Skip to content

පටුනට යන්න

දෙවිගේ කැමැත්තද මේ සිදු වන්නේ?

දෙවිගේ කැමැත්තද මේ සිදු වන්නේ?

දෙවිගේ කැමැත්තද මේ සිදු වන්නේ?

“ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.”—මතෙව් 6:10, NW.

හූල්යෝ සහ ක්‍රිස්ටිනා තම දරුවන් හතරදෙනා පිලිස්සී මිය යන ආකාරය දෙස බිරාන්තව බලා සිටියේ කිසිවක් කරකියාගත නොහැකිවය. මේ ගින්න හදිසියෙන් හටගෙන තිබුණේ බීමත් රියැදුරෙකු විසින් එළවාගෙන ආ වාහනයක්, නවතා තිබූ ඔවුන්ගේ රථයෙහි හැප්පුණ නිසාය. එහි සිටි අනික් දරුවා වූ මාකෝස්ව, බුර බුරා නැඟෙන ගින්නෙන් බේරාගත හැකි වුවත් බලන්න බැරි තරමටම ඔහුගේ ශරීරය ගිනිසිළුවලට පිලිස්සී තිබුණේ ඔහුගේ ජීවිත කාලයටම ඔහුව විරූපී කරමිනි. ඔහුගේ වයස අවුරුදු නවයක් විය. ඔහුගේ පියාට වාවගත නොහැකි දුකක් ඇති විය. ඔහු තමාවම සහ තම පවුලේ අයව සැනසුවේ මෙම වදන් පවසමිනි. “හොඳක් වුණත්, නරකක් වුණත් ඒක දෙවිගේ කැමැත්ත බව අපි තේරුම්ගන්න ඕන.”

මෙවැනි ඛේදජනක සිද්ධියක් හමුවේ බොහෝදෙනෙකු ප්‍රතික්‍රියා කරන්නේ එයාකාරයෙනි. ‘දෙවි අප ගැන සලකන සියලු බලැති දෙවි කෙනෙක් නම්, සිද්ධ වෙලා තියෙන දේ කොහොමහරි අපේම යහපතට වුණ දෙයක් වෙන්න ඕන. ඒක වටහාගන්න අමාරු දෙයක් වුණත් ඒක එහෙමයි’ කියා ඔවුහු හේතු දක්වති. ඔබ ඊට එකඟ වන්නෙහිද?

හොඳක් හෝ නරකක් හෝ වේවා සිදු වන ඕනෑම දෙයක් දෙවිගේ කැමැත්ත පිළිබිඹු කිරීමකි යන දෘෂ්ටිය දැරීමට බොහෝවිට හේතු වී තිබෙන්නේ, ස්වාමීන්ගේ යාච්ඤාවේ අන්තර්ගත කලින් සඳහන් වූ යේසුස්ගේ වදන්ය. ස්වර්ගයේ සිදු වන්නේ දෙවිගේ කැමැත්ත නොවේද? ‘ඔබේ කැමැත්ත පොළොවෙහි සිදු වේවා’ කියා යාච්ඤා කරන විට ඉන් අපට පිළිගැනීමට සිදු වන්නේ පොළොවෙහි සිදු වන දේ දෙවිගේ කැමැත්තට අනුව සිදු වන බව නොවේද?

බොහෝදෙනෙකුට මෙම අදහස නිවැරදිද යන්න ප්‍රශ්නයකි. එමගින් ඔවුන්ගේ සිතේ දෙවි පිළිබඳව මැවෙන්නේ, ඔහු, තමා විසින් මවනු ලැබූ මිනිසුන්ගේ හැඟීම් ගැන කිසිම තැකීමක් නැති තැනැත්තෙකු ලෙසය. ‘ප්‍රේමණීය දෙවි කෙනෙකු තුළ අහිංසක මිනිසුන්ට නපුරු දේවල් සිදු කිරීමට කැමැත්තක් තිබිය හැක්කේ කෙසේද?’ කියා ඔවුහු අසති. එයින් ‘පාඩමක් ඉගෙනගැනීමට තිබේ නම් එම පාඩම කුමක් විය හැකිද?’ සමහරවිට ඔබට එලෙස හැඟෙනවා විය හැක.

මේ සම්බන්ධයෙන් යේසුස්ගේ අර්ධ සහෝදර ශ්‍රාවක යාකොබ් මෙසේ ලීවේය. “පරීක්ෂා කරනු ලබද්දී, ‘දෙවි විසින් මාව පරීක්ෂා කරනු ලබන්නේය’ යි කිසිවෙක් නොකියාවා! මන්ද, නපුරු දෙයින් දෙවිව පරීක්ෂා කළ නොහැක. ඔහුද නපුරු දෙයින් කිසිවෙකුව පරීක්ෂා කරන්නේ නැත.” (යාකොබ් 1:13, NW) දෙවි නරක දේවල උල්පත නොවේ. එසේනම්, අද දින පොළොවෙහි සිදු වන සියල්ල දෙවිගේ කැමැත්ත නොවන බව පැහැදිලිය. ශුද්ධ ලියවිල්ලෙහි මිනිසාගේ කැමැත්ත, ජාතීන්ගේ කැමැත්ත සහ යක්ෂයාගේ කැමැත්ත ගැනද කතා කරයි. (යොහන් 1:13; 2 තිමෝති 2:25; 1 පේතෘස් 4:3) හූල්යෝ සහ ක්‍රිස්ටිනාගේ පවුලට සිදු වූ දෙය ප්‍රේමණීය ස්වර්ගික පියෙකුගේ කැමැත්ත විය නොහැකි බවට ඔබ එකඟ වන්නෙහිද?

එබැවින්, ‘ඔබේ කැමැත්ත සිදු වේවා’ කියා යාච්ඤා කරන්න යේසුස් තම ගෝලයන්ට ඉගැන්වූ විට ඔහු ඇත්තෙන්ම ඉන් අදහස් කළේ කුමක්ද? එය යම් අවස්ථාවන්වලදී මැදිහත් වන්න කියා දෙවිට කළ ආයාචනයක් පමණක්ද? එසේ නැතහොත් යේසුස් උගන්වමින් සිටියේ සැමටම බලාපොරොත්තු විය හැකි වඩාත් වැදගත් මෙන්ම යහපත් වෙනසක් වන්න කියා යාච්ඤා කිරීමටද? මේ සම්බන්ධයෙන් බයිබලයෙහි පවසන දේ අපි තවදුරටත් සෝදිසි කර බලමු.

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

මෝටර් රථය: Dominique Faget-STF/AFP/Getty Images; දරුවා: FAO photo/B. Imevbore