බල කළේ නැහැ. ‘ස්ත්‍රී එන්ට අකමැති වී නම්’ එලියාසර් ඔහුගේ දිවුරුමෙන් නිදහස් වන බව ආබ්‍රහම් ඔහුට කියා තිබුණා. ඒත්, දෙවිගේ මඟ පෙන්වීම මෙයට තිබෙනවා කියා රෙබෙකාත් තේරුම්ගත්තා. එමනිසා පමා නොවී තම පවුල අත්හැර දමා කලින් නොදුටු පුරුෂයෙකු හා විවාහ වීමට ඈ පිටත්ව ආවා. එම එඩිතර තීරණය ඇදහිල්ල පිළිබඳ කදිම ආදර්ශයක්. ඇත්තෙන්ම ඇයයි සුදුසුම භාර්යාව!—උත්පත්ති 24:29-59.

ඊසාක්ව මුණගැසෙන විට තම යටත් වීම පෙන්වීම සඳහා රෙබෙකා තම හිස වසාගන්නවා. ඊසාක් ඇයව තම භාර්යාව කරගනියි. ඇගේ විශිෂ්ට ගුණාංග නිසා ඔහු ඇයට හුඟක් ප්‍රේම කරන බවට කිසිම සැකයක් නැහැ.—උත්පත්ති 24:62-67.

නිවුන් පුත්තු

රෙබෙකා අවුරුදු 19ක පමණ කාලයක් දරුවන් නොමැතිව සිටියා. අන්තිමේදී ඇය ගැබ්ගත් අතර ඇයට ලැබෙන්න හිටියේ නිවුන් දරුවන්. දරුවන් ඇගේ ගර්භාශය තුළ දැඟලුව නිසා ඇයට මහත් වේදනාවක් දැනුණා. ඇය දෙවිට කන්නලව් කළා. අපටත් අපගේ ජීවිතේ පීඩාකාරී කාලවලදී එලෙස කටයුතු කරන්න පුළුවන්. යෙහෝවා රෙබෙකාට ඇහුම්කන් දී ඇගේ බිය සැක දුරු කළා. ඇය ජාතීන් දෙකක මව් වන බවත් “වැඩිමලා බාලයාට මෙහෙ කරන” බවත් ඔහු කියා සිටියා.—උත්පත්ති 25:20-26.

රෙබෙකා තම බාල පුත් යාකොබ්ට වැඩි ආදරයක් දැක්වීමට එකම හේතුව එම වචනම නොවන්නට පුළුවන්. පුත්‍රයෝ දෙන්නා එකිනෙකාට වෙනස්. යාකොබ් ‘නිර්දෝෂ’ මනුෂ්‍යයෙක්. නමුත් ඒසව්ට ආත්මික දේවල් කෙරෙහි එතරම් සැලකිල්ලක් තිබුණේ නැහැ. ඒ නිසා දෙවිගේ පොරොන්දුවලට උරුමකම් කියන ඔහුගේ කුලුඳුල්කම එක කෑම වේලකට ඔහු යාකොබ්ට විකුණුවා. ඒසව් හිත්තීය භාර්යාවන් දෙදෙනෙකුව විවාහ කරගැනීමෙන් පෙන්නුවේ තමා ආත්මික දේවල් සුළු කරන බවත් ඒවාට අගෞරව කරන බවත්ය. මෙසේ ඔහු තම දෙමාපියන්ට මහත් වේදනාවක් ගෙන දුන්නා.—උත්පත්ති 25:27-34; 26:34, 35.

ආශීර්වාදය යාකොබ්ට ලබා දීම

ඒසව් යාකොබ්ට සේවය කළ යුතුයි යන කාරණය ඊසාක් දැන සිටියාද නැද්ද කියා බයිබලයෙහි සඳහන් වී නැහැ. කොහොමනමුත් රෙබෙකා සහ යාකොබ් දැන සිටියා ආශීර්වාදය උරුම වෙන්නේ යාකොබ්ට බව . ඒසව් දඩයම් කළ දේවලින් කෑමක් පිළියෙළ කර තම පියාට දෙන විට ඊසාක් ඔහුට ආශීර්වාද කිරීමට අදහස් කරගෙන සිටින බව රෙබෙකා දැනගත් විට ඈ වහාම ක්‍රියාත්මක වෙනවා. තුරුණු වියේ ඇයට තිබුණු ස්ථිරකම සහ ජ්වලිතකම ඇගෙන් තවම පහව ගොස් නැහැ. ඇය එළු පැටව් දෙදෙනෙක් ගෙනෙන්න කියා යාකොබ්ට ‘අණ කරනවා.’ ඇය තම ස්වාමිපුරුෂයා කැමති කෑමක් පිළියෙළ කරාවි. ඉන්පසු ආශීර්වාදය ලබාගැනීමට යාකොබ් ඒසව් මෙන් යා යුතුයි. යාකොබ් ඒසව් මෙන් වෙස් මාරු කරගැනීමට අකමැති වෙනවා. ඔහුගේ පියා අනිවාර්යයෙන්ම මෙම උපාය දැනගෙන ඔහුට ශාප කරාවි! නමුත් රෙබෙකා බල කරමින් “මාගේ පුත්‍රය, ඔබේ ශාපය මා කෙරෙහි වේවා” කියා පවසනවා. පසුව ඇය කෑම පිළියෙළ කර යාකොබ්ව ඒසව් මෙන් වෙස් මාරු කර ඇගේ ස්වාමිපුරුෂයා වෙත යවනවා.—උත්පත්ති 27:1-17.

රෙබෙකා මෙලෙස හැසිරුණේ ඇයි කියා සඳහන් වී නැහැ. බොහෝදෙනෙක් ඇගේ ක්‍රියාව හෙළාදකිනවා. නමුත් බයිබලයවත්, යාකොබ් ආශීර්වාදය ලබාගත් බව ඊසාක් දැනගත් පසුවවත් ඔහු ඇයව හෙළාදකින්නේ නැහැ. ඒ වෙනුවට ඊසාක් යාකොබ්ගේ ආශීර්වාදය වැඩි කරනවා. (උත්පත්ති 27:29; 28:3, 4) යෙහෝවා තම පුත්‍රයන් දෙදෙනා ගැන කියූ දේ රෙබෙකා දන්නවා. එමනිසා ඇය යාකොබ්ට ලැබිය යුතු වූ ආශීර්වාදය ඔහුට ලැබෙන්න සැලැස්වීමට පියවර ගත්තා. මෙය යෙහෝවාගේ කැමැත්තට මුළුමනින්ම එකඟයි.—රෝම 9:6-13.

යාකොබ්ව හාරාන්වලට පිටත් කරයි

ඒසව්ගේ කෝපය පහ වන තුරු යාකොබ්ට වෙනත් ස්ථානයකට බේරී යන ලෙස පොලඹවමින් රෙබෙකා ඒසව්ගේ සැලසුම් ව්‍යර්ථ කරනවා. ඇගේ එම සැලසුමට ඇය ඊසාක්ගේ අනුමැතිය ලබාගන්නවා. නමුත් ඇගේ කරුණාවන්තකම නිසා ඒසව්ගේ කෝපය ගැන සඳහන් නොකිරීමට ඇය වගබලා ගන්නවා. යාකොබ් කානානීය ස්ත්‍රියක් විවාහ කරගනීවි යන සැකය නිසයි එවන් ඉල්ලීමක් කළේ යනුවෙන් තම ස්වාමිපුරුෂයාට ඇය ඥානවන්තව කියා සිටිනවා. යාකොබ්ට කානානීය ස්ත්‍රියක් විවාහ කරගැනීමෙන් වැළකීමට අණ කිරීමටත් දේවභයැති භාර්යාවක් සොයාගැනීම සඳහා ඔහුව රෙබෙකාගේ නෑදෑයින් වෙතට පිටත්කර යැවීමටත් රෙබෙකා කියූ එම දෙය ඊසාක්ට ප්‍රමාණවත් වුණා. රෙබෙකා යළිත් යාකොබ්ව දුටුවා කියා කිසි වාර්තාවක් නැහැ. නමුත් ඇගේ එම ක්‍රියා නිසා අනාගතික ඊශ්‍රායෙල් ජාතියට බොහෝ ආශීර්වාද ලැබුණා.—උත්පත්ති 27:43–28:2.

අප රෙබෙකා ගැන දන්නාවූ දේ ඇයව අගය කරන්න අප තුළ පෙලඹීමක් ඇති කරනවා. ඇය මනබඳින රූපශ්‍රීයෙන් හෙබි කාන්තාවක් වුවත් ඇගේ සැබෑ සුන්දරත්වය වූයේ ඈ තුළ තිබූ දේවභක්තියයි. ආබ්‍රහම් ලේලියකගෙන් බලාපොරොත්තු වුණෙත් එයයි. ඇගේ අනෙකුත් යහපත් ගුණාංග ආබ්‍රහම් බලාපොරොත්තු වූ දේ ඉක්මවා යන්ට ඇති. දෙවිගේ මඟ පෙන්වීම අනුගමනය කරද්දී ඇයට තිබුණු ඇදහිල්ල සහ ධෛර්යය මෙන්ම ඇගේ ජ්වලිතය, නිහතමානිකම සහ ආගන්තුක සත්කාරශීලීභාවයට දැක්වූ ඉමහත් ලැදියාව වැනි ගුණාංග සියලුම ක්‍රිස්තියානි ස්ත්‍රීන් අනුකරණය කළ යුතුයි. සැබවින්ම ආදර්ශවත් කාන්තාවකගෙන් යෙහෝවා බලාපොරොත්තු වන්නේ එම ගුණාංගයි.